අම්බලන්ගොඩ සංවර්ධන කමිටුවට පොහොට්ටුවෙන් කඩා පනී | දිනමිණ

අම්බලන්ගොඩ සංවර්ධන කමිටුවට පොහොට්ටුවෙන් කඩා පනී

 අම්බලන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන සභා රැස්වීමට සහභාගීවීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අම්බලන්ගොඩ නගර සභාවේ සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි පස් දෙනකු පමණ කළු පටි පැළඳ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට කඩා වැදී කෑකෝ ගසන්නටත් හූ කියන්නට පටන් ගැනීමත් නිසා මහත් වූ කලබලකාරී තත්ත්වයක් උදා විය.

මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් සිල්වා සහ අම්බලන්ගොඩ නගර සභානේ විපක්ෂ නායක ඩෙනට් පනියන්දූව මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රැස්වීම ආරම්භයේදී ම අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතා කථා කරමින් නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීමට සහභාගීවීමට අවස්ථාවක් ලබා නොදීම ගැන විරෝධය පළ කරන බව කියා සිටියේය. ඊ‍‍ට පිළිතුරු දුන් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ මෙය තමන්ගේ වැඩක් නොව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවන ලද චක්‍ර ලේඛයක් අනුව කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට සිදුවන බවත් ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන්ට මේ කමිටු රැස්වීමට ආරාධනා කිරිමට හැකියාවක් නොමැති බවත්ය. ඉන් අනතුරුව උප සභාපති කමල්වැල්ලගේ මහතා රැස්වීමෙන් පිටවී ගියේය.

ඊට මොහොතකට පසුව අම්බලන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි පැළද ගෙන රැස්වීමට අනවසරයෙන් කඩා වැදී කෑකෝ ගසන්නටත් හූ කියන්නටත් පටන් ගත්තේය. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මූලසානයේ මේසය මතට නගින්නට උත්සාහ කළත් පොලීසිය මැදිහත්වීමෙන් එම උත්සාහය නිශ්ඵල විය. මේ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ චණ්ඩිකමට හෝ මැරවර බලයට තමන් යටත් නොවන බවත් මින් ඉදිරියට මෙම රැස්වීමට ආරාධනා කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍ර ලේඛය අනුවම පමණක් බවය. කෑකෝ ගසමින් රැස්වීම් ශාලවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් කරන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දීමෙන් පසු පොලීසිය මැදිහත්වීමෙන් එම මන්ත්‍රීවරුන් පිරිස සභාවෙන් ඉවත් කළේය. ඒ අවස්ථාවේදී රැස්වීමේ රැදී සිටි අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නිතිඥ අරුණ ප්‍රදීප් මහතා ද (පො.ජ.පෙ.) සභාවෙන් පිටවී ගියේය.

සටහන හා ඡායාරූපය- අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස 


නව අදහස දක්වන්න

Or log in with...