ජොන්ස්ටන් දිළිඳු ජනයාට බෙදීමට කියා සතොෙසන් භාණ්ඩ ලබාගත්තා | දිනමිණ

ජොන්ස්ටන් දිළිඳු ජනයාට බෙදීමට කියා සතොෙසන් භාණ්ඩ ලබාගත්තා

ආරියපාල වංශතිලක කුරුණෑගල මධ්‍යම විශේෂ

හිටපු සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට බෙදා දෙන්න යැයි කියමින් සතොස යම්තම්පලාව ශාඛාවෙන්ද රුපියල් 1398000ක ආහාර ද්‍රව්‍ය ලබාගෙන ඇති බව සතොස හිටපු ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි මනෝජ් බොතේජු මහතා කුරුණෑගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (12) පැවසීය.

ලංකා සතොස ආයතනයේ රුපියල් ලක්ෂ 38ක ආහාර ද්‍රව්‍ය චක්‍රලේඛවලට පටහැනිව ලබාගනිමින් මුදල් අවභාවිතා කිරීම පිළිබඳව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුවේ විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බෝතේජු මහතා එසේ පැවසීය.

ලංකා සතොස ආයතනයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් දින 3ක් තිස්සේ කරුණෑගල මහාධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවේ තුන්වන දිනයේදීත් සාක්ෂි දුන් සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි මනෝජ් ලක්ෂාන් බොතේජු මහතා විත්තියේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් නඟන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ සතොස ආයතනයෙන් ලබාගත් ආහාර ද්‍රව්‍ය වෙනත් ඕනෑම දෙයක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි බවත් ය.

විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේදී තවදුරටත් සාක්ෂි දුන් බොතේජු මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට බෙදාදෙන්න යැයි කියමින් මෙම භාණ්ඩ යම්තම්පලාව ශාඛාවෙන් ලබාගෙන තිබෙන බවත් මේ අනුව යම්තම්පලාව සතොස ශාඛාවෙන් රුපියල් 1398000ක ආහාර ද්‍රව්‍ය ලබාගෙන තිබෙන බවත් කියා සිටියේය.

මේ අනුව දෙවන සාක්ෂිකරු වන ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිශාන්ත ආසිරි පෙරේරාගෙන් ද සාක්ෂි සටහන් කර ගන්නා ලදී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සතොස ශාඛා තුනකින් රුපියල් පනස් දෙලක්ෂයකට (52.02) අධික ආහාර ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා නොදී වංචාකිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙ‍ෙළඳ ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති කේ. එම්. ආර්. ප්‍රනාන්දු, ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම් රාජ් මොහොදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන මූල්‍ය ඒකකය විසින් මේ නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමුකොට තිබුණි.

සිවිල් නඩු සංග්‍රහයේ පොදු දේපොළ පනතේ 50 වැනි වගන්තිය යටතේ මෙම නඩුව ගොනුකර තිබු අතර රජයේ නීතිවේදීන් තිදෙනෙකු විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ ඉන්දික ගිරාගම, සමන්ත ප්‍රේමචන්ද්‍ර, හරීන් සද්ධාසේන යන නීතිවේදීන් පිරිසක් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න