කර්මාන්ත-වාණිජ කටයුතු දිරියෙන්-ශක්තියෙන් ඉදිරියට ගිය තෙවසරක් | දිනමිණ

කර්මාන්ත-වාණිජ කටයුතු දිරියෙන්-ශක්තියෙන් ඉදිරියට ගිය තෙවසරක්

 “සවිමත් වාණිජමය පරිසරයක් තුළින් ජාත්‍යන්තර තරගකාරී දේශීය කර්මාන්ත අංශයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම.”

යන්න කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දැක්මයි. ගෙවී ගිය වසර 03 තුළ, එකී දැක්ම සාක්ෂාත් කර ගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් ගනු ලැබූ පියවරයන් අද යථාර්ථයක් බවට පත්ව තිබීම අතිශයෝක්තියක් නොවෙයි.

ගෙවී ගිය කාලය තුළ නිෂ්පාදන කර්මාන්ත අංශය කලාපයේ හා ඉන් පිටත, ඉහළ තලයක ස්ථාපිත කිරීම අරමුණු කරගෙන දැනුම හා තාක්ෂණය පදනම් කරගෙන, ගෝලීයව තරගකාරී නිෂ්පාදන කර්මාන්ත අංශයක් ගොඩනැගීම සඳහා අමාත්‍යාංශය දැඩි කැපවීමෙන් කටයුතු කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය දැවැන්ත අමාත්‍යාංශයකි. එය යටතේ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, ව්‍යවසායකයින් හා ව්‍යාපෘති 35 කට වැඩි සංඛ්‍යාවක් පවතී. ගෙවී ගිය වසර 03 තුළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, මනා කළමනාකාරිත්වයක් තුළින් නාස්තිය දූෂණය වළක්වමින් ගනු ලැබූ පියවර නිසා ආයතන පද්ධතියේ කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබේ.

මෙරට තුළ පරිසර හිතකාමී කර්මාන්ත බිහිකිරීමටත්, ඒවා සඳහා දිරිය ශක්තිය ලබාදීමටත් පු‍රෝගාමී මෙහෙවරක් ඉටුකරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගන්වමින් ඔවුනට නව මාවතක් විවෘත කර දී තිබේ. ඒ සඳහා අමාත්‍යාංශය ඔස්සේ මගපෙන්වමින් ඔවුනට අවශ්‍ය පුහුණුව, වෙළෙඳපොළ මෙන්ම නව තාක්ෂණය ද ණය පහසුකම් මෙන්ම ආධාර උපකාරද නිරන්තරයෙන්ම ලබාදීම කැපී පෙනේ. මේ නිසාම ගෙවී ගිය වසර 03 තුළ දේශීය සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.

එසේම කර්මාන්තකරුවන‍්ගේ ආයෝජන අවස්ථා ඉහළ නංවමින්, ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සවිමත් කිරීමට පියවරගෙන තිබේ. පසුගිය වසර අවසන් වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක පිහිටි කර්මාන්තපුර 31 ක් තුළ කැපී පෙනෙන සංවර්ධනයක් ඇතිව තිබේ. එහි ජල විදුලිය හා මාර්ග පද්ධතිය සමඟ අක්කර 986.34 ක් සංවර්ධනය කර ඇති අතර, ඒ සඳහා වන රජයේ ආයෝජනය රු.මිලියන 3,707.81 කි. මෙහි පෞද්ගලික අංශයේ ආයෝජන කැපී පෙනේ. එය රජයේ ආයෝජනය මෙන් 9 ගුණයකි. එනම් රු.මිලියන 34,006.69 කි. මෙම කර්මාන්ත පුරයන්හි වාණිජ නිෂ්පාදන කටයුතුවල යෙදෙන කර්මාන්ත සංඛ්‍යාව 327 කි. ඉදිකිරීම් අවස්ථාවේ අවසන් අදියරේ ඇති කර්මාන්ත සංඛ්‍යාව 32 කි. එහි බිහිව තිබෙන රැකියා සංඛ්‍යාව 19,675 කි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ 2020 වනවිට මෙම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වර්ධනය කරමින් රැකියා අවස්ථාද දෙගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙම වසර මුල් කාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ ව්‍යවසායකයින්ට, සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කර්මාන්තශාලා 50 ක් සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් රුපියල් ලක්ෂ 100 ක මූල්‍යාධාර සපයනු ලැබීය. මේ මඟින් ඔවුන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර ගැනීමටත් එය වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. එමෙන්ම කුඩා හා සුළු පරිමාණ කර්මාන්තයන්හි නායකත්වය සහ ව්‍යවසායකයන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ව්‍යවසායකයන්ගේ කළමනාකරණ, තාක්ෂණික, ගිණුම්කරණ හා මූල්‍යකරණ හැකියාවන් වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. එසේම SMILE III චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ පරිසර හිතකාමී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට රු. කෝටි 520 ක ණය ආධාර ලබාදීමේ දැවැන්ත ව්‍යාපාරය මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ පරිසර හිතකාමී නිෂ්පාදන ව්‍යවසායකයින්ට උපරිමය රුපියල් මිලියන 30 ක් දක්වා වූ ණය මුදලක් සියයට 5.2 ක් වූ පොලියක් යටතේ ලබාගැනීමට හැකිය. එය මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09 ක් හා මූල්‍ය ආයතන දෙකක් ඔස්සේ ලබා ගත හැකිය.

එසේම සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී කර්මාන්තශාලා ඇරඹීම සඳහා කර්මාන්තකරුවන් දිරිගැන්වීමට පියවර ගෙන තිබේ. එසේම එක ගමකට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලාවක් ඇරඹීමටද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙළෙඳ තොරතුරු ආයෝජන ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීම සඳහා “ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු බිහිදොර” බිහිකිරීමට පියවර ගෙන ඇති අතර එමගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අපනයනය සඳහා යොමු කිරීමට අපේක්ෂිතය.

ගෙවී ගිය කාලය තුළ ඇඟලුම් අපනයනයෙන් රුපියල් බිලියන 668 ක් ශ්‍රී ලංකාවට ලැබුණු අතර එය 2017 වසරේ දී බිලියන 670ක් දක්වා වර්ධනය විය. වසර අවසාන වනවිට රුපියල් බිලියන 700 ක් දක්වා ඇඟලුම් අපනයනය වැඩි කිරීමට අපේක්ෂිතය.

ලංකා සතොස ජනතා මිතුරෙකු ලෙස අමාත්‍යාංශය යටතේ පවතින දැවැන්ත රාජ්‍ය පාරිභෝගික සේවා ආයතන ද්විත්වය වන ලංකා සතොස හා ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම STC ගෙවී ගිය වසර 03 තුළ පාරිභෝගික ජනතාවට වඩ වඩාත් සමීප කිරීමට හැකි වූ අතර, එම ආයතන පාඩුදායි තත්ත්වයෙන් ලාභදායි තත්ත්වයට පරිවර්තනය කරන්නට හැකිවිය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, එම ආයතනය තුළ මනා පරිපාලනයක් ඇති කිරීමත්, අලෙවි හා කළමනාකරණය ඵලදායි හා කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීමත්, ඊට ගැළපෙන දක්ෂ පරිපාලන හා අලෙවි කළමනාකරණ වෘත්තීයවේදීන් යෙදවීමත් නිසාම අද එම ආයතන ලාභදායි ආයතන බවට පරිවර්තනය වී තිබේ. එසේම එහි පැවැති අකාර්යක්ෂමතාවන්, දූෂණයන් හා නාස්තීන් වැළැක්වීම නිසා සමස්ත ආයතන පද්ධතියම සුරක්ෂිත වී තිබේ. 2017 වර්ෂය වනවිට ලංකා සතොස මාසික පිරිවැටුම රුපියල් බිලියන 3.2 දක්වා වාර්තාගත ලෙස වර්ධනය විය.

මේ වනවිට ‍සතොස සිය සුපිරි වෙළෙඳසැල් සංඛ්‍යාව මෙන්ම ලංකා සතොස අලෙවිසැල් සංඛ්‍යාවත්, ජංගම අලෙවි රථ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව වර්ධනය කරමින් සිටී. ඒ අනුව 2018 වසර අවසාන වනවිට නව අලෙවිසැල් 100 ක් ජංගම රථ 100 ක් වූ ඉලක්කය සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් සිටී.

වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වෙළෙඳපොළ තරගකාරිත්වය තුළින් පාලනය කිරීම සඳහා ලංකා සතොස ඉටුකරන්නේ අමිල මෙහෙවරකි. ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10 ක මිල ස්ථාවර පාලන මිලක පවත්වාගෙන යමින් පාරිභෝගික ජනතාවට සහන සලසා දී ඇත.

ඉදිරි කාලය තුළ සතොස භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ Online ක්‍රමයට ලබාදීමටත්, සතොස වරලත් සිල්ලර අලෙවි ක්‍රමය ඇති කිරීමටත් මේ වනවිටත් පියවර ගනිමින් සිටී. එසේම ලංකා සතොස අලෙවිසැල් ජාලය, ජනතාව අතර ආකර්ෂණය කිරීම සඳහා එහි නව නිමාවක් ඇති කිරීමටත්, එහි පහසුකම් වර්ධනය කිරීමටත් සේවක මිත්‍රශීලීභාවය වර්ධනය කිරීමටත් සතොස සැලසුම් කර තිබේ. ලංකා ‍ෙජනරල් ට්‍රේඩින් සමාගම හෙවත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ මනා කළමනාකරණයක් හා අලෙවිකරණ සැලැස්මක් ඇති කිරීම නිසාම රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට හැකිවී තිබේ. මේ නිසා සංස්ථාව 2017 වසරේදී රුපියල් මිලියන 80.7 ක හෙවත් කෝටි 8 ක ලාභයක් ඉපයීමට සමත්විය. එය 2016 වසර සමඟ සංසන්දනය කරනවිට ලාභය සියයට 83% කින් වැඩිවී තිබේ. මේ අනුව සංස්ථාව 2016 වසරේදී ලබා ගත් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,760.2 ක් වූ අතර එය 2017 වසරේදී රුපියල් මිලියන 3,385.2 ක් දක්වා වර්ධනය විය. මේ වනවිට සංස්ථාව රාජ්‍ය ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තව තවත් ජනතාවට සමීප වෙමින්, සිය සේවය ගුණාත්මකව ලබාදෙමින් ලාභදායි තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා තම STC වෙළෙඳ ජාලය පුළුල් කරමින් රට පුරා නව අලෙවි ශාඛා විවෘත කිරීමටත්, රාජ්‍ය අංශය තුළ තම අලෙවි ජාලය වඩා වඩාත් පුළුල් කර ගැනීමටත් පියවර ගෙන තිබේ. එසේම විවෘත වෙළෙඳපොළේ අනෙකුත් ව්‍යාපාර සමඟ විවිධ සේවා සැපයීම තුළින් තරගකාරිත්වය පවත්වාගෙන යමින් පාරිභෝගික ජනතාවට සහනදායි ක්‍රමයට භාණ්ඩ හා සේවා සපයමින් සිටී.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින සමස්ත පාරිභෝගික ජනතාව සුරක්ෂිත කරමින් රට තුළ සාධාරණ වෙළෙඳාම පවත්වාගෙන යාමට දිරිය හා මඟපෙන්වීම ලබාදෙන පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනවිට පාරිභෝගික ජනතාවගේ අති සමීප හිතමිත්‍රයකු බවට පත්කර තිබේ. ඒ අනුව යහපත් සාධාරණ වෙළෙඳාමකට දිරිය ලබාදෙන අතර, පාරිභෝගික ජනතාව සූරාකෑම්වලින් වළක්වමින්, වෙළෙඳපොළ තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා වන නීති රීති දැනටමත් ශක්තිමත් කර තිබෙන අතර, ඉදිරි කාලයේ දී වර්තමාන නවීන ලෝකයට ගැළපෙන පරිදි එහි නීති රීති යාවත්කාලීන කිරීමටද පියවර ගෙන තිබේ.

එසේම ගෙවී ගිය වසර තුළ පාරිභෝගිකයා කූට වෙළෙඳුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා කරන ලද වැටලීම් සංඛ්‍යාව 25,708 ක් වේ. එයින් නඩු පවරන ලද සංඛ්‍යාව 25,082 ක් විය. මේ මඟින් රජයට අය කරගන්නා ලද දඩ මුදල්හි වටිනාකම රුපියල් කෝටි 9.8 ක් විය.

පාරි‍‍භෝගික නීති තවදුරටත් යාවත්කාලීනව පවත්වාගෙන යමින් හා නව නීති රීති එකතු කිරීම තුළින් තවදුරටත් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට අධිකාරිය සැලසුම් කරමින් සිටී.

එසේම පාරිභෝගික ආහාරපාන වර්ග පරීක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමටද ඉදිරි කාලයේදී අපේක්ෂිතය. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව පදනම් කරගත් ජාතික දත්ත සංචිතයක් නිර්මාණය කිරීමට සහ පවත්වාගෙන යාමටද අධිකාරිය බලාපොරොත්තු වේ.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින තවත් වැදගත් අංශයක් ලෙස පේෂකර්ම අංශය, අත්කම් භාණ්ඩ නිෂ්පාදන අංශය, ඇඟලුම් අංශය, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන අංශය හඳුන්වා දිය හැකිය. මේ වනවිටත් පේෂකර්ම අංශය සංවර්ධනයට අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබේ. විශේෂයෙන්ම අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයට අවශ්‍ය වන නූල්, ඩයි ආදිය සාධාරණ මිලකට ලබාදීම සඳහා පියවර ගෙන තිබේ. එසේම ඔවුනට අවශ්‍ය පුහුණුව මෙන්ම මඟපෙන්වීමද ලබාදී තිබේ. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය වෙළෙඳපොළ සොයාදීමද, ඔවුනට හොඳ මිලක් ලබාදීමටද පියවර ගෙන තිබේ. මේ මඟින් ඔවුන්ගේ අත්යන්ත්‍ර, පේෂකර්ම නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන ආදියට ඉහළ ප්‍රමිතියක් මෙන්ම ගුණාත්මක භාවයක්ද ලබාදී තිබේ. මේ යටතේ පේෂකර්ම හා ඇඟලුම් පාඨමාලා විධිමත් කර තිබෙන අතර ඉගෙනුම ලබන සිසුන්ට ජාත්‍යන්තරය පිළිගත් ජාතික වෘත්තීය කුසලතා සහතිකය හෙවත් NVQ මට්ටම සහිත සහතික ලබාදීමටද පියවර ගෙන තිබේ.

එමෙන්ම පාරම්පරික හස්ත නිර්මාණ ශිල්පීන්ව දිරිගැන්වීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම ශිල්ප සභා උප කාර්යාල පිහිටුවීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. මේ මඟින් ඒ ඒ දිස්ත්‍රික්කයට උචිත හස්ත නිර්මාණ බිහිකිරීමටත්, හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා හොඳ වෙළෙඳපොළක් ලබාදීමටත්, ශිල්පීය අනන්‍යතා සුරක්ෂිත කිරීමටත් අපේක්ෂා කෙරේ. එසේම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමටත් මෙය හේතු වේ.

එසේම ජාතික ශිල්ප සභාව යටතේ ශිල්ප නවෝදා වැඩසටහන තුළින් පාසල් සිසුන් 30,000 කට පමණ හස්ත කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදී ඔවුන්ගේ නිර්මාණ ආශ්‍රිතව තරගාවලියක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඔවුන්ට සම්මාන, ත්‍යාග හා සහතික ලබාදෙමින් අගය කිරීමද සිදුකරනු ලබති. එමෙන්ම ශිල්ප සවිය වැඩසටහන ඔස්සේ පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන් කුසලතා පූර්ණ ව්‍යවසායකයින්ට බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ හස්ත කර්මාන්ත පුහුණු වැඩසටහන්, පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරනු ලැබේ. උතුරු නැගෙනහිර පළාතද ඇතුළුව මුළු රට තුළම ව්‍යවසායකත්ව සංවර්ධන ගම්මාන වැඩසටහනක්ද මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වගාකිරීම හා ඒවා සුලභ කිරීම සිදුකෙරේ. එමෙන්ම “ශිල්ප අභිමානී” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය මඟින් ශිල්පීන්ගේ දක්ෂතා අගයමින් සම්මානයට පාත්‍ර කිරීමද සිදුකෙරේ.

මේ වනවිට සමස්ත හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම අවසන් කර ඇති අතර, ඔවුන්ගේ ලේඛනයක් යාවත්කාලීන කර පවත්වාගෙන යාම තුළින් ඔවුනට ගෞරවයක් හා වටිනාකමක්ද ලබාදී තිබේ. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ජනාධිපති සම්මාන ලබාදීම මඟින් හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කරමින් වටිනාකමක් ලබාදීමද සිදුකරනු ලබති.

ජාතික ව්‍යවසාය සංවර්ධන නියෝජිතායතනය හෙවත් NEDA ආයතනය ඔස්සේ “උපාධිධාරී ව්‍යාපාරික උදානය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන උපාධිධාරී සිසුන්ට ස්වයං රැකියා සඳහා මූල්‍යාධාර ලබාදීම සිදුකෙරේ. මෙහිදී සරසවි සිසුවකුට ලක්ෂ 2 කට ආසන්න මුදලක් පිරිනැමේ. එසේම අවශ්‍ය වෘත්තීය පුහුණුව සමඟ කළමනාකරණ, අලෙවිකරණ හා මූල්‍ය කටයුතු තාක්ෂණ ආශ්‍රිත දැනුම ද ලබාදේ. මෙම වැඩසටහන අනාගතයේදී තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන තිබේ. එසේම NEDA ආයතනය මඟින් කුඩා හා මධ්‍යම පරිමාණ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමද මේ වනවිටත් පියවර ගෙන තිබේ. මීට අමතරව ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් බලගැන්වීම මෙන්ම අලෙවි යටිතල පහසුකම් සංවර්ධනය හා තාක්ෂණ සංවර්ධන අරමුදල පිහිටුවීමටද ආයතනය බලාපොරොත්තු වේ. එමෙන්ම පාසල් සිසුන් ඉලක්ක කර ඔවුනට කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝත්පාදක දැනුම ලබාදීමටද පියවර ගෙන තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට රසායනාගාර පරීක්ෂණ සේවාවන් සහ පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැපයීම සඳහා කර්මාන්ත සංවර්ධන පහසුකම් සැපයීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය තුළ ප්‍රතීතකරණය කරන ලද අපගේ රසායනාගාරයක් (Accredited Food Laboratary) ස්ථාපිත කිරීමේ දෙවන අදියර ද ආරම්භ කර තිබේ. මෙහිදී කර්මාන්ත සඳහා තරගකාරී මිල ගණන් යටතේ ජාත්‍යන්තර පරීක්ෂණ පහසුකම් සැපයීම සිදුකෙරේ. එසේම කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළු, පාඨමාලා, සම්මන්ත්‍රණ ආදිය පවත්වාගන පුහුණුව ලබාදීම මෙන්ම ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ විවිධ ප්‍රදර්ශන පැවැත්වීමද සිදුකරනු ලබති. අපේ රට තොරතුරු සන්නිවේදන තාක්ෂණ අපනයනයෙන් සිටින්නේ 4 වන ස්ථානයේය. එම නිසා අප ඉන් පළමු ස්ථානයට පැමිණීම සඳහා එම ක්ෂේත්‍රයේ ව්‍යාපාර වර්ධනය කරගත යුතුය. ඒ සඳහා අප අමාත්‍යාංශය පූර්ණ දායකත්වය ලබාදී තිබේ. ඒ අනුව 2020 වනවිට අපගේ ඩිජිටල් සාක්ෂරතාව සියයට 90 කට වඩා වැඩි කිරීමට දැනටමත් සැලසුම් කර තිබේ.

අප අමාත්‍යාංශය යටතේ පවතින විවිධ සේවා සපයන ආයතන ඩිජිටල් තාක්ෂණයට පත්කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන තිබේ. ඒ යටතේ දැනටමත් සමාගම් ලියාපදිංචි කාර්යාලය E-ROC ලෙස අන්තර්ජාතික පහසුකම් ඔස්සේ Online ක්‍රමයට පත්කිරීමට අපේක්ෂිතය.

ගෙවී ගිය වසර 3 තුළ අප අමාත්‍යාංශය යටතේ පැවති ලංකා සීනි සමාගම තුළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මනා කළමනාකාරිත්වයත් සමඟ පාලනයක් ඇති කිරීම නිසා නාස්තිය හා දූෂණය වළක්වමින් සීනි කර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට සමත්විය. පසුගිය සමයේ පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම 2017 වස‍ෙර්දී රුපියල් මිලියන 1,174 ක ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ගෙවී ගිය වසර 03 තුළ ඉතා හොඳ ප්‍රගතිදායක තත්ත්වයක් උදාකරගැනීමට සමත්විය. ඒ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා දැක්වූ සහයෝගය හා කැපවීම අගය කළ යුතුය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කරන ලද ප්‍රකාශයෙන් මෙම සටහනට ස්ථාපිත කරමි.

“කර්මාන්ත හා වාණිජ කටයුතු ක්ෂේත්‍ර‍ය රටක ඉතා වැදගත් අංශ දෙකක්. මට ඒ අංශ දෙකේම වගකීම පැවරී තිබෙනවා. අපි ගෙවී ගිය වසර 3 තුළ එම අංශ දෙක රජයේ ප්‍රතිපත්තිවලට අනුව සංවර්ධනය කරන්නට උපරිම උත්සාහයක් ගනු ලැබුවා. ඒ අනුව අපට ගෙවී ගිය කාලය තුළ ඉතා සාර්ථක ලෙස ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකිවුණා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමාගේ මඟපෙන්වීම අපට නිරතුරුවම ලැබුණා. මේ අනුව අපගේ ඉලක්කය වන්නේ 2020 වනවිට මෙරට කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රය නවෝත්පාදන දැනුමෙන් හා නිපුණතාවයෙන් පිරිපුන් තාක්ෂණයෙන් බලගැන්වුණු පරිසර හිතකාමී හරිත ආර්ථික සංවර්ධනයට දායක වන ක්ෂේත්‍රයක් බවට පත්කිරීමටයි. අප දැනටමත් ඒ සඳහා කැපවී සිටිනවා” යැයි පැවැසීය.

ශාස්ත්‍රපති
දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ, අධ්‍යක්ෂ (මාධ්‍ය),
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය. 


නව අදහස දක්වන්න

Or log in with...