නව ජවයකින් පිබිඳුණ මොනරාගල | දිනමිණ

නව ජවයකින් පිබිඳුණ මොනරාගල

 

නීලහරිත ආර්ථික කලාපයක් ලෙස මොනරාගල ගොඩගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයෙන් මඟපෑදුණු බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වෙන ජනතාවගේ ආදායම් වැඩිදියුණු කිරීමට හා වියදම් තාර්කික කිරීමට හැකිවන සේ අඩු වියදම් විදුලිබලය නිෂ්පාදනය, නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීම ප්‍රධාන නීලහරිත ආර්ථිකයක උදාව මින් සිදුවන බවද මංගල සමරවීර මහතා කීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ඉකුත් මස 29, 30 හා 31 තෙදින පැවැත්වුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයෙන් සිදුවූ මෙහෙවර පැහැදිලි කරමින් මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.

ඉදිරියේදී මුළු ලෝකයේම ඉන්ධන මිල ගණන් මෙන්ම බලශක්තිය නිෂ්පාදන වියදම් ඉහළයෑම සිදුවන වටාපිටාවක් නිර්මාණය වී තිබෙනවා. මේ අභියෝගාත්මක තත්ත්වයෙන් අප රටේ ජනතාව බේරාගත හැකි මංපෙත් අපි දැන්ම සිටම සොයා ගත යුතුයි. ඒ අරමුණ ඇතිවයි අපි මේ ප්‍රදර්ශනයට නීලහරිත ආර්ථික කලාපයක් එක් කළේ. මේ තුළ V2025 වනවිට අපේ රටේ ආර්ථිකයේ ජයග්‍රහණ ගැන ප්‍රදර්ශනය කළා.

මේ අංශයෙන් ගත්විට අපිට සුළං බලයෙන් සූර්ය බලයෙන් ඒවාගේම තාප බලයෙන් බලශක්තිය විදුලිය නිපදවීමට හැකි අවස්ථා ගැන විශාල දැනුම්වත් කිරීමක් ලබාගන්නට හැකිවුණා. ප්‍රදර්ශනයට ආ විශාල පිරිසක් මේ ගැන දැනුම ලබාගත්තා.

අඩු වියදම් බලශක්ති උත්පාදනය, අඩු වියදම් විද්‍යුත් මෝටර් රථ භාවිතය, විදුලිබලය නාස්තිය අවම කිරීම ගැන ජනතාව දැනුම්වත් වුණා. මේ තුළ රටේ ආර්ථික වර්ධනයට පුංචි පුංචි ඒකක ලෙස දායක විය හැකි විවිධාකාර ක්‍රමවේද ගැන කතිකා කළා. ජනතාවට මේ තුළින් ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඉඩකඩ ඉදිරියේදී ලැබෙනවා.

අපි වසර 2018 ජාතික අය වැය යෝජනා ඉදිරිපත් කරමින් නීල හරිත ආර්ථිකයක් ගැන මුල්වරට කතා කළා. අපි වසර 2035 වනවිට රජයේ ආයතනවල භාවිතයට ගන්නා වාහන සියල්ල විද්‍යුත් රථ විය යුතු බවට ඉලක්ක ගත කළා.

ඒ ඉලක්කය ජයගන්න නම් ඉතා ඉක්මනින් ඉන්ධන භාවිතා කරන රථවාහනවලට විකල්ප වෙත අප යා යුතුයි. විද්‍යුත් මෝටර් රථ නිපදවීමට මෙරටට ගෙන්වීමට වැඩි අවස්ථා ලබාදිය යුතුයි. ඒ සඳහා රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? කියා මේ ප්‍රදර්ශනයෙන් රට හමුවේ තැබුවා. රජයේ වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ ආයෝජකයෝ, නිෂ්පාදකයෝ, ව්‍යවසායකයෝ දැක්කා. ඔවුන් ඒ අනුව අඩු වියදම් ඉන්ධන පිරිමහන නව රථවාහන නිෂ්පාදනය කිරීමට මුලපිරුවා. නවෝත්පාදන රථවාහන රාශියක් මේ ප්‍රදර්ශනයේදී දැකගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම පරිසර හිතකාමී ටුක් ටුක් විද්‍යුත් ත්‍රීරෝද රථය එළිදැක්වුවා. එය වාණිජ ලෙස නිෂ්පාදනය කොට රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටුකරන වාහකයා බවට ඉදිරි වසර දෙක තුළ පත්වෙයි. ඒ සඳහා ජපානයේ ආයෝජන මෙහි එනවා. අඩු වියදම් පරිසර හිතකාමී වාහනවලට හොඳ වෙළෙඳපොළක් ඇති බව ප්‍රදර්ශනයට ආ ජනතාව මේ පිළිබඳව දැක්වු උනන්දුවෙන්ම පැහැදිලි වුණා යැයිද ඇමැතිවරයා කීය.

මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අඩු වියදම් බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය බලය, සුළං බලය වාගේම තාප බලය යොදා ගන්නට හැකි අවස්ථා ගැන දැනුම ලබාදීම වැදගත් වුණා. මේ සඳහාද ඉදිරියේදී නව ආයෝජන රටේ සිදුවෙයි. ඒ තුළින් ජනතාවට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ.

අපි රිවි බලසවි නමින් නව සූර්යබල පද්ධති ආශ්‍රිතව නිවාසවලට විදුලිබලය ලබාගැනීමට අඩු පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ඇති කළා. සූර්ය බලශක්ති ඒකක සවිකිරීමට අපේක්ෂිත පෞද්ගලික නිවාස ඒකකයකට රුපියල් ලක්ෂ 3 1/2 ක උපරිම ණය මුදලක් ලබාදෙනවා. ඒ සඳහා ගෙවන්න වෙන පොලියෙන් සියයට 50 ක් ම ගෙවන්නේ ආණ්ඩුවයි.

මේ ණය සඳහා මූල්‍ය වෙළෙඳපොළේ අයකරන පොලිය වාර්ෂිකව සියයට 13.5 ක්. නමුත් ආණ්ඩුව ජනතාවගේ ණය සඳහා සියයට 6.5 ක් පොලී ප්‍රතිශතයක් ගෙවනවා.

ඊට අමතරව පරිසර හිතකාමී ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට අපි සූදානම්. සූර්යබලයෙන් තමන්ගේ කර්මාන්තශාලාව ඒකාලෝක කරගන්න, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරගන්න උනන්දුවක් දක්වන පිරිසට රුපියල් ලක්ෂ 75 ක මුදලක් ලබාදෙනවා. උපරිම සීමාවක් නැහැ. ණයලාභියාගෙන් අය කරන්නේ සියයට 08 ක වාර්ෂික පොලියක්. ඉතිරි පොලී මුදල් ගෙවන්නේ ආණ්ඩුවයි.

මේ ණය යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක කරන්න ආසියානු සංවර්ධන බැංකුව ආණ්ඩුවට මූල්‍යාධාර ලබාදී තිබෙනවා.

නීල හරිත ආර්ථිකයක ප්‍රධානම අංගයක් තමයි පිරිසිදු කර්මාන්තකරණයක් ඇතිකිරීම, අපි දැනටමත් ගංගා, ඇළ දොළවලට ඝන අපද්‍රව්‍ය බැහැර කරන අයට, එසේ නොකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට පවිත්‍ර ගංගා ණය වැඩසටහන යටතේ ණය මුදල් ලබාදෙනවා.

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය රජයට මේ සඳහා මූල්‍යාධාර ලබාදෙනවා. රුපියල් ලක්ෂ 300 ක ණය මුදලක් මීට ලබාදෙනවා. අයකරන්නේ සියයට 6.5 ක පොලියක් පමණයි. මෙය අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කර්මාන්තකරුවන්ට වුවත් විශාල සහනයක් අත්කරදෙන ණය යෝජනා ක්‍රමයක් බවද ඇමැතිවරයා කීය.

ජයසිරි මුණසිංහ


නව අදහස දක්වන්න

Or log in with...