ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට | දිනමිණ

ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට

ෆවුස් මොහොමඩ් හොංකොං සිට...

ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවේ හොංකොං නුවර පැවැත්වෙන පළමු අදියරේ තරගාවලියට එක්වන්නේ ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම නව මුහුණුවරක් යටතේය. සත් සාමාජික රග්බි පිලේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රී පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා මෙවර තරගාවලියෙන් ඉවත්වී සිටින අතර මහනුවර ක්‍රීඩා සමාජයේ සුපිරි ස්ක්‍රම්හාෆ් ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං නුවර බලා පිටත්ව ගියේය.

මුතුතන්ත්‍රීට අමතරව තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක්ම හොංකොං තරගාවලියට සහභාගි වන්නේ නැත. මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන තවත් සුපිරි ක්‍රීඩකයකු වන සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ද ආබාධයකට ලක්වී සිටී. මීට අමතරව ඩුබායි නුවර පැවැත්වන බටහිර ආසියා රග්බි තරගාවලියට එක්වී සිටින මහනුවර ක්‍රීඩා සමාජයට ජේසන් දිසානායක ක්‍රීඩා කරන බැවින් හොංකොං තරගාවලියෙන් ඉවත්වී ඇත. සී.ආර්.පිලේ තරින්ද රත්වත්තට හොංකොං තරගාවලිය අහිමිවූයේ අධ්‍යාපන කටයුතු හේතුවෙනි.

හෙට (13) සහ අනිද්දා (14) පැවැත්වෙන හොංකොං තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිලට යොවුන් ක්‍රීඩකයන් රැසක්ම එක්වී සිටිති. කෙවින් ඩික්සන්, අදීෂ වීරතුංග සහ නවීන් හේනකංකානම්ගේ නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර සාන්ත අන්තෝනි විදුහල් පිලේ හිටපු නායක 20 හැවිරිදි දිනුක් අමරසිංහ පළමු වරට ජාතික කණ්ඩායමට ඇතුළත් වී සිටී.

මෙවර තරගාවලියේ දී ‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලට හෙට පැවැත්වෙන පළමු තරගයේදී චීනය මුණ ගැසෙන අතර එදිනම ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම දිනූ ජපානය සමග දෙවැනි තරගයට ක්‍රීඩා කරයි. ‘ඒ’ කාණ්ඩයේ අනික් කණ්ඩායම වන චීන තායිපේ පිල සමග ශ්‍රී ලංකා පිල තරග වදින්නේ තරගාවලියේ දෙවැනි දිනය වන අනිද්දාය.

පසුගිය වසරේ හොංකොං තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල මෙසේය:

ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), ගයාන් වීරරත්න, දනුෂ දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන්, කෙවින් ඩික්සන්, රෙහාන් සිල්වා (සී.ආර්), නවීන් හේනකංකානම්ගේ, සුදම් සූරියආරච්චි (සී.එච්.), බුද්ධිම පියරත්න, අදීෂ වීරතුංග (නාවික), දිනුක් අමරසිංහ (හැව්ලොක්ස්)

නව අදහස දක්වන්න