අස් වූ පසු බොරු ප්‍රචාර | දිනමිණ

අස් වූ පසු බොරු ප්‍රචාර

 “මම පක්ෂයෙන් ඉල්ලා අස් වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් රහසේ ප්‍රචාරය කර තිබුණා අත්අඩංගුවේ දී මම පක්ෂයේ අය, උදාහරණයක් හැටියට සෝමවංශ අමරසිංහ සහෝදරයාව පාවා දුන්නා කියලා. චිත්‍රා සහෝදරිය හිටපු කතෝලික කන්‍යා සොහොයුරියක් නිසා ඇය යොදා ගෙන රහස් පොලිසියෙන් මාව නම්මවා ගත් බවත්, කතෝලික ආක්‍රමණයෙන් මා පක්ෂයෙන් පැහැර ගත් බවත්, කාලයක සිට මා පක්ෂයෙන් ඉවත් කරන්නට සිටි බවත් ආදී වශයෙන් නොයෙක් ආකාරයේ ප්‍රලාප ගොතලා තිබුණා. ඒ දවස්වල පටන් ගත්ත තවත් බොරු ප්‍රචාරයක් තමයි රහස් පොලිසියේ රඳවා ගෙන සිටිය දී මම පක්ෂය පාවා දුන් බව සහ ඒ නිසා මාව පක්ෂයෙන් නෙරපූ බව. ඇත්තටම මම පක්ෂයෙන් ඉල්ලා අස්වන බව චිත්‍රා සහෝදරිය දැන ගත්තේත් මම දැඩි සිත් වේදනාවෙන් යුක්තව ඉල්ලා අස්වීමේ ලියවිල්ල ලියනවා දැකලයි. ඇය මට දිගින් දිගටම කිව්වේ පක්ෂයෙන් අස් නොවී, මොනවා හරි ප්‍රශ්න තියනවා නම්, ඒවා කතා කරලා නිවැරැදි කර ගන්න බලන්න කියලා.

“අනෙක් අතට මා රහස් පොලිසියේ රඳවා ගෙන සිටිය දී පක්ෂය සමඟ කරන ලද ගනුදෙනු සියල්ල කරන්නට තරම් දැඩි විශ්වාසයක් පක්ෂයේ නායකත්වය විසින් තබා තිබුණු චිත්‍රා සහෝදරිය ගැන මෙවැනි ප්‍රචාරයක් යවන්නට තරම් පහත් තත්ත්වයකට වැටීම ගැන කණගාටු වෙනවා හැරෙන්නට වෙනත් කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. චිත්‍රා සහෝදරිය හරහා ගොනු කරන ලද හේබයෙස් කොර්පුස් අභියාචනය හේතුවෙන් මාත් රඳවා සිටි පක්ෂයේ අනෙක් සහෝදරවරුත් නිදහස් කරන්නට බල කෙරුණා නිදහස් කිරීමෙන් පසු මාව දේශපාලන මණ්ඩලයට කැඳවා පක්ෂය නීත්‍යානුකූල කරවා ගන්නට වැඩ කටයුතු පවරා දුන්නා ඒක පක්ෂය නීත්‍යානුකූල ලෙස නැවත විවෘත දේශපාලනයට ගෙන එන්නට මා ගෙන ආ යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මාව පක්ෂයෙන් නෙරපා දැමූ බවක් ප්‍රචාරය කිරීම විහිළුවක් හැර වෙනත් යමක් වන්නට බැහැ.

“1984 පෙබරවාරියේ දී මම පක්ෂයෙන් අස් වුණාට පස්සේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ බිරිඳට දරුවෙක් ලැබිලා කියල ආරංචිය ලැබුණා. ඒ අනුව 1984 දෙසැම්බර් අග කාලයේ අපි දෙන්නා ඇය බලන්න ගියා. මට මතක අන්දමට ඒ දවස්වල ඇය පදිංචිව සිටියේ කළුතර පානදුර ප්‍රධාන පාර අසල තිබුණ නිවසක. අපි පැයක් විතර ඒ ගෙදර ගත කරලා මාතර යන්න ගියා මතකයි. මම හතරවන තට්ටුවේ දී සෝමවංශ අමරසිංහ සහෝදරයාව පාවා දුන්නා කියලා ඒ සහෝදරිය කිව්වා. ඒ සහෝදරියගෙන් මම එහෙම පාවා දුන්නා නම් කොහොමද තවමත් ඔහු එළියේ ඉන්නේ කියලා මම ඇහුවා.ඇය කිව්වා අත්අඩංගුවේ දී මම සෝමවංශ සහෝදරයාගේ නම සඳහන් කර තියෙනවා කියලා. 1977 ඉඳලා පක්ෂයේ නොයෙක් අංශවල වගේම ප්‍රචාරක අංශයේ ප්‍රසිද්ධියේ කටයුතු කරපු කෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයේ පක්ෂයේ ලේකම් හැටියට හිටපු කෙනෙක් පක්ෂයේ හිටපු බව කීම පාවා දීමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ කියල මම ඇයට කිව්වා. එතකොට ඇයත් ඒක පිළිගත් බවක් පෙනුණා. ඇත්තෙන්ම මම පක්ෂයෙන් ඉල්ලා අස්වන කල් සෝමවංශ අමරසිංහ සහෝදරයා මාත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඒ විතරක් නොවෙයි පක්ෂයෙන් අස් වුණාට පස්සෙ පක්ෂයේ තහනම තවදුරටත් තියෙද්දීත් මට ඔහු අඩු තරමින් පස් සැරයක් වත් මට මුණ ගැහී තිබුණා.

“මට මුලින්ම සෝමවංශ අමරසිංහ සහෝදරයා මුණ ගැහෙන්නේ 1977 නොවැම්බර් 2 වන දා අපි බන්ධනාගාරයෙන් නිදහස් වී එළියට ආවාට පස්සේ. අපට අපේ වැඩ කටයුතු කර ගෙන යන්න සහෝදර සහෝදරියන්ගෙන් මුදල් සහ ද්‍රව්‍යමය ආධාර ලැබුණා. නමුත් පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු කරන්න, පක්ෂ පුවත්පත පුළුල් කරන්න, සංවිධාන සහ ප්‍රචාරක කටයුතු කරන්න තරම් ඒ ලැබුණ ආධාර ප්‍රමාණවත් වුණේ නැහැ.නාරාහේන්පිට එම්. බී. රත්නායක සහෝදරයාගේ නිවසේ අප රැස්වුණ අවස්ථාවේ මහජනතාවගෙන් අරමුදලක් එකතු කරන්න වැඩ පිළිවෙළක් යොදන්න අප තීරණය කළා. ඒ අනුව අපි පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ රුපියල් ලක්ෂයක අරමුදලක් එකතු කරන්නට දීප ව්‍යාප්ත වැඩ සටහනක් දියත් කළා. එදා පක්ෂ නායකත්වයේ සියලු දෙනාම පාහේ සම්මාදම් එකතු කරන්නට පාරට බැස්සා. රෝහණ සහෝදරයාත්, ගමනායක සහෝදරයාත්, එස්. ඩී සහෝදරයාත්, මමත් තවත් සහෝදර සහෝදරියන් බොහෝ ගණනාවකුත් කොටුව බස් නැවතුම්පොල අසලත් දුම්රිය ස්ථානය ඉදිරිපිටත් කැට යොදා ගෙන මහජනයාගෙන් මුදල් සම්මාදම් කළා. බොහෝ දෙනෙක් ඊට කැමැත්තෙන් ආධාර කළා.

“අපට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් එකතු කරන්නට පුළුවන් වුණා. ඒ කාලෙ ඒක ලොකු මුදලක්. ඒ මුදල් අප ළඟ තබා ගන්නට ක්‍රමයක් නොතිබුණ බව මුදල් එකතු කළාට පසුව තමයි අප තේරුම් ගත්තේ. අපට එවැනි මුදලක් තබා ගන්න නිවසක් හෝ බැංකු ගිණුමක් හෝ තිබුණේ නැහැ. අප මේ ගැන සාකච්ඡා කරන කොට ඔහුට ඒ මුදල් ඔහුගේ සොයුරියකගේ නිවසක ආරක්ෂා සහිතව තබා ගන්නට පුළුවන් බව සෝමවංශ අමරසිංහ සහෝදරයා කිව්වා. අපි සියලු දෙනාම මේ යෝජනාවට එක පයින් කැමති වුණා. පක්ෂයේ භාණ්ඩාගාරික කේලි සේනානායක සහෝදරයා ඒ මුදල් සෝමවංශ අමරසිංහ සහෝදරයාට ලබා දුන්නා. මේ මුදල ඒ නිවසට ගිහින් ගණන් කර බාර දී තිබුණේ එස්. ඩී. සහෝදරයා, ඒ. ඩී. පී. රත්නායක සහෝදරයා සහ තවත් සහෝදරයෙක්. මේ අතරේ අපි සාමාන්‍ය අන්දමට පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු කර ගෙන ගියා. බත්තරමුල්ලේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ සොයුරියගේ නිවසේ මධ්‍ය කමිටු සැසි වාරයකුත් පැවැත්වූවා.

“කල් ගත වීමත් එක්ක, මට මතක අන්දමට පක්ෂයේ මුද්‍රණ කටයුතුවලට හයිඩල්බර්ග් ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක් මිල දී ගන්නට මුදල් ආපසු ගන්න පක්ෂයට අවශ්‍ය වුණා. සෝමවංශ අමරසිංහ සහෝදරයාට මේ බව දන්වලා ඒ මුදල ගෙන්වා ගන්න අප උත්සාහ කළා. ඔහුට භාර දෙන ලද මුදලෙන් මට මතක අන්දමට රුපියල් 20, 000 ක පමණ නැති බවත් ඒ මුදලට වූ දේ සොයා ගන්නට බැරි බවත්. ඒ අවස්ථාවේ සෝමවංශ සහෝදරයා පක්ෂයට දැන්වුවා අපි දන්නා තරමින් ඔහුගේ සහෝදරියගේ නිවසට හොරු පැනල තිබුණේ නැහැ. ඒ අනුව ඒ මුදල් අතුරුදහන් වෙන්නට විදියක් නැහැ.මේ ගැන සොයා බලන විට දී තමයි පක්ෂය පළමු වරට දැන ගන්නේ ඒ නිවස එක්සත් ජාතික පක්ෂයේ සිරිසේන කුරේ මහතාගේ සහෝදරයකු සතු බව. ඔහුගේ බිරිය සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ සොයුරිය බව. පසුව ඉතිරිව තිබුණ මුළු මුදල පක්ෂය ආපසු ලබා ගත්තා.

“අමරසිංහ සහෝදරයා මේ ගැන කියා සිටියේ ඔහු මැද පෙරදිග රැකියාවක් සොයා ගෙන හෝ ඔහුගේ සොයුරියකගේ නිවසින් ඊට සරිලන භාණ්ඩ ලබා ගෙන හෝ ඒ මුදල ආපසු පියවන්නට කටයුතු කරන බවයි. පක්ෂය ඒ එක යෝජනාවකට වත් එකඟ වුණේ නැහැ. නමුත් ඔහුත් සිරිසේන කුරේ මහතාගේ පවුලත් අතර තිබුණ ඥාති සම්බන්ධතාවය පක්ෂයට නොදන්වා සිටීම ගැන රෝහණ සහෝදරයාත්, මමත් ඔහුට දොස් කිව්වා. සෝමවංශ අමරසිංහ සහෝදරයා ස්වයං විවේචනාත්මකව වරද පිළිගත්තා. මේ සිද්ධිය මත පක්ෂයේ වගකීම් පැවරීමේ දී ඔහු ගැන සුපරීක්ෂාකාරී ව කටයුතු කරන්නට දේශපාලන මණ්ඩලය තීරණය කළ බවත් මට මතකයි.”

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ලයනල් බෝපගේ ඉල්ලා අස් වී ඇති බව වසන් කිරීමට පාක්ෂිකයන් අතර නොයෙක් කටකතා පැතිරවීය. ධනවාදී පක්ෂ සහ පාලක ප්‍රභූන් එළැඹි තිබුණු වාතාවරණයෙන් වාසි අත්කර ගන්නවා දකින්නට අවශ්‍ය නොවූ නිසා ලයනල් බෝපගේට තම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන්නට නොහැකි වුණි. ඔහු තමා සමඟ පක්ෂයේ වැඩි දෙනෙක් ඉවත් කර ගෙන ගියේද නැත. ඔහු කම්පාවට පත්ව සිටියේය. තම දේශපාලන ස්ථාවරයන් පිළිබඳව නැවත තක්සේරු කර ගැනීමට ඔහුට කාලය අවශ්‍ය විය. නමුත් සිද්ධීන් සිදු වූයේ ඔහුව පිටුවාහල කරා මෙහෙයවමිනි.

ඔහුගේ පවුල ජීවත් වූ මාවරමණ්ඩිය නිවස තනා තිබුණේ විදේශගතව රැකියාවක නියුතු පක්ෂයේ සහෝදරයකු විසින් නිසා ඔවුන්ට ඉදිරියේ යම් දිනක එම නිවසින් ඉවත් විය යුතුව තිබිණි. තම පවුලට සිටින්නට තැනක්, ආහාර සහ ඇඳුම් ඉතා ඉක්මනින් සොයා ගැනීමට ඔහුට සිදු විය.

සිසිර යාපා
හෙට - ඊළග සටන උපාධි සහතිකයට...

නව අදහස දක්වන්න