ශක්තිමත් ජාතියක් විදිහට ඉදිරියට යෑමට තව බොහෝ කැපකිරීම් කළ යුතුයි | දිනමිණ

ශක්තිමත් ජාතියක් විදිහට ඉදිරියට යෑමට තව බොහෝ කැපකිරීම් කළ යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත, හම්බන්තොට සිට

දැනුමින් සපිරි ලෝකයේ මහා ශක්තිමත් ජාතියක් විදිහට ගොඩනැගෙනවා සේම රටක් ලෙස ඉදිරියට යෑමට තව බොහෝ කැපකිරීම් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා (10) කොටවාය මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සහ ප්‍රාථමික ක්‍රියාකාරකම් ඒකකය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

පාසලට සපැමිණි ජනාධිපතිවරයා විදුහල්පති ගුරුභවතුන් සහ දු දරුවන් මහත් හරසරින් පිළිගෙන පාසලට කැඳවාගෙන පැමිණීමෙන් අනතුරුව, විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව ප්‍රාථමික ක්‍රියාකාරකම් ඒකකයද සිසු අයිතියට පත් කැර පාසල් දරුවන් සමඟ පිළිසඳරේ ද යෙදුණි.

ඉන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

විභාග සමත්වන සැම කෙනෙක්ම ජීවිතය සමත්වීමට දන්නේ නම් මේ රටේ ප්‍රශ්න ඇති වන්නේ නෑ.

ඔබේ පාසල අපේ රටේ පාසල් දහදහස් එකසිය ගණනක් අතරේ තිබෙන ඉතාම පැරණි පාසලක්. මේ පාසල ආරම්භ කරලා තිබෙන්නේ 1931 වසරේ. මේ දීර්ඝ ඉතිහාසය තුළ රටත් ලෝකයත් ජයගත් කීර්තිමත් ආදි ශිෂ්‍යයින් විශාල පිරිසක් මේ පාසලෙන් බිහි වී තිබෙන බව මා විශ්වාස කරනවා. මේ පාසලේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල පිළිබඳ අප සතුටු වෙන්න ඕනෑ. තාක්ෂණික ලෝකයට යන්න ප්‍රාථමික අධ්‍යාපනයේ මුල් පියවර ඔබේ පාසලෙන් ඔබට ලැබෙනවා. අපි ජීවත් වෙන්නේ තරගකාරී සමාජයක. මිනිසුන් ආර්ථික, දේශපාලන, තාක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවල විවිධ අංශවලින් තරගයක යෙදී සිටිනවා. ඒ තරගයට අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා. රටක අනාගතය සඳහා දීර්ඝකාලීන වශයෙන් කරන්නා වූ වැදගත්ම ආයෝජනය වන්නේ අධ්‍යාපනය යි. රටක් දියුණු වෙන්න ජනතාව උගතුන් වෙන්නට ඕනෑ. රටක් දියුණු වෙන්න ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. නැති බැරිකම්, අගහිඟකම්, ලොකු පුංචිකම්, උස්මිටිකම් අධ්‍යාපනය සහ දැනුම සමඟ වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු හදන්න නම් දැනුම දෙන්න ඕනෑ. රටක් හදන්න නම් දැනුම දෙන්න ඕනෑ. දැනුමින් සපිරි ජාතියක් ලෝකයේ මහා ශක්තිමත් ජාතියක් විදියට ගොඩනැගෙනවා.

ගත වූ දශක කීපය තුළ සෑම ආණ්ඩුවක්ම විවිධ වූ වෙනස්කම්වලට අධ්‍යාපනය භාජනය කරලා තිබෙනවා. චන්දිම රාසපුත්‍ර ඇමැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා. එතුමා කිව්වා අධ්‍යාපනයට අපි පසුගිය ආණ්ඩුවට වඩා වැඩි මුදලක් වෙන් කරලා තිබෙන බව. අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන මුදල් කොතෙක් ද කියන එක ගණන් බලන්න ඕනෑ. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිතුමාගේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශවලටයි වෙන් කරලා තිබෙන මුදල් පමණක් නොව, අපි උසස් අධ්‍යාපනයට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන මුදල් පසුගිය දශක කීපයටම වඩා වැඩියි.

මීට පෙර කිසිම ආණ්ඩුවක් නොකළ කාර්යයක් අපේ ආණ්ඩුව කළා. වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට අයත් සියලු අධ්‍යාපන ආයතන, වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවලට යන දරුවෝ මාස් පතා සල්ලි ගෙවන්න ඕනෑ. නමුත් අපි 2016 අවුරුද්දේ සිට ලංකාවේ වෘත්තිය පුහුණු අධ්‍යාපනය ලබන දරුවන් මාසිකව ගෙවන වියදමෙන් නිදහස් කෙරුවා. රුපියල් කෝටි 700 ක් වියදම් කරලා නෙදර්ලන්ත ආධාර යටතේ හදන වෘත්තිය පුහුණු අධ්‍යාපන ආයතනයකට දැන් දවස් දෙකකට කලින් පොළොන්නරුවේ දී මම මුල්ගල් තිබ්බා. විවිධ ආර්ථික රටාවන් සහ ආර්ථික ක්‍රමවේදයන් සහ තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යාමේදී හරිත ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල ආර්ථිකය වැනි ආර්ථික විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අපි කතා කරනවා. ලෝකයේ අනිත් ජාතීන් සමඟ දෙවැනි නොවන මහා ප්‍රබුද්ධ ජාතියක් විදියට ගොඩනැගෙන්න අපි ඒ ආයෝජනය පුළුල් කරලා තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතන නෙවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වෙන තැනක. විභාග ප්‍රතිඵලවලින් අපේ රට ඉතාමත් ඉහළ තැනක සිටිනවා. ඉතාමත් දක්ෂ උගතුන් බිහි වෙනවා. දශක හතකට වැඩි කාලය තුළ නිදහස් අධ්‍යාපනය නිසා ලබා ඇති ප්‍රතිඵල ඉතාමත් විශිෂ්ටයි. විභාග සමත් වෙන හැම කෙනෙක්ම ජීවිතය සමත් වෙන්න දන්නවා නම් මේ රටේ ප්‍රශ්න නැහැ. විභාග සමත් වෙන්න දන්න හැම කෙනෙක්ම ජීවිත සමත් වෙනවා නම් ලෝකයේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පෙන්වන දර්ශක අතරේ ජාත්‍යන්තරයේ අපි මීට වඩා හොඳ තැනක ඉන්න ඕනෑ. ජාත්‍යන්තර දර්ශක තුළ මහා අනුවේදනීය කතාවක් තිබෙනවා. අපි කොතනද ඉන්නේ. ලෝකයේ සියදිවි නසා ගැනීම් අතින් අපි ඉන්නේ දෙවැනි හෝ තෙවැනි ස්ථානයක. විභාග සමත්වීමේ ප්‍රතිඵලය තිබෙනවා. ජීවිතය සමත් වෙලා තිබෙනවද. ලංකාවේ සියදිවි නසා ගන්න අය අතරේ පාසල් දරුවෝ කොච්චර ඉන්නවද. මම පාසල්වල නම් කියන්නේ නැහැ. ඒ පාසල්වලට අගෞරවයක් වන නිසා. අපේ රට ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබෙන රටක්. විභාග සමත් වුණු ගණනට තමන්ගේ සෞඛ්‍ය ගැන මිනිස්සු හිතලා තිබෙනවා නම් ජාත්‍යන්තර සෞඛ්‍ය දර්ශක තුළ අපි ඉන්න ඕනෑ මීට වඩා බොහෝ ඉහළ ස්ථානයක. ලංකාවේ දියවැඩියා රෝගීන් කොච්චරද. ප්‍රතිශතයක් විදියට සියයට 20කට වඩා වැඩියි. යුද්ධය තිබුණු රටක් විදියට ලංකාවේ ආබාධිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. ආබාධිතයන්ගේ සංඛ්‍යාව සියයට 18ක් පමණ වෙනවා. කණ්ණාඩි දාන සේරම මමත් එක්ක ආබාධිතයි.ලංකාවේ විභාග සමත් වෙන ගණනට සංවර්ධනයේ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවද විභාග සමත්වීමත් එක්ක. ඒ අපේ තිබෙන ආකල්පවල ප්‍රශ්නයක්.

ලංකා ජාතික ශිෂ්‍ය සංගමය නොහොත් කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමය මීට අවුරුදු විස්සකට පමණ පෙර ඉතා ප්‍රබලයි. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් ඉතාමත් ප්‍රබලයි. අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලහත්කාරයන් මිරිකිලා තර්ජනය කරලා බය කරලා ම්ලේච්ඡ විදිහට ළමයිව ඈඳගෙන ඉන්න පෙරටුගාමීන්ගේ ශිෂ්‍ය සංවිධානය අද ප්‍රබලයි. උගතුන් මෙච්චර බිහිවෙන රටක පළාතකට විශ්වවිද්‍යාල දෙක තුනක් තිබෙන රටක උගතුන් වැඩිපුර ගැවසෙන රටක අමෙරිකාවේ නාසා ආයතනයේ ඉඳලා ඊශ්‍රායලයේ , අමෙරිකාවේ , ජපානයේ ද ලෝකයේ ඉහළම අධි තාක්ෂණය තිබෙන ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් ඉන්න රටක අද විශ්වවිද්‍යාලවලට වෙලා තිබෙන්නේ කුමක්ද. අහිංසක දරුවන්ට කරන්න තිබෙන තරම් හිරිහැර කරන්නේ මේ විභාග පාස් වෙලා යන අයගෙන්ම කොටසක් නේද.

කොටවාය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යන දරුවෝ කොච්චර සුන්දර බලාපොරොත්තු ඇතිවද එතනට යන්නේ. මම ඒ දරුවන්ට ආශිර්වාද කරනවා. මේ දුප්පත් දරුවෝ මම හැදුණා වගේම තමයි. මේ දරුවන්ගේ දෙමව්පියෝ තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා කිව්වහම මොනතරම් සතුටක් ලබනවද. මගේ පුතා දොස්තර කෙනෙක්. මගේ පුතා ඉංජිනේරුවරයෙක්. මගේ පුතා නීතිඥයෙක්. මගේ පුතා උගතෙක්. මගේ පුතා රට පාලනය කරන පරිපාලකයෙක්. මගේ පුතා හොඳ ගුණවත් දේශපාලනඥයෙක්. ඒවා තමයි දෙමව්පියන්ට තිබෙන සිහින. හැබැයි ඒ සිහින සුන් කරන ම්ලේච්ඡත්වය රජකම් කරන විශ්වවිද්‍යාලවල අද දරුවන්ට කරන නින්දිත හිරිහැරවලට විරුද්ධව දෙමව්පියෝ අවදි වෙන්න ඕනෑ. මේවාට ගුරුවරු අවදි වෙන්න ඕනෑ. මේ රටේ උගතුන් කියන හැම කෙනෙක්ම මේවාට පෙරමුණ ගන්න ඕනෑ. දරුවන්ගේ අත පය කඩනවා නම්, දරුවෝ මරනවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම වධහිංසා ඉවසගන්න බැරිව දරුවෝ සියදිවි නසා ගන්නවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම දරුවන්ට ලිංගික හිරිහැර කරනවා නම් පාස් වෙන විභාගවල ප්‍රතිඵලය කුමක්ද කියලයි අපිට අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ. අපි කතා කරන උගත්කම් එක්ක අපේ සමාජ ආකල්ප, අපේ සිතුම් පැතුම්, හැදියාවන් කොතෙක් දුරට වෙනස් වෙලාද කියන කාරණය අපේ හදවත්වලින් අපිට අහන්න සිදු වෙලා තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ දැන් මාස දෙකකට කලින් ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. නවක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 16 නමකට මේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් දරුණු ලෙස වධහිංසාවලට ලක්කරලා තිබුණා. ඒ දුන්නු වධ, කළ හිරිහැර මට මෙතන කියන්න බැහැ අපේ හාමුදුරුවනේ. මේ බෞද්ධයින්ගේ රටක්. මේ වන විට ඒ වධ දුන්න භික්ෂූන් වහන්සේලා ගණනාවක් අද හිරභාරයේ ඉන්නවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නවකවධය ඉවසන්න බැරිව සියදිවි නසා ගත්ත තරුණ දියණියකගේ මරණය පිළිබඳ 2015 දි නිවැරදි පරීක්ෂණයක් සිදු කරලා නැති නිසා ඒ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පවා උසාවියට ගෙන්වනවයි කියලා උසස් අධ්‍යාපන ඇමැතිතුමා ගිය සතියේ කිව්වා. ඒ කතාවේ පිටුපස තිබෙන්නේ කුමක්ද. වධ දීලා තට්ටු හතරක් උඩට ඒ දරුවා ව ගෙනිහිල්ලා කිව්වා මේකෙන් බිමට පැනපන් කියලා. ඒ දරුවා බිමට පැන්නේ නැහැ. අවසානයේ ඒ දරුවා වෙනත් විදියකට සියදිවි නසා ගත්තා. මේක තමයි උගතුන් බිහි වෙන නිදහස් අධ්‍යාපනයෙන් උදම් අනන රටකට සිද්ධ වෙලා තිබෙන ඛේදවාචකය. විභාග සමත් වුණාට ජීවිතය සමත් කර ගන්න බැරි සමාජයක් මේ.

මේ පාසලේ තරූෂි ශිෂ්‍ය නායිකාව අද මෙතන කතාවක් කළා. ඒ දරුවා කළ කතාවේදී කිව්වා මේ පාසලට රාජ්‍ය නායකයා අපේ ජනාධිපතිතුමා එනවා කිව්වාහම අපි හරිම සතුටු වුණා කියලා. ඒ දරුවා කොච්චර ලස්සනට ඇඳ ගෙන ඉන්නවාද. සපත්තු මේස් දාලා ටයි එකක් දාලා සුදු ඇඳුමක් ඇඳලා. මේ පිරිමි දරුවෝ සුදු සපත්තු මේස් දාලා පාසලේ ටයි එක දාගෙන කොච්චර ලස්සනට ඉන්නවද. දරුවනේ ඔය වයසේදී මම ගියේ පොළොන්නරුව ලක්ෂ උයන විද්‍යාලයට. එදා මම පාසලට යන කොට සපත්තු දැම්මේ නැහැ. සෙරෙප්පු දැම්මෙත් නැහැ. එකේ ඉඳන් පහේ පන්තියට යනකම් මම ඒ පාසලට ගියා. එතනින් මම පොළොන්නරුව නගරයේ මහා විද්‍යාලයට ගියා. ඒ පාසලට ගියාම කිව්වා සපත්තු දාන්නේ නැතිනම් සෙරෙප්පු දාගෙන එන්න ඕනෑ කියලා. ඒ පාසලේ අවුරුදු තුනයි හිටියේ. ඉන්පසුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයට භාර දෙන්න යන කොටම ලැයිස්තුවක් දෙනවා. ඒකේ තිබෙනවා සපත්තු දාගෙන එන්න ඕනැයි කියලා. එහෙම තමයි අපි හැදුණේ.

මේ දුෂ්කර කටුක ජීවිතය ඔබ වගේම මම අත්දැකලා තිබෙනවා. අත්විඳලා තිබෙනවා. අපිට පාසල් යන්න බස් එකක් තිබුණේ නැහැ. අපිට බුදුන් වඳින්න ගමේ පන්සලක් තිබුණේ නැහැ. පොත් කියවන්න විදුලි ආලෝකය තිබුණේ නැහැ. කුප්පි ලාම්පුවලින් අපි පොත් බැලුවේ. අපේ ගමේ එක ගෙදරකවත් කාර් එකක් තිබුණේ නැහැ. අපි හරිම දුෂ්කර ජීවිතයක් ගත කෙළේ. මේ දරුවෝ හැදෙන්න නම් පාසලකට ආවිට මේවා නොකියා බැහැ.

මේ රටේ දුප්පත්කම ඇයි. මේ රටේ අගහිඟකම් ඇයි. මේ රටේ දුප්පත් ජනතාව තමයි වැඩිපුර මත්ද්‍රව්‍යවලට වියදම් කරන්නේ. මේ රටේ වැඩිපුර අරක්කු බොන්නේ, වැඩිපුරම සිගරට් බොන්නේ, වැඩිපුරම කසිප්පු බොන්නේ, වැඩිපුරම ගංජා උරන්නේ දුප්පත් ජනතාව. ලංකාවේ දුප්පත්කම වර්ධනය වෙන්න ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය. ඔබ සංඛ්‍යා ලේඛන දැකලා ඇති. ගමක සිගරට් අරක්කුවලට මාසයකට කොච්චර වියදම් කරනවද. ඒක කොළඹ නගරයේ ඉඳලා මේ රටේ ඈත ගම් දනව් සිසාරා යනවා. හැම තැනම හැම ගම්මානයකම තත්ත්වය ඒකයි. යුද්ධයෙන් නිදහස් වුණු උතුරේ තත්ත්වය අද කුමක්ද. උතුරේ පවුල්වලින් විශාල පිරිසක් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෝර්වේ, ස්වීඩන්, පැරිස් වැනි රටවල්වල රැකියාවන් කරනවා. ඔවුන් අද විශාල පෝසත්තු වෙලා තිබෙනවා. ඒ අය තමන්ගේ දරුවන්ට, නෑදෑයින්ට සල්ලි එවනවා. නමුත් ඔවුන් ඒ මුදල් ආයෝජනය කරන්න දන්නේ නැහැ. දෛනික ජීවිතයේ තමන්ට නොගැලපෙන දේවල් රාශියක් ඔවුන් කරනවා. ඇතැම් අය මත්ද්‍රව්‍යවලට වියදම් කරනවා.

නව ආර්ථික රටාවට මුහුණ දෙන්න නම් අපි වෘත්තිය අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ. ඒවගේම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම විෂය නිර්දේශවලට ජීවිතය සමත් වෙන සැටිත් ඇතුළත් කරන්න ඕනෑ. අපි රටක් විදියට ඉදිරියට යන්න තව බොහෝ කැපකිරීම් කළ යුතු වෙනවා. අපේ ජීවිතවල හැදියාවන්වල වෙනස්කම් කරගන්න සිදු වෙනවා. අපේ දැනුම පාවිච්චි කරලා අලුතින් හිතන්න සිද්ධ වෙනවා. ඒවා ආණ්ඩුවකට තනියම කරන්න පුළුවන් දේවල් නොවෙයි. තමන් හැදෙන්න බොහෝ දේවල් ගත යුත්තේ තමාගේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය තුළිනුයි. රටක් විදියට දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ උසස් විභාග ප්‍රතිඵල ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අපි තව තවත් ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. චන්දිම රාසපුත්‍ර ඇමැතිතුමා අවුරුදු අටහමාරක් දකුණු පළාතේ අධ්‍යාපනය ඇමැතිතුමා. පළාත් අධ්‍යාපන ඇමැතිවරයෙක් විදියට එතුමා හොඳ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවා. අද ලංකාවේ ඉහළම ප්‍රතිඵල තිබෙන පළාත විදියට හොඳම දිස්ත්‍රික්කය විදියට හම්බන්තොට දිස්ත්‍රික්කය ගෙන එන්න එතුමාලා කරලා තිබෙන කැපවීමේ ප්‍රතිඵල තිබෙනවා. ඒකේ ගෞරවය එතුමාට විතරක් නොවෙයි. ඒකේ ගෞරවය විශේෂයෙන්ම විදුහල්පතිතුමාලා, ගුරු මෑණිවරුන්ටත් ,පියවරුන්ටත් හිමි විය යුතුයි. චන්දිමා රාසපුත්‍ර අමාත්‍යවරයා පළාතේ අධ්‍යාපනයේ නායකයා විදියට හොඳ සැලසුම් සහගත වැඩපිළිවෙළක් මඟින් හොඳ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවා.

කෘෂිකර්මය තුළ අලුත් නැම්මක් ඇති කරන්න විශාල උත්සාහයකින් කටයුතු කරන මහින්ද අමරවීර ඇමැතිතුමා සමඟ ඔබේ පාසලට පැමිණ ඔබේ දරුවන් සහ රට ගැන කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.

දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර මහතා -කොටවාය මහා විද්‍යාලය කියලා කියන්නේ අඟුනකොලපැලැස්ස කොට්ඨාසයේ තංගල්ල කලාපයේ. මීට කාලයක් ඉස්සර ඉතාමත් හොඳ මට්ටමකට තිබිලා පසුව යම්කිසි පසුගාමී මට්ටමකට වැටිලා නැවතත් ඉදිරියට එමින් තිබෙන වැඩි ළමයින් සංඛ්‍යාවක් සිටින පාසලක්. දකුණු පළාත මීට අවුරුදු අටහමාරකට උඩදී තමයි අධ්‍යාපන ඇමැතිවරයා විදියට මට වගකීම පැවරුනේ. ඒ වේලාවේ ජනාධිපතිතුමනි විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ගැන කතා කරනකොට දැවැන්ත ප්‍රශ්න ගොඩක් තිබුණු දිස්ත්‍රික්කයක්.අපේ දිස්ත්‍රික්ක විසි පහෙන් තත්ත්වය පිළිබඳ බැලුවාම 2009 අවුරුද්දේ තිබුණේ ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසි වැනි තැන තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය තිබුණේ. පසුගිය අවුරුදු අට කාලය තුළ විශේෂයෙන් පළමු අවුරුදු හතට පනින කොට, වසර 2013 වෙන කොට පළවැනියෙන්ම දාහතර වැනි තැනටත්, ඊළගට හයවැනි තැනටත්, ඊළගට දෙවැනි තැනටත් මේ අවසාන අවුරුද්දේ හම්බනතොට දිස්ත්‍රික්කය ලංකාවෙම පළමුවැනි තැනටත් පත් වුණා කියන එක මම ප්‍රකාශ කරන්නේ හම්බන්තොට ඉන්න සමස්ත ගුරු පද්ධතිය වෙනුවෙන් ඉතාමත්ම ආඩම්බරයෙන්. ඒ විතරක් නෙවෙයි දකුණු පළාත ලංකාවෙ පළමු තැන ගන්න කොට අපට පුළුවන් කම ලැබුණා දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහෙන් එක දෙක තුන තැන් ලබා ගන්නවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර, දකුණු පළාත් ධීවර පශු සම්පත් විදුලිබල ඇමැති එච්.ඩබ්ලිව්. ගුණසේන, පාසලේ විදුහල්පති එච්.ඩබ්ලිව්.නුවන් ප්‍රියන්ත යන මහත්වරු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරු, අධ්‍යපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, පාසලේ ගුරු භවතුන් දෙමාපියන් පාසල් දු දරුවන් එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර. 


නව අදහස දක්වන්න

Or log in with...