වයස 102 යි තාමත් තරුණයි - ජොහානිස් අබේවික්‍රම | දිනමිණ

වයස 102 යි තාමත් තරුණයි - ජොහානිස් අබේවික්‍රම

රටේ ජනගහනයෙන් විශාල පිරිසකට අද බෝ නොවන රෝගයක් හෝ ඇතැම් විට රෝග දෙකක් හෝ තුනක් ඇත. හෘදයාබාධවලින් මිය යන පිරිසද සුළුපටු නොවේ. ගස්, ගල්, වගේ හොඳින් සිටි අය හිටි ගමන් රෝගාතුර වේ. නැතිනම් මරණයට පත් වේ. දිගු කලක් ජීවත් වුවත් රෝගාබාධ වලින් පෙළෙනවා නම් එයින්ද පලක් නොමැත.

වසර 102ක් පුරා සැරි සරමින් තවමත් පියවි ඇසින් පොත් පත්තර කියවන, තමන්ගේ වැඩ කටයුතු තමන් අතින්ම කරගන්නා පින්බර පියකු බෙන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ ඉඳුරුව ප්‍රදේශයේ දිවි ගෙවන පුවතක් දැන ගන්නට ලැබිණි. අපට මෙම තොරතුරු ලබා දුන් බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුවත්තේ සුමනසාර නාහිමියෝ අප එහි කැඳවා ගෙන යාමටද කටයුතු කළහ. මහ ඉඳුරුවේ, බෝගහවත්තේ, අංක 591 නිවෙසට අප යන විටත් ඒ ශතකලාභී ජොහානිස් අබේවික්‍රම නම් වූ අප කතා නායකයා අපත් සමඟ කටපුරා සිනාසුණේ දිගු කලක සිට දන්නා හඳුනන කෙනකු ලෙසිනි.

බෙන්තර කොට්ඨාසයේ දැනට ජීවත්වන වැඩිමහල් පුද්ගලයා ලෙසින් සැලකෙන ඔහුගේ කතාවයි මේ. මගේ නම වළාකුළුගේ දොන් ජොහානිස් අබේවික්‍රම. මම උපන්නේ 1916 ජූලි මාසයේ 23 වැනිදා. ඒ මහ ඉඳුරුවේ කන්දේවත්ත මහ ගෙදරදී. අපේ පවුලේ සේරම නව දෙනයි. පිරිමි හයයි. ගැහැනු තුනයි. මම පවුලේ වැඩිමලා. දැන් ඉන්නේ අපි තුන් දෙනයි. යුද හමුදාවේ විශ්‍රාමික මේජර් කෙනෙක් වන ආර්ලිස් අබේවික්‍රම මල්ලියි, කරුණාවතී අබේවික්‍රම නංගියි, මමයි විතරයි දැන් ඉන්නේ. මට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මම උපන්නේ 1916 වුණාට මගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් කරලා තියෙන්නේ 1917 කියලා. මොනවා කරන්නද? ජීවිතේ ඔහොම තමයි. ඕක වෙනස් වුණා කියලා මගේ නියම වයස මම දන්නවනේ. මම ගුරුකන්ද විදුහලේ හත් වැනි පන්තිය දක්වා ඉගෙන ගත්තා. ඒ කාලේ අපට උගන්වපු සුවාරිස්, ඒබරම්, ගුරු මහත්වරුන් නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ හාල් සේරුවක් සත දොළහයි. කිලෝ තිබුණේ නැහැනේ. සීනි රාත්තලක් සත දොළහයි. ඒ වගේ කාලයක් නම් ආයෙත් එන එකක් නැහැ.

මගේ අම්මගෙ නම එච්. යූ. පොඩිහාමි. තාත්තා ජේමිස් අබේවික්‍රම. මම බෙන්තර, එව්සීනියා කරලැයින් සිරිමාන්නව කසාද බැන්දේ 1945 දී විතර කියලයි මට මතක. අපිට දූ දරුවො හය දෙනෙක් හිටියා. මගේ ලොකු පුතා වෝල්ටර් අබේවික්‍රම, එයත් හමුදාවේ සේවය කෙරුවේ. දෙවැනි දුව සිරියාවතී. තුන්වැනි දුව සීලවතී. ඊළඟ දුව ලීලාවතීගේ ගෙදර තමයි මම දැන් ඉන්නේ. අනෙක් දුව නන්දාවතී. බාල පුතා සිරිපාල මණ්ඩතිව් වලදී මීට වසර 28කට පෙර රට වෙනුවෙන් දිවි පිදුවා. මගේ බිරියත් 2005 දී මිය ගියා. මම මගේ මවුබිමට හරිම ආදරෙයි. මම ඉස්සර ඉඳලාම කියවන්න කැමැතියි. මගේ එක ඇහැකට වූ පුංචි අනතුරකින් පෙනීම නැති වුණා. ඒත් අනෙක් ඇහෙන් පත්තරේ ලොකු අකුරු නම් මට කණ්ණාඩි නැතුව වුණත් කියවන්න පුළුවන්.

මම රස්සාවක් විදියට මුලින්ම මරදාන මරියකඩේ එළවළු කඩයක් දාගෙන හිටියා. අවුරුදු හතරක් විතර ඉන්න කොට අසනීපයක් හැදිලා ගෙදර ඇවිත් එහෙමම නතර වුණා. පස්සේ මතුගම සිරිකඳුර වත්තේ ස්ටෝරුවක වැඩ කළා. එතැනත් අවුරුදු දෙකක් විතර හිටියා. ඊට පස්සේ ගමට ඇවිත් දිගටම ගොවිතැන් කළා. ඒ කාලේ පොහොර වෙනුවට දැම්මේ ගෙරි කටු. ගොවිතැන් වලට දැන් වගෙයි ලෙඩ රෝගත් නැහැ. සේරම අපේ මහන්සියෙන්ම තමයි කරන්න ඕනෑ. යන්ත්‍ර සූත්‍ර නැහැනේ. මට මතකයි අපේ ගමට නුදුරින් තිබුණා විශාල නෙලුම් පොකුණක්. නෙලුම් මල් පිපිලා හරි ලස්සනයි. ගමේ හැමෝම වගේ නෑවෙත් ඒ පොකුණෙන් තමයි. දැන් නම් එතැන කැලේ වැවිලා. ඒ නෙලුම් පොකුණ හොඳටම විනාශ වෙලා.

ඉස්සර අපිව අයත් වුණේ බලපිටිය ආසනයට. පස්සේ තමයි බෙන්තර ඇල්පිටියට දැම්මේ. මම නම් මුල ඉඳලම ඡන්දෙ දුන්නේ ඩී. ඇස්. සේනානායක මහත්තයගෙ පක්ෂයට. ඊට පස්සේ ඩඩ්ලි සේනානායක මහත්තයට. සිරිමාවෝ මැතිනියගේ කාලේ හාල් පොලු, මිරිස් පොලු දාලා මිනිස්සු මාර දුකක් වින්දා. ඡන්දෙ දීපු අයටත් අන්තිමට එයාව එපා වුණා.

ඉස්සර තාර දාපු පාරකට මේ පැත්තෙන්ම තිබුණේ ගාලු පාර විතරයි. අනෙක් හැම පාරවල්ම මැටි තමයි. දැන්නම් මේ පුංචි පාරවලුත් තාර දාලා. ඒ වගේ පහසුකම් තිබුණට දැන් ඉන්න අයට බලන්නකෝ තියෙන ලෙඩ රෝග. ජීවිතේට අහපුවද මේවා. ඉස්සර අපි පුංචි කාලේ ඉඳලම වස විස නැති ආහාර පාන ගත්තනේ. දැන් වගේ වස විස කන්න බොන්න තිබුණේ නැහැනේ. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝග, දැන් සමහරුන්ට තරුණ කාලෙම හැදෙනවා. සමහර අයට මේ රෝග දෙක තුන තියෙනවා. ඒ කාලේ මේ රෝග ගැන අහන්නවත් තිබුණේ නැහැ. මට නම් දැන් රෝගයකට කියලා තියෙන්නේ ඉඳලා හිටලා හැදෙන දණහිසේ අමාරුවක් විතරයි. ඒ කාලේ ව්‍යායාම කරන්න ඕනෑ වුණේ නැහැ. මොකද පිරිමි ගොවිතැන් වැඩ කළා. ගස් නැග්ගා. නිකම් හිටියේ නැහැ. ගැහැනු වී කෙටුවා, දර පැලුවා, රෙදි හේදුවා, ගොවිතැන් වැඩට උදව් කළා. ගෙදර දහයකට පහළොවකට උයන එකම පොඩි වැඩක්ද? ඉතින් තව මොකටද අමතර ව්‍යායාම?

දැන් මම ඉන්නේ දුවගේ ගෙදරනේ. ඒ ලීලාවතී දුවත්, ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කළ ඩබ්ලිව්. කේ. කරුණාදාස කියන බෑනාත්, මුනුබුරා වන පසිඳු සඳරුවන් පුතාත්, මට හොඳට සලකනවා. අවුරුද්දට සේරම දරු මුනුබුරෝ තෑගි අරගෙන මාව බලන්න එනවා. මට කියලා නැකතට හිසේ තෙල් ගාවගන්නත් එනවා. එදාට මට හරිම සතුටුයි. මම ඉතින් හැමෝගෙම අතේ පඬුරක් තියලා සතුට බෙදා හදා ගන්නවා. දැන් ඉතින් මගේ ජීවිතේ සේරම සම්පූර්ණයි. මට දරුවෝ හය දෙනයි. ඒ දූ දරුවන්ට මුනුබුරු මිනිබිරියො පහළොස් දෙනයි. ඒ මුනුබුරු මිනිබිරියන්ට දූ දරුවො දහ හතර දෙනයි. මගේ සතුට මේ දූ දරුවොයි, මුබුරු මිනිබිරියොයි තමයි. අවුරුදු සීයක් ගෙවිලා ගියා, මට දැනෙන්නේ නම් මම උපන්නේ හරියට අද ඊයේ වගෙයි.

සටහන සහ ඡායාරූප
ඇම්. පී. මුනිදාස-ඉඳුරුව සමූහ


නව අදහස දක්වන්න

Or log in with...