මැද­රෙ­දිග නොගි­හින් ආර්ථි­කය සවි­මත් කර ගන්නා pick me කාන්තා රියැ­දු­රු­ව­රි­යන් | දිනමිණ

මැද­රෙ­දිග නොගි­හින් ආර්ථි­කය සවි­මත් කර ගන්නා pick me කාන්තා රියැ­දු­රු­ව­රි­යන්

අනේක විධ දුක් ගැහැට විඳිමන්, තම දූ දරුවන්, සහ ස්වාමිපුරුෂයා පෝෂණය කිරීමට කාන්තාවන් මැද පෙරදිගට යන්නේ වෙනත් ක්‍රියාමාර්ගයක් නැතැයි සිතමිනි. පසුගිය අවුරුදු කිහිපය තුළ දී එලෙස තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මැදපෙරදිග ගොස් තිබූ දෑ කිසිවක් නොමැතිව හෝ ජීවිත විනාශ කර ගනිමින් ලක්දිවට පැමිණි කාන්තාවන් සුලභව දැක ගත හැකි විය. ඊට කදිම පිළිතුරක් සපයමින් ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් තමන්ගේ උත්සාහය සහ කැපවීම මත තමන් කැමති කාල සීමාවක් සේවය කර සැලකිය යුතු ආදායමක් හිමි කර දීම සඳහා pick me ආයතනය මඟින් හඳුන්වා දී තිබෙන කාන්තා රියැදුරු ‍සේවය සිදු කරන්නේ අනර්ඝ කර්තව්‍යකි.

‘දැනට අ‍පත් සමඟ කාන්තා රියැදුරුවරියන් 40ක් පමණ සම්බන්ධ වෙලා සිටිනවා. කැමති කෙනකුට full time හෝ part time වෘත්තියෙහි නියැළෙන්න පුළුවන්. කැමති කාන්තාවක්ට තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන ගමන් මේ වෘත්තිය කරන්න පුළුවන්. අපගේ pick me ආයතනයේ ඇප් එක තමන්ට කැමති වේලාවට විසන්ධි කරලා තමන්ගේ වැඩකටයුතු කර ගන්න පුළුවන්. තමන්ගේ ස්වාමි පුරුෂයාට බරක් නොවී ආරක්ෂාකාරී ලෙස කාන්තාවන්ට මේ වෘත්තියෙහි රැඳෙන්න පුළුවන්. කාන්තා රියැදුරුවරියගේ සෑම විස්තරයක්ම අප සතුව පවතිනවා. ඒ විතරක් නෙමෙයි එම රියැදුරුවරිය ගමන් කරන ස්ථානයත් අපට දැන ගැනීමේ හැකියාව තියනවා. ඔනෑම කාන්තා රියැදුරුවරියකට තමන් සමඟ ගමන් ගන්නා පුද්ගලයාට පැමිණිළි කරන්නත්, ගමන් ගන්නා පුද්ගලයාට, තමන්ගේ රියැදුරුවරිය පිළිබඳ පැමිණිලි කරන්නත් පුළුවන්.

කාන්තාවකට තමන් සමඟ ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලයා පිළිබඳ සැකයක් හෝ අනාරක්ෂිත බවක් දැනුනහම ඒ පිළිබඳ එම පුද්ගලයාට නොදෙන පරිදි රහසිගතව අපට දැනුම් දීමට පුළුවන් වන ආකාරයේ sos බොත්තම මඟින් අපට දන්වන්න පුළුවන්. එහි දී අපට සෘජුව කථා කරන්නේ නැතුව ඕනෑම කාන්තා රියැදුරුවරියකට ආරක්ෂා වෙන්න පුළුවන්. තනි තනි වශයෙන් පාක්වල තමන්ගේ ත්‍රීවිලරය හෝ වෙනයම් වාහනයක් හයර් කරනකොට මේවැනි ආරක්ෂාකාරී විධිවිධාන කිසිවක් නෑ.

දැන් දවසකට හයර් 65,000 ක් පමණ එනවා. ‍බොහෝ වේලාවට අපේ ශ්‍රී ලංකාවේ ත්‍රීවිල් රියැදුරන් පිළිබඳ පවතින්නේ වැරැදි ආකල්පයක්. විශේෂයෙන් ඔවුන් අඳින, පළඳින විදිහ, කථා බහ කරන විදිහ පිළිබඳ සමාජය වපර ඇසින් බලන්න පුරුදු වෙලා සිටිනවා. අපගේ මේ කාන්තා රියැදුරු සේවාව මඟින් එවැනි ත්‍රීවීල් රථ රියැදුරුවරියන්ට පවා සමාජයේ නිසි ගෞරවනීය බවක් පිළිගැනීමක් ලැබිලා තියනවා.

අපගේ කාන්තා රියැදුරුවරියන්ගේ දවසකට යන හයර් ප්‍රමාණය සළකා බලලා අප ආයතනය මඟින් අමතරව යම් මුදල් ප්‍රමාණයක් දීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා. එම මුදලෙන් බොහෝ විට, ත්‍රීවීල් එකක වගේ නම් මාසික ලීසිං මුදල ගෙවා දමන්නට පුළුවන්.

pick me ආයතනයේ මධ්‍යස්ථාන දැනට ගාල්ල, නුවර, කළුතර, ගම්පහ යන ස්ථානවල තිබෙනවා. ඒ විතරක් නෙමෙයි වැල්ලම්පිටිය, කඩුවෙල, මීගමුව, ජාඇළ යන ප්‍රදේශවල අපේ නියෝජිතවරු සිටිනවා. මාසය අග වෙනකම් මුදල් හම්බ වෙනකම් ඉන්න ඕනෙත් නැති නිසා තමන්ගේ රැකියාව තෘප්තිමත් ලෙස කරන්න හැකියාවකුත් තියනවා. කාන්තා රියැදුරුවරියන් දවසට උපයන මුදල් ප්‍රමාණය ‍බැංකුව මඟින් ඔවුන්ගේ ගිණුමට යවන නිසා ඔවුන්ගේ මුදල් නිකරුණේ නාස්ති වීමත් අඩු වනවා.

අපත් සමඟ වැඩ කරන රියැදුරුවරියන් සහභාගී කරවගෙන Get together එකක් තියලා, රියැදුරුවරියන් සහ අප අතර තිබෙන සුහදත්වය වැඩි කර ගන්නවා. එහි දී ඔවුන්ට තිබෙන ගැටලු විසඳගන්න හැකියාවක් තියනවා. ඒ වාගේම රැෆල් එකක් පැවැත්වීම මගින් දිනුම් ඇදීම් සිදු කර මේ කාන්තා රියැදුරුවරියන්ගේ මානසික තෘප්තිය රඳා පවත්වා ගැනීම සහ වෘත්තීමය තෘප්තිමත්භාවය වැඩි කිරීමට අප උනන්දු කිරීමත් සිදු කරනවා.’ pick me ආයතනයේ මානව සම්පත් කළමනාකාරිණිය වන නිලූකා කනකරත්න මහත්මිය එලෙස තම අදහස් ප්‍රකාශ කළාය.

pick me ආයතනයේ කාන්තා රියැදුරු අංශයේ නිෂ්පාදන හිමිකරු වන මීනාස් රහමන් මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

‘pick me ආයතනය විසින් කාන්තා රියැදුරුවරියන් සමාජයට හඳුන්වා දීලා අවුරුදු දෙක හමාරක් වනවා. පිරිමින් බොහෝ දෙනෙක් අපිත් සමඟ වැඩ කළත් කාන්තාවන් එතරම් ප්‍රමාණයක් සිටියේ නෑ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ගේ ආර්ථික ගැටලු නිසා මැදපෙරදිග රටවලට ගිහිල්ලා සේවය කරනවා. එහි දී ඔවුන්ට නොසිතන අන්දමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි රටවලට ගියාට පස්සේ තමන්ගේ පවුලෙන් ඈත් වෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ඒ නිසා අප හිතුවා ශ්‍රී ලංකාවේ ඉඳගෙන මුදල් උපයන්න හැකි අන්දමට වෘත්තීමය කාන්තා රියැදුරු සේවය හඳුන්වා දෙන්න. අප වෙතට පැමිණෙන ඕනෑම කාන්තා රියැදුරුවරියකට පැය 2-3 ක පුහුණුවක් ලබා දෙනවා. කාන්තා රියැදුරුවරියක් වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් වන ආකාරයට හැසිරිය යුතු අන්දම පවා ඔවුන්ට අප කියා දෙනවා. ඒ විතරක් නෙමෙයි අප ආයතනය මඟින් සෑම රියැදුරු කාන්තාවකගේම තොරතුරු ලබා ගන්නවා. සෑම රියැදුරු කාන්තාවකටම අපත් සමඟ සුහදව කථා බස් කරලා ගැටලුකාරී තැන් විසඳ ගන්න පුළුවන්කම තියනවා.

අපගේ ආයතනයේ සිටින කාන්තා රියැදුරුවරියන් කිසිදු බයක් නැතුව තම වෘත්තියෙහි නියැළෙන්න පුළුවන්. තමන් සමඟ ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලයා පිළිබඳත්, එම පුද්ගලයාට තම රියැදුරුවරිය පිළිබඳත් පැමිණිලි කර ගැටලුව විසඳා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අප හදලා තියනවා. කාන්තා රියැදුරුවරියකට ප්‍රවාහනයේ දී යම් අනාරක්ෂිත බවක් දැනුනහොත් ආරක්ෂාකාරී ලෙස අපට දැනුම් දීමේ හැකියාවක් අප සතුව තියෙනවා. සැබවින්ම මේක ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට කදිම රැකියා අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. රටේ ආර්ථිකය සවිමත් කරන සමාජ සත්කාරයක් වනවා.’

පහත දැක්වෙන්නේ ‘pick me’ ආයතනය සමඟින් සම්බන්ධ වී තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගත් කාන්තා රියැදුරුවරියන් කිහිපදෙනෙක් දැක් වූ අදහස්ය.

වාසනා ජයසූරිය -

අතුරුගිරිය

මම කොළඔට එනකොට දැක්කා pick me කියලා හයර් සර්විස් එකක් තියනවා. ඊට පස්සේ මටත් හිතුනා කාන්තා රියැදුරුවරියක් වෙන්න. මම දැක්කා කාන්තාවෝ බොහෝ දෙනෙක් රියැදුරුවරියන් විදිහට සේවය කරනවා. ඊට පස්සේ මටත් හිතුනා ඇයි මට කාන්තා රියැදුරුවරියක් වෙන්න බැරි කියලා. මම කලින් පිටරට රැකියාවක් කළා. ඒ කාලේ මම මගේ පවුලෙන් ඈත් වෙලා හිටියේ . මම ශ්‍රී ලංකාවට ආවට පස්සේ කාර් එකක් ගත්තා ලීස් කරලා. 2018 ජනවාරි මාසයේ දී තමයි මම pick me ආයතනයේ කාන්තා රියැදුරුවරියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. මම උදේ 6.30 ඉදලා රාත්‍රී 8-9 වෙනකම් වැඩ කරනවා.

අපට පාරිභෝගිකයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ආවොත් pick me ආයතනය විසින් අපගේ එම ගැටලුව යහපත් අන්දමින් විසඳනවා. ඒ වාගේම අපිට කාන්තා රියැදුරුවරියක් වශයෙන් සේවය කිරීමේ දී සම්පූර්ණ මානසික නිදහසකින් වැඩ කරන්න පුළුවන්. අපිට දවසේ අපි කැමති කාලයක් වැඩ කරලා, අපගේ අනෙකුත් අවශ්‍යතාවන් ඉටු කර ගන්න පුළුවන්. මෙහි දී අපිට කැමති මුදල් ප්‍රමාණයක් හම්බ කරගන්න පුළුවන් වගේම අපේ නිදහසත් තියා ගන්න පුළුවන්.

අපිට තියෙන ලොකුම ගැටලුව තමයි traffic එක. ඇත්තටම මම මේ රැකියාවෙන් ගොඩාක් තෘප්තිමත් වෙනවා. මම විවාහ වෙලා නෑ. මම හරිම කැමතියි ශ්‍රී ලංකාවේ විවිධ තැන්වල ඇවිදින්න යන්න. මම පිටරට ඉන්න කාලේ මගේ පවුලේ අය ගැන සිතමිනුයි කාලය ගත කළේ. කවදා ද ශ්‍රී ලංකාවට එන්න පුළුවන් කියලා. දැන් මම මේ රැකියාව අවසන් කරලා පැය එක හමාරකින් විතර මගේ ගෙදරට යනවා. පිටරට රැකියාවක් කලා නම් අපිට එහෙම කරන්න බෑනේ. ඇත්තටම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න මැදපෙරදිග ගිහිල්ලා ප්‍රශ්නවලට මුහුණ දීලා තමන්ගේ තියන සල්ලිත් නාස්ති කර ගන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ඉඳගෙන මේ වගේ රැකියාවක් කරන්න පුළුවන්කම ලැබීම සතුටක්.

උපරිම ආරක්ෂාවක් තියන හින්දා ගොඩක් අම්මලා තමන්ගේ දුවලාව අපිත් එක්ක යවන්න කැමතියි. ඇතැම් කාන්තාවන් තවමත් මේ කාන්තා රියැදුරුවරියන් පිළිබඳ සිතන්නේ අමුතු විදිහටයි. එවැනි ඇතැම් කාන්තාවන් අපගේ හයර් එක cansel කරනවා. ඒ වුණත් තරුණ පිරිමි අය අපගේ මේ සේවය පිළිබඳ බොහෝ සතුටට පත් වන අවස්ථා අපි ඕනතරම් දැකලා තියනවා. දේශීය ආර්ථිකය නංවාලීමට ශ්‍රී ලංකාව තුළදීම මුදල් හම්බ කරගත හැකි කදිම රැකියා අවස්ථාවක් pick me ආයතනය විසින් අප හිමි කර ගෙන තියනවා. ඒ වගේම තමන්ගේම වාහනයෙන් අපි කැමති ආකාරයට, කැමති පැය ගාණට රැකියාවේ නියැළෙමින් තමන්ගේම රැකියාවක් ලෙස මම කාන්තා රියැදුරුවරියක් ලෙස වැඩ කරනවා.

දැනට අපේ කාන්තාවන්ගේ පැරැණි මතය වෙනස් කරන්න මේ pick me කාන්තා රියැදුරු සේවයට පුළුවන් වෙලා තියනවා. ඉවසීම මේ රැකියාවේ දී වඩාත් වැදගත් වනවා. බස් එකක් අපේ ඇඟට එන්න ආවත් අපි දැඩි ලෙස හිතට ගන්නේ නැතුව ඉවසීමෙන් කටයුතු කරනවා නම් අපිට යහපත් අනාගතයක් උදා කර ගන්න පුළුවන්. තමන් කරන දේ හරියට කරනවා නම් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නෑ.

එන් ප්‍රේමාවතී -

සීදුව

මම අනුරාධපුරේ ඉඳන් පස්සේ සීදුවට පදිංචියට ආවා. ඊට පස්සේ අදායම ටිකක් මදි වුණා. කොහොම හරි පුතාගේ යාළුවකුගෙන් pick me ආයතනය ගැන දැන ගන්න ලැබුණා. කොහොමත් මම අනුරාධපුරේ ඉන්න කාලයේ දී ත්‍රීවිල් එකක් පැදෙවුවා. ඒ හින්දා මට රියැදුරු රැකියාව පුරුදුයි. මගේ පුතා එයාගේ යාළුවාගෙන් මේ ආයතනය ගැන වැඩ දුර තොරතුරු සොයා බැලුවා. ඊට පස්සේ පුතා කිවුවා අම්මට පුළුවන් ද මේ දේ කරන්න කියලා. මම හිතට ධෛර්ය අරගෙන අන්තිමේ දී මගේ ත්‍රීවීල් එකෙන් pick me කාන්තා රියැදුරු සේවයට එකතු වුණා.

දෙවැනි දවසේ දී මට කොළඔට යන්න සිද්ධ වුණා. එතකොට නම් මට ටිකක් බය හිතුණා. සමහර පිරිමි අය එහෙන්, මෙහෙන් තමන්ගේ වාහනේ දානවා. කොළඹ වාහන තදබදයත් වැඩි හින්දා මුල් කාලයේ දී කොළඔ හයර්වලට ටිකක් මම බය වුණා. දැන් නම් මම ගොඩාක්ම යන්නේ කොළඔ හයර් තමා. ශ්‍රී ලංකාවේ ඉපදුණු කාන්තාවක් විදිහට මහත් අභිමානයක් දැනෙනවා මේ වගේ රැකියාවක් කරන්න ලැබීම ගැන. ගෙවල්වලට වෙලා තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් පමණක් යැපෙනවට වඩා කාන්තා අභිමානය රැකගෙන ආරක්ෂාකාරී අන්දමට මේ වගේ කාන්තා රියැදුරුවරියක් වීමට ලැබීම මා ලබපු භාග්‍යයක් කියලයි මම නම් හිතන්නේ. පාක් එකක ත්‍රීවීල් එකක් එළවනවා වගේ නෙමෙයි කාන්තා අපිට දැන් පිළිගැනීමක් තියනවා.

සමහර කාන්තාවෝ අපි දන්නෙත් නැතුවම cansel කරලා. එතකොට නම් අපි හරි අපහසුතාවන්ට පත් වෙනවා. කාන්තාවන් කාන්තාවන්ටම සිදු කරන එවැනි දෑ නම් නොසුදුසුයි කියලයි මම හිතන්නේ. ඇතැම් කාන්තාවෝ කාන්තාවක් රියැදුරුවරියක් විදිහට රැකියාව කරනවා කියලා කිවුවහම පුදුමයට පත් වෙනවා. ඒ ගොල්ලෝ තාමත් හිතන්නේ ඉස්සර විදිහට. අපිට ඒ ගැන නම් තාමත් හිතාගන්න බෑ. ගොඩාක් පිරිමි අය නම් අපගේ මේ රැකියාව පිළිබඳ සතුටු වෙනවා. සමහර මහත්තුරු මට කියනවා, අපිව වළවල්වල දාන්නේ නැතුව ෂෝක් එකට බස්සනවා කියලා. ඇත්තටම මම නම් මේ රැකියාව කරන්න පටන් ගත්ත දවසේ ඉදන් යහපත් ප්‍රතිචාර තමයි ලබන්නේ.

මම නම් මගේ ත්‍රීවීල් එකෙන් හයර් යන අය එක්ක අනවශ්‍ය විදිහට කථා කරන්න යන්නේ නෑ. සමහර අය අපිත් එක්ක ඉතාමත් සුහදව කථා කරනවා. ගොඩාක් තරුණ පිරිමි අය අපගේ රැකියාව අගය කිරීම ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්. ගමට කොටුවෙලා ඉන්නේ නැතුව, කාටවත් අතපාන්නේ නැතුව, තමන්නේ මහන්සියෙන් මේ වගේ වෘත්තියක නියැළීමට ලැබීම පිළිබඳව තියෙන්නේ ලොකු සතුටක්. ඇත්තටම පිටරටවලට ගිහිල්ලා දුක් විදින්නේ නැතුව, තමන් ජීවත් වන ප්‍රදේශයේ ඉදන් මේ රැකියාව කරන්න පුළුවන්. පාරවල්වල් අයිනට වෙලා දුක්විඳගෙන අවුවේ වේලි වේලි අච්චාරු, කෑම පැකට් විකුණනවට වඩා මේ වගේ තමන්ගෙම රැකියාවක් කිරීම මම හිතනවා ඕනෑම කාන්තාවකට සුදුසුයි කියලා.

ඉස්සර නම් මගේ පුතාට ලොකු බයක් තිබුණා. දැන් නම් එහෙම බයක් නෑ. අපේ ගමනාන්තයන් පිළිබඳ සියලු විස්තර pick me ආයතනයේ සටහන් වෙනවා. ඒ වගේම අපිට අනාරක්ෂිත බවක් දැනුනහම ඒ බව ක්ෂණික දැනුම් දීමේ හැකියාවත් තියනවා. ඒ හින්දා අපිටවත්, අපගේ පවුලේ අයටවත් බය වෙන්න වුණේ නෑ. ඇත්තටම අපිට pick me ආයතනය සමඟ සුහදව කථා බහ කරලා අපගේ වෘත්තීය ගැටලු විසඳගන්න පුළුවන්. ආරක්ෂාකාරී බව 100 % ක්ම මේ රියැදුරු සේවයේ තියන හින්දා කාන්තාවන්ට බිය විය යුතු නෑ. ඒ වුවත් සමාජයේ සිටින ඇතැම් කාන්තාවන් අපි පිළිබඳව තවමත් කුතුහලයෙන් බලන එක ගැන නම් අපිට ටිකක් දුකයි. මම නම් මට පාඩුවක් වුණත් බලන්නේ අපිත් සමඟ ගමන් යන්නාට උපරිම සේවයක් ලබා දෙන්නයි.

නදීකා එදිරිසූරිය- කළුතර

මම ජීවත් වෙන්නේ කළුතර. මම pick me ආයතනය සමඟ සම්බන්ධ වෙලා දැන් අවුරුදු එක හමාරකට වැඩියි. මම මීට කලින් හොඳින් අදුරන මිස් කෙනෙක් ළඟ ත්‍රීවීල් එකක් එළෙවුවා. ඒ හින්දා මට රියැදුරු රැකියාව පුරුදුයි. මම ඒකාකාරීත්වයට කැමති නෑ. ඇත්තටම කිවුවොත් මම ගොඩාක් දුරට වැඩ කරනවා අඩුයි. මගේ තාත්තාගේ වැඩවලට කොළඔ යනවා. ඒ වගේ මගේ පවුලේ අයගේ වැඩවලටත් උදවු කරන ගමන් තමයි මම මගේ රැකියාව කරන්නේ. රස්සාවක් හැටියට මට තියෙන ආදායම් මාර්ගය තමයි මේක. මම උදේ 6 ඉදන් සවස 6 වෙනකම් සාමාන්‍යයෙන් වැඩ කරනවා. මට තියෙන විදයම් කවර් කර ගන්න මේ රැකියාවෙන් මම සොයා ගන්න මුදලින් ප්‍රමාණවත් වනවා කියලයි මම නම් කියන්නේ.

මම වැඩ කරන කාල සීමාව අඩුයි. ඒකට හේතුව තමයි මගේ පදිංචිය කළුතර වීම. අනුන්ගෙන් යැපෙන්නේ නැතුව ඉවසීමෙන් සහ ධෛර්යයෙන් තමන්ගේ ජීවිත ගොඩඟා ගන්න මෙවැනි රැකියාවකින් පුළුවන්වීම පිළිබඳ තියෙන්නේ ලොකු තෘප්තියක්. කාන්තාවක් වශයෙන් කිසිදු බියක් නැතුව මේ රැකියාව කරගෙන යන්න පුළුවන්.

කාන්තා රියැදුරු ක්ෂේත්‍රයට වෘත්තීමය වටිනාමක් ලබා ගැනීම, ප්‍රවාහන ක්ෂේත්‍රය විදිමත් කර ගැනීම, නව තාක්ෂණය ඔස්සේ, digital platform එකක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්‍රමවේදය පුළුල් කිරීම සහ වෙනස් කිරීම මෙන්ම ගතානුගතික කාන්තා ආකල්පයක් වන කාන්තා රියැදුරු සේවයට සමාජයේ නැඹුරුව වැඩි කරමින් ඔවුන්ට සමාජයේ හිමි විය යුතු ගෞරවය සහ පිළිගැනීම හිමි කර ගැනීම pick me ආයතනය විසින් කාන්තා රියැදුරුවරියන් සමාජගත කිරීමේ මුඛ්‍ය පරමාර්ථයන් බවට පත්ව තිබේ. එම පරමාර්ථ යහපත් සමාජ සත්කාරයක් සේ අද වන විට සමාජය පිළිගෙන ඇති බව මේ කාන්තාවන් පළ කළ අදහස්වලින් අපට වටහා ගැනීමට පුළුවන. කාන්තාවන් දෙස එල්ල කළ පැරැණි ගතානුගතික ආකල්පය මුළුමනින්ම වෙනස් කිරීමට දැන් කාලය උදා වී ඇතැයි යන්න නිගමනය කළ හැක්කේ මේ කාන්තා රියැදුරු සේවාව දෙස ධනාත්මකව බැලුවහොත් පමණක් බව මනාව සාක්ෂාත් කර ගැනීමට පුළුවන.

 

මදාරා මුදලිගේ

 

නව අදහස දක්වන්න