බේරුවලින් මුහුදු ගිය ‘මලිඳු පුතා’ අනතුරේ | දිනමිණ

බේරුවලින් මුහුදු ගිය ‘මලිඳු පුතා’ අනතුරේ

විජයානි එදිරිසිංහ, උපාලි කරුණාරත්න සහ කළුතර දිස්ත්‍රික් සංචාරක

නාවික හමුදාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට වෙළෙඳ නෞකාවකින් ලැබුණු පණිවිඩයක් ඔස්සේ ගාල්ල බටහිර මුහුදු සැතපුම් තිහක් දුරින් පෙරලුන බෝට්ටුවක සිට දිවි ගලවාගත් එක් පුද්ගලයකු සහ එහි සිට මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර හතරක් සොයාගෙන තිබේ.

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ‘මලිඳු පුතා’ නමැති ධීවර යාත්‍රාවක් ඊයේ (12) මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන් සිවුදෙනෙක් මෙසේ මියගොස් ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙහිදී අතුරුදන්ව සිටින තවත් පුද්ගලයන් දෙදෙනකු සොයා කිමිදුම්කරුවන් විසින් මෙහෙයුම් සිදුකරන බවයි. බේරාගත් පුද්ගලයාව නාවික හමුදාව විසින් ගාල්ල වරාය පොලිසියට බාරදී තිබේ.

පෙර අපර දිග වෙළෙඳ නෞකා සියල්ලක්ම ගමන් ගන්නා ගාල්ල වරායට මුහුදු සැතපුම් තිහක් දුරින් පිහිටි ප්‍රධාන වෙළෙඳ නෞකා මාර්ගයේදී අනතුරට ලක්ව ඇත්තේ පෙරේදා රාත්‍රියේ බේරුවල ප්‍රදේශයෙන් ධීවරයන් හතක් සමඟ සිටි ධීවර බෝට්ටුවක් බවයි.

එම මාර්ගයේ ගමන් ගන්නා වෙළෙඳ නෞකාවක හැපී මෙම බෝට්ටුව අනතුරට ලක්වී ඇත.

ඉහත සඳහන් පරිදි වෙළෙඳ නෞකාවකින් සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලබාදුන් පණිවිඩයේ සඳහන්ව තිබුණේ මේ බෝට්ටුව පෙරළී අනතුරක් සිදුවී ඇති බවයි.

එම පණිවිඩයත් සමඟම මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් වහාම ඩෝරා යාත්‍රා සහිත ගලවාගැනීමේ නාවික කණ්ඩායමක් එම ස්ථානයට යද්දී එක් පුද්ගලයකු ජීවත්ව සිට ඇති අතර ඉතිරි සිවුදෙනා බෝට්ටුවේ සිරවී මියගොස් තිබූ බව පවසයි.

ඊයේ පස්වරු වනවිටත් අතුරුදන්වූ පුද්ගලයා සම්බන්ධ තොරතුරක් ලැබී නැත.

මෘත ශරීර සහ අනතුරට ලක්වූ බෝට්ටුවද ඊයේ පස්වරු වනවිට ගාල්ල වරාය වෙත ගෙනවිත් තිබුණි. දිවි ගලවාගත් පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

මේ පිරිස රැගත් බෝට්ටුව හැපී ඇත්තේ කුමන රටක වෙළෙඳ නෞකාවකද යන්න සොයා ගැනීමට නොහැකිවී ඇත. ඉදිරි පරීක්ෂණ කටයුතු සියල්ල නාවික හමුදාව මගින් ගාල්ල වරාය පොලිසිය වෙත ලබාදී ඇතැයි කියයි.

නව අදහස දක්වන්න