අලි රක්ෂිතයේ දැවැන්ත විනාශයක් | දිනමිණ

අලි රක්ෂිතයේ දැවැන්ත විනාශයක්

 වන අලින් වෙනුවෙන් වෙන් කර තිබෙන හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය නාම පුවරු සඳහා පමණක් සීමාකර තැබීම හේතුවෙන් මේ වන විට එම රක්ෂිත ප්‍රදේශයන් වන සංහාරකයන්ෙග් දැඩි ගොදුරක් බවට පත්ව තිබේ.

මේ ආකාරයෙන් බලධාරීන්ගේ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම මත හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර තිබෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට මත්තල කඩවර රක්ෂිතය හා ඒ අවට ප්‍රදේශය කිසියම් පිරිසක් එක්ව නීති විරෝධීව අක්කර 500කට අධික ප්‍රදේශයක් හෙළි කර ගිනි තබා තිබෙන අයුරු දක්නට ලැබේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ වසර 100කට අධික කාලයක් තිස්සේ තිබූ පලු ගස්, හල්මිල්ල ඇතුළු තවත් විශාල ගස් ගිනි තබා බිම හෙළා තිබෙන ආකාරය දක්නට ලැබේ. මේ ආකාරයෙන් දින ගණනාවක් පුරාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන රක්ෂිතයක් විනාශ කරන තුරු බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම පුදුම සහගත කරුණකි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින අලි මිනිස් ගැටුමටද දැඩි සේ බලපා තිබෙන්නේ මේ ආකාරයෙන් වන අලින්ගේ වාස භුමි හෙළි කර සිදුකරන වන සංහාරය වුවත් නිසි බලධාරීන් එම වන විනාශ නතර කිරීම සඳහා කඩිනම් විසඳුම් නොගැනීම හේතුවෙන් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින් නොගැවසුණු ප්‍රදේශවලටද අලි සංක්‍රමණය වීමෙන් අලිමිනිස් ගැටුම ඇති වෙමින් තිබේ.

සංවර්ධන කටයුතුවලට හා නීති විරෝධීව සිදුවන වන සංහාරය නිසාම අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්වයට පත් වෙමින් තිබෙන අතර මිනිසුන්ට මෙන්ම වගාවන්ට සිදු වන හානිය ද වැඩි වී තිබේ.

වන අලි යනු හුදෙක් ස්වභාවයෙන්ම සංචාරක සත්වයකු වනවා මෙන්ම ඔවුන් ගමන් කරන්නේ ඔවුන්ට ආවේණික පුරුදු මාර්ග ඔස්සේය. සංවර්ධන කටයුතු සඳහා වන අලින්ගේ භූමි හෙළි පෙහෙළි කරගත්තත් සංචරණ භූමි අත්හැරීමට වන අලි සූදානම් නැත.

මේ ආකාරයෙන් වන අලීන්ගේ ස්වාභාවික සංචරණ භූමි අහිමිවීමත් ඔවුන් එක ප්‍රදේශයකට කොටුවීමත් යන කාරණා පදනම් කරගෙන වන අලීන් නිරන්තරයෙන් ගම් වැදීමෙන් මේ වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස් ජිවිත තුනක් පමණ අහිමි වී තවත් දේපළ සහ වගා විනාශයන් නිරන්තරයෙන් සිදුවීම උග්‍ර තත්වයට පත්වෙමින් තිබෙන බව වනජීවී නිලධාරීහු පවසා සිටිති.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වුවද යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉහළ මත්තල, කඩවර රක්ෂිතය ඇතුළු ප්‍රදේශ කීපයක මේ පනත උල්ලංඝනය කරමින් වනාන්තර හෙළි කිරීම් සිදු කෙරේ. ඒ සඳහා නිතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් මෙම රක්ෂිත ප්‍රදේශය වන ඝාතකයින්ගේ දැඩි ගොදුරක් කර අක්කර ගණනාවක රක්ෂිත ප්‍රදේශය රූක්ෂ ගස් සමඟ අළු කර හමාරය.

දේශපාලනඥයින් දිනෙන් දින කල් අරිමින් සිටින හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීම නිසා එවැනි රක්ෂිතයක් හම්බන්තොටට ඉතිරි නොවීමටත් හම්බන්තොට වන අලින්ගෙන් තොර කලාපයක් බවට පත්වීමටත් ඉඩ තිබේ.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන් සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සමඟ අවතැන් වන අලි ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ පමණක් නොව වන ඝාතකයින්ගේද දැවැන්ත ගොදුරක් බවට පත්ව තිබේ.

මේ ආකාරයෙන් මිනිසුන් විසින්ම වන රක්ෂිත හෙළි කර වන විනාශය කිරීම නිසා අලි ගම් වැදීම් වලදී වනජීවී නිලධාරින්ට දොස් පැවරීම වෙනුවට වන අලින්ගේ වාස භූමි ආරක්ෂා කර දීම මහජනතාවගේ ද යුතුකමක් හා වගකීමක් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජය කුමාර මහතා කියා සිටී

සටහන සහ ඡායාරූප
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...