පින්කමටත් විවේකයටත් පරෙයි දූව | දිනමිණ

පින්කමටත් විවේකයටත් පරෙයි දූව

මාතර නගරයට පැමිණෙන කෙනකුගේ නෙත ගැටෙන මාතොට පුරවරයේ සංකේතයක් ලෙස මාතර පරෙයි දුපතේ උපෝසතාගාරය හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මාතර නගරයට පෙනෙන තෙක් මානයේ දක්නට ලැබෙන පරෙයි දුපත සැබැවින්ම පාරිශුද්ධ භූමියකි. මේ භූමිය රන් දූපත නමින් ද හැඳින්වෙයි. ගල්පරවලින් හා මුහුදින් වට වූ දුපතක් වූ මේ පුණ්‍ය භූමිය පූජනීයත්වයට පත්වන කාරණයක් වන්නේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසතාගාරය බවට පත්වීමයි. මේ අනුව 2003 වසරේ සිට රෝහණ පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේලා උපසම්පදාව සිදු කරනු ලබන්නේ ද මේ පිං බිමේදී ය. පෝදා පහළොස් දහසකට වැඩි පිරිසක් වන්දනාමාන කිරීමට සැදැහැ සිතින් මේ රමණීය දූපතට එක්වන්නේ මෙහි පවතින දර්ශනීය බව නිසාවෙන්ම විය හැකිය.

මෙහි අතීතය ඉතා ඈතට දිවයන යන අතර අපූරු සිදුවීම් ගණනාවක් පරෙයි දුපතින් මාතර ජනප්‍රවාදයන්ට එක් වෙයි. එහි අතීත උරුමය සොයා අප පරෙයි දුපතට ගියෙමු. මීට වසර 12කට පෙර ඉදිකරන ලද පාලමෙන් එතෙර වූ අපට එහි ආධාරක අත්වැල්වලින් සමහරක් දිරාපත්ව ඇති ආකාරය නිරීක්ෂණය විය. එහි ගමන්කරන්නන් බොහෝ දෙනකු සුලඟත් සමඟ සෙලවෙන මේ පාලමෙන් එතෙර වන්නේද තවත් නවමු අත්දැකීමක් ලබා ගනිමින්ය. දෙස් විදෙස් විශාල පිරිසක් ‍මාතර උපෝසථාගාරය වැඳපුදා ගන්නා අයුරු දිස් විය. මාතර නගරයේ අසිරිය ද මේ ස්ථානයේ සිට දැක ගත හැකිය. මෙහි විහාරාධිකාරී විටියල ඉන්ද්‍රරතන ස්වමීන් වහන්සේ අප සමඟ සුහද කතාබහකට එක්වෙමින් මෙහි අතීතය අපට ‍මෙසේ සිහිපත් කළහ.

"මෙහි අප දන්නා අතීතය ලන්දේසී යුගය දක්වා දිවයනවා. අපේ රට විදේශිකයන්ට යටත්වීමත් සමඟ ඉතා ඈතට දිස්වෙන පරිදි එහි එන නැව්වලට පෙනෙන පරිදි ඔවුන්ගේ කොඩි ඔසවා තැබීමට මේ ස්ථානය උපයෝගී කරගෙන තිබෙනවා. එවගේම ලන්දේසි යුගයේ පාලනය කළ ජුලියර් කියන පාලකයා විවේක ගැනීමට මේ ස්ථානයේ කුටියක් හදාගෙන පැමිණ තිබෙනවා. සමහර විටක මෙය ආරක්ෂිත කුටියක් වෙන්න පුළුවන්. ඒ කාලයේ මෙතැනට එන්න ගල්වැටියක් තිබුණා. මේ ජුලියර් පාලකයාගේ බිරිය අසනීප වුණ වෙලාවක ලන්දේසීන් එක්ක ආපු වෛද්‍යවරුන් මේ බිරියට ප්‍රතිකාර කරන්න අසමත්‍ වෙනවා. දැඩි වේදනාවකින් පසුවූ ඇයට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන්නේ දියගහ රතනපාල විහාරස්ථානයේ නෙළුම්වැවේ වෙද හාමුදුරුවෝ. උන්වහන්සේ පංචකර්ම වෙදකම දන්න ස්වාමීන් වහන්සේ නමක්. ලන්දේසීන් පිරිසකගේ ආරාධනයෙන් ජුලියර් පාලකයාගේ නිවෙසට වැඩම කරනු ලබන නෙළුම්වැවේ හාමුදුරුවෝ පාලකගේ බිරියට ප්‍රතිකාර කරනු ලබනවා. ඇයට ගුලි හතරක් මී පැණියෙන් බොන්න දෙනවා. බඩ විරේක කර තැඹිලි ගෙඩියක් මතුරල බොන්න දෙනවා. දැඩි වේදනාවකින් පසුවූ මේ කාන්තාව සුවපත් කිරීමේ සතුටට පත් ජුලියර් පාලකයා මේ දූපතේ නේවාසික වූ නේවාසිකාගාරය හාමුදුරුවන්ට ලබා දෙනවා. එය ලබා දීලා තියෙන්නේ ලියවිල්ලකින්. හැබැයි විවිධ දුක්ගැහැට විඳගෙන නෙළුම් වැවේ හාමුදුරුවෝ ජීවිතය ගත කරන්න ඇති. එදා මෙහි සිටි ලන්දේසි යුද සෙබළකුත් මෙහි මහණවෙලා ඉඳල තියෙනවා. කොහොම උනත් පසු කාලයක නඩු විභාගයකින් මෙය මාතර මහ නගර සභාවට අයත් වෙනවා.

දිවියාගහ ගුණානන්ද හාමුදුරුවෝ ශ්‍රී රෝහණ සංඝ සභාවට මෙහි ඇති වටිනාකම පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ‍රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කාශ්‍යප හාමුදුරුවන්ගේ මැදිගත්වීමෙන් හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අමාත්‍යවරයා මේක පින්බිමක් බවට පත්කරන්නට මූලික වෙනවා. පොහොය උපෝසතාගාරය, භික්ෂු නේවාසිකාගාරය, දාන ශාලාව, චෛත්‍ය හා චෛත්‍යගාරයක්, සතරවරම් දේවාල, බුදුකුටිය මෙහි ඉදිකරනු ලැබුවා. කෝටි 15ක් පමණ වැය කරමින් සේවකයන් 150ක් මාස 6ක් පුරාම වැඩ කරමින් මේ කටයුතු අවසන් කරන්නට අමාත්‍යතුමන් කටයුතු කරනු ලැබුවා. ඉන්පසුව 2003 දී මෙය උපෝසථාගාරයක් බවට පත් කරන්නට රෝහණ සංඝ සභාව තීරණය කරනු ලැබුවා.

මුහුදු මට්ටමින් අඩි 41ක් උසින් මෙය පිහිටා තිබෙන්නේ. මෙයට මීටර් 500ක් පමණ දුරින් දෙවුන්දර පැත්තට වෙන්න රාවණා කොටුවක් තිබුණා. එය සුනාමියට හසුව කැඩී ගියා. මෙහි නැගෙනහිර පැත්තට වෙන්න උමඟක් තියෙනවා. සැඟවුණ තොරතුරු ගණනාවක් මෙහි තියෙනවා.

වර්තමානයේ මේ පින්බිමට එන්න තියෙන මීටර් 114ක් දිගු පාලම ජනතාවට පැමිණෙන්නට නුසුදුසු තත්වයට පත්වෙලා. උපසම්පදා පුණ්‍යකර්මය පවා සංඝ සභාව මගින් නතර කර දමා තිබෙන්නේ මේ අවදානම නිසයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා මේ සඳහා ඉදිරිපත් වී මුදල් වෙන්කරන්න තීරණය කර ඇති බව දැනගන්නට ලැබුණා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මේ පාලම ඉදිකිරීමට කෝටි 8ක මුදලක් වැය වෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා. පවතින තත්වය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම්, මාතර නගරාධිපති දැනුවත් කර තිබෙනවා. මේ පාලම යටින් තමයි ජලනල හා විදුලි රැහැන් පද්ධතිය තියෙන්නේ. මේ පාලම කඩා වැටී ‍විශාල අනතුරක් සිදුවන්නට මත්තෙන් වගකිව යුක්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ සඳහා මැදිහත් වෙන්න කියලයි."

මෙහි පැමිණි සිටි බොහෝ දෙනෙකු ද අදහස් දක්වන්නට ඉදිරිපත් විය.

පී.නිව්ටන් මහතා, - "මේ පරෙයි දුපත විශාල ජනතාවක් පැමිණෙන තැනක්. මේක හරිම අවදානම්. අප නිතරම මේ ගැන කතා කරනවා. හැකි ඉක්මනින් පියවරක් ගන්නට ඕන. බැතිමතුන් එන එක නවත්වන්න හැකියාවකුත් නැහැ. මේ ගැන කඩිනමින් අවධානය යොමු කරන ලෙස මා රජයෙන් ඉල්ලා සිටිනවා. හැබැයි මේ පාලම තාවකාලිකව හදලා වැඩක් නැහැ. මේක පෝය ගෙයක්.

භික්ෂූන් වහන්සේලා උපසම්පදා වෙන තැනක්. දකුණු පළාතම නියෝජනය වන රෝහණ සංඝ සභාවේ මුලස්ථානයක්. කළුතර බෝධිය මෙන් පරෙයි දුවේ ‍‍‍‍චෛත්‍යයක් ඉදිකරන්නට අප කටයුතු කර ගෙන යනවා. එය මාතර නගරයට පෙනෙන ආකාරයට අප ඉදිකිරීමට කටයුතු කරනවා."

තුෂිනි පුන්සලා රණසිංහ මහත්මිය - "මේක පෞරාණික තැනක්. කෙනකුට මෙය නරඹන්න පුළුවන්. බලධාරීන් විසින් මේ පාලම සකස් කළා. නමුත් මුහුදු ඛාදනයට ඔරොත්තු දෙන පාලමක් හදන්න ඕන. එවගේම ශක්තිමත් පාලමක් ඉදිකළ යුතුයි. ‍මේ ස්ථානයෙන් එතෙර වෙන එක පහසු නැහැ. සුළඟත් එක්ක පාලම වැනෙනවා. අප විශ්වාස කරනවා මේ ගැන දේශපාලන අධිකාරියේ අවධානය යොමුවේවි කියලා."

ජනශ්‍රැති පර්යේෂක මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් මහතා - "මා මේ දූපත පිළිබඳව ‍තොරතුරු සොයන්නට උත්සාහ කළා. නමුත් බොහෝ තොරතුරු සොයා ගැනීමට අපහසු වුණා. කොහොම උනත් මෙහි උමං මාර්ග දෙකක් තියෙනවා. එය ඉතා පැරණියි. මේ එක් බිම් ගෙයක් සම්බන්ධ වෙන්නේ එළියකන්දට.

එහි වාසය කළා මොටාතිස්ස කියලා රජ කෙනෙක්. බිම් මහලක මේ රජු වාසය කළ බව පැවසෙනවා. ඇතැම් විටක මෙහි අතීතය ලන්දේසි යුගයට එහාට යන්නට පුළුවන්. මට හමුවී තිබෙනවා මේ පරෙයි දුපතට පයින් ගියපු අය. එදා මේ දුපතට යන්නට ගල් යෙදූ මාර්ගයක් තිබුණ බවයි සඳහන් වෙන්නේ. පැරැණ්නන් විවිධ නම්වලින් මේ දූපත හදුන්වනු ලැබුවා. කාකි දුපත, පරෙයි දූපත, රන් දූපත ආදී නම් බොහෝමයක් මෙයට භාවිතා වුණා. පාරිසරික වටිනාකමකුත් මෙහි තියෙනවා."

සටහන සහ ඡායාරූප
ටී.කේ.මහින්ද  - වැලිගම සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...