මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු කළේ මේ ආණ්ඩුව විතරයි | දිනමිණ

මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු කළේ මේ ආණ්ඩුව විතරයි

සිතාරා සේනානි
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලංකාවේ සීමාසහිත එක්සත් ‍ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවේ නිර්මාණයෙන්, දිනමිණ පුවත්පත සමඟ නොමිලේ ලබා දෙන 'සුව අරණ' පුවත් අතිරේකයේ වර්ෂ පූර්ණ පුවත් අතිරේකය ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු ද, රාජ්‍ය සබදතා කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර 'සුව අරණ' පුවත් අතිරේකයේ සංස්කාරිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී බුද්ධිකා ඉඹුලාන මහත්මිය ද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරුන් පුවත් පත් කතුවරු කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ද එම අවස්ථාවට සහභාගි වූහ. මෙම උත්සවය ලේක්හවුස් ආයතනයේදී ඊයේ (12) පැවැත්විණි. ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

මැතිවරණ ප්‍රකාශනයට දුන් පොරොන්දු දෙස බලමින් එකින් එක ඉටු කළේ මේ ආණ්ඩුවපමණක් බවත් යූ.එන්.පී, ශ්‍රී ලංකා දෙපැත්තේ ම ආණ්ඩුවල තමා වැඩ කළත් කිසි දවසක මැතිවරණ ප්‍රකාශනයක් ගෙනත් ඇමැති මණ්ඩලයේ කතා කර නැති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් ගතවූ වසර දෙකක කාලසීමාවේ ජනතාව වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළත්, රජය කිසිවක් සිදුනොකළ බව පවසමින් සමාජ මාධ්‍යවලින් එක දිගට රජයට පහර එල්ල කළේ තමන් කළ වැඩ ගැන රජය නිසි ප්‍රචාරණයක් සිදුනොකළ නිසා බවත් ඇමැතිවරයා පැවසීය. එම නිසා රජයේ පාර්ශ්වයෙන් සිදුව ඇති මෙම අඩුපාඩුව නිසි ලෙස හඳුනාගනිමින් රජය සිදුකළ සේවාවන් ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා රජයේ මාධ්‍යවල සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලංකාවේ සීමාසහිත එක්සත් ‍ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවේ නිර්මාණයෙන්, දිනමිණ පුවත්පත සමඟ නොමිලේ ලබා දෙන 'සුව අරණ' පුවත් අතිරේකයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ‍ලේක්හවුස් ආයතනයේ ඊයේ (12) පැවැති උත්සවයේදී ය.

එහිදි ඇමතිවරයා මෙසේද කීය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පමණක් නෙවෙයි අපේ රජයෙන් විශාල වැඩකොටසක් කළා. මැතිවරණ ප්‍රකාශනයට දුන් පොරොන්දු ඒ දෙස බලමින් එකින් එක ඉටු කළ කිසිම ආණ්ඩුවක මම මීට පෙර වැඩකර තිබුණේ නෑ. යූ.එන්.පී, ශ්‍රී ලංකා දෙපැත්තේ ම ආණ්ඩුවල මම වැඩ කර තිබෙනවා. ඒත් කිසි දවසක මැතිවරණ ප්‍රකාශනයක් ගෙනත් ඇමැති මණ්ඩලයේ කතා කළේ නෑ. මේ ආණ්ඩු දෙකේ ම ප්‍රධානීන් සමඟ මම කැබිනට් මණ්ඩලයේ කටයුතු කළා. ඒ කිසිම කැබිනට් මණ්ඩලයක මේ විදිහට මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු කිරීම ගැන කතා කළේ නෑ. මේවා සම්බන්ධයෙන් ආණ්ඩු දෙකේ ම ප්‍රචාරක කටයුතු කළේ මමයි.

මේ රජයේ තිබුණ එකම වෙනස තමයි ආණ්ඩුව පිහිටුවූ පසු මුලින්ම දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම. ඒ දින සියයයේ එකින් එක අරගෙන අපි ඒ සියල්ලම ක්‍රියාත්මක කළා. අයවැය ලේඛනය ගත්තොත් එහි තුන්කාලක් තිබුණේ මහජන සුබසාධන ක්‍රියාවලිය සහ දින සියයේ වැඩපිළිවෙළ. මහජන හිතවාදී අන්දමින් තමයි මේ රජය කටයුතු ආරම්භ කළේ.

නව අදහස දක්වන්න