ගෝඨාගෙන් පැය තුනක ප්‍රකාශයක් | දිනමිණ

ගෝඨාගෙන් පැය තුනක ප්‍රකාශයක්

විජයානි එදිරිසිංහ

ද නේෂන් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) පැය තුනක පමණ කාලයක් සිද්ධියට අදාළ විවිධ වූ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් ලබාගත්තේය. ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ තිබුණි. අනතුරුව ඒ මහතා ඉන් පිටව ගියේ දහවල් 1.30 ට පමණය.

2010 සැප්.22 වැනිදා කීත් නොයාර් මහතා නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකර ආපසු අතර මග දමා ගොස් තිබිණි.

කීත් නොයාර් මහතා එදින එසේ පැහැර ගැනීමකට ලක්වී ඇති බව එවකට රිවිර පුවත්පතේ සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන් මහතා විසින් කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දී තිබුණි.

කරූ ජයසූරිය මහතා හරහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එම පැහැර ගැනීම ගැන දැනුවත් වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. ඒ බව දැනුවත් වීමෙන් පසු කීත් නොයාර් මහතා සම්බන්ධයෙන් ගත් ක්‍රියාවලිය කුමක්ද යන්න සහ ඊට අදාළ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබිණි.

මෙසේ ලබාගන්නා ලද ප්‍රකාශයේ ඇතුළත් කරන කීත් නොයාර් පැහැර ගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණය හමුවේ විභාග වන නඩුවේ ඊළඟ නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන පසුගිය නඩු වාර‍යකදී එම ප්‍රකාශය ඇතුළත් කරුණු අධිකරණයට වාර්තා කරනු ලැබිණි.

 


නව අදහස දක්වන්න

Or log in with...