කුක්ට ජයග්‍රාහී සමුදීමක් | දිනමිණ

කුක්ට ජයග්‍රාහී සමුදීමක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පස්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 118ක ජයක් අත්කර ගැනීමට සමත්වූ සත්කාරක එංගලන්ත කණ්ඩායම තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 4-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මේ තරගය එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වූ ඇලෙස්ටෙයාර් කුක්ගේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමේ තරගයද විය.

ලන්ඩන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 332ක් රැස්කළ අතර ඉන්දියාවට පළමු ඉනිමේදී රැස්කළ හැකිවූයේ ලකුණු 292ක් පමණි. එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 423ක් ලබාසිටියදී දෙවැනි ඉනිම අත්හිටවූයේ ඉන්දියාවට ලකුණු 464ක ඉලක්කයක් ලබාදෙමිනි.

එම ඉලක්කය හඹාගිය ඉන්දීය පිලට සියල්ලන් දැවි ලබාගත හැකිවූයේ ලකුණු 345ක් පමණි.

එහිදී ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු 147ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 114ක් රැස්කළද ඉන්දීය පිල පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි වූහ.

ලකුණු 2කට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී රාහුල් සමගින් එක්වූ අජින්ක්‍යා රහනේ මුළු ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉදිරියට ගෙන ගියේය. ලකුණු 37ක් ලබාසිටි රහනේ දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තවත් ලකුණක් එක්වෙද්දී ඉන්දියාව 5 වැනි කඩුල්ලත් අහිමිවිය.

අනතුරුව රාහුල් සමග එක්වූ රිෂාබ් පාන්ට් ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනැගුවේ සිය මංගල ශතකයද රැස් කරමිනි. ඔවුන් දෙදෙනාම අදිල් රෂීඩ්ගේ පන්දු හමුවේ දැවී යෑමෙන් ඉන්දීය බලාපොරොත්තු බිඳ වැටිණි.

රාහුල් පන්දු 224කදී හතරේ පහර 20ක් සහ හයේ පහරක් ඉනිමට එක්කරගත් අතර පන්දු 146කට මුහුණදුන් පාන්ට් හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් ඉනිම සරසා ගත්තේය.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් ෂාමි දවා ගැනීමට ජෙම්ස් ඇන්ඩර්සන් සමත් වීමත් සමග ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වේග පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක්වීමට ඔහුට හැකිවිය.

ඇන්ඩර්සන් තරග 143කදී කඩුලු 564ක් දවාගෙන ඇති අතර ඔහු පෙර එම වාර්තාවට හිමිකම් කී ග්ලේන් මැග්‍රාත් දවාගෙන සිටි කඩුලු සංඛ්‍යාව 563කි.

මේ තරගයේ නිමාවත් සමගින් එංගලන්තයෙන් බිහිවු විශිෂ්ට පිතිකරුවකු වන ඇලෙස්ටයාර් කුක්ද ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන්නේය. ඔහු සිය ටෙස්ට් දිවිය අවසන් කළේ ශතකයක් (147) රැස් කරමිනි. ඒ සමගින් ඔහුද වාර්තාවක් තැබීමට සමත්වූයේ සිය මංගල තරගයේදී මෙන්ම අවසන් තරගයේදීද ශතකයක් රැස්කළ ලොව 5 වැනි පිතිකරු ලෙසිනි. තරග 161කට ක්‍රීඩා කර ඇති කුක් ලකුණු 12472ක් රැස්කර ඇත්තේ ශතක 33ක් සහ අර්ධ ශතක 57ක් සමගිනි. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවා වූ කුක් ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාබීන් අතර 5 වැනි ස්ථානයට පත්විය.

 

නව අදහස දක්වන්න