වාසනාව විතරක් තිබිලා සාර්ථක ගමනක් එන්න අසීරුයි | දිනමිණ

වාසනාව විතරක් තිබිලා සාර්ථක ගමනක් එන්න අසීරුයි

නිලාර් එන්. කාසිම්

නිලාර් එන්. කාසිම් යන නම ලබමින්, මාතර සාමාන්‍ය මුස්ලිම් පවුලක ඉපිද, කලා රසය සමඟින් හැදී වැඩුණු ඔහු, අරමුණු ඉදිරියේ බාධක කම්කටොලු පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් මායිම් නොකළේය. ජාතික රූපවාහිනි ආයතනයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රචාරක හා මාධ්‍ය තනතුරේ කටයුතු කරමින් ඔහු අද සිටින්නේ ජීවිතය දිනමින් ආ ගමන් මඟේ සාර්ථක සංධිස්ථානයකය.

 ඔබේ ළමා කාලය ගත වුණේ කොයි ආකාරයෙන්ද?

මම මාතර සාමාන්‍ය මුස්ලිම් පවුලක දරුවෙක්. ගෙදර දෙමළ භාෂාව කතා කරන්නෙ. මට සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ දෙන්නයි. තාත්තා රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. අම්මා ගෘහණියක්. අපේ දෙමාපියෝ මගේ සහෝදරයෝ දෙන්නටයි මටයි ඉගැන්නුවේ සිංහල භාෂාව. මම ක්ෂේත්‍රයේ යම් දුරක් ආවා නම් ඒකෙ පළමු පියවර තමයි මගේ දෙමාපියො මට සිංහල භාෂාව උගන්වන්න තීරණය කරපු එක. අද වෙනකොට මම සිංහල ගෞරව උපාධියක් සහ සිංහල ශාස්ත්‍රපත්‍ර උපාධියක් හිමි කරගෙන හිටියට මගේ අම්මට සිංහල ලියන්න බෑ. තාත්තට භාෂා මාධ්‍යයන් තුනම පුළුවන්. එහෙම පසුබිමක තමයි මම හැදී වැඩෙන්නෙ.

 ඔබේ අධ්‍යාපන කටයුතු සිදු කෙරුණේ?

පහ ශ්‍රේණිය දක්වා මාතර ආදර්ශ කනිෂ්ට විද්‍යාලයෙන් ඉගෙනගත්තා. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම යනවා මාතර රාහුල විද්‍යාලයට. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරන්න පටන් ගන්නවා. මාස කිහිපයක් යනකොට මට තේරෙනවා මේක මට දිරවන්නෙ නෑ කියලා. පස්සෙ මම කලා විෂයන් තෝරගන්නවා. ඒ කාලෙ තිබිච්ච පිළිගැනීමක් තමයි හොඳ ප්‍රතිඵලයක් තිබුණොත් විද්‍යාව හෝ ගණිතය කරන්න ඕනෙ. දුර්වලම අය තමයි කලාව කරන්නෙ කියලා. ඉතිං දෝෂාරෝපණයට ලක්වෙමින් මම කලා මාධ්‍ය තෝරගත්තා. ඒකත් මම මගේ ජීවිතේ ගත්ත නිවැරදිම තීන්දුවක්. උසස් පෙළ හදාරන කාලෙ මට මුණගැහුණා රන්සෑගොඩ රතනපාල හිමියන්. ඒ හාමුදුරුවො මගේ දක්ෂතා දැකලා, මට පොතපත කියවන්න දීලා, මගේ භාෂා දැනුම මුවහත් කළා. උසස් පෙළින් පසු. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කරන කල් මම මාතර දෙවිනුවර කපුගම පන්සලේ සුගතසාර ස්වාමීන් වහන්සේගෙන් සංස්කෘත භාෂාව හැදෑරුවා.

 විශ්ව විද්‍යාල වරම් හිමි වුණාම ඔබ තෝරාගන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය?

ඒ තීරණයට විශේෂ හේතුවක් වුණේ මහචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීතවලට මා තුළ ඇති නැඹුරුව. යෞවනයො විදිහට අපිට තිබුණෙ රැඩිකල් මතවාද. සුනිල් ආරියරත්නයන් ලියූ “සත්‍යයේ ගීතය”, “පවන” වගේ රැඩිකල් ප්‍රකාශනවලට තිබිණු ආකර්ෂණයත් එක්ක එතුමා ගැන ලොකු පැහැදීමක්, ගෞරවයක් තිබුණා. එතුමාගේ ගෝලයෙක් වීමේ අභිප්‍රායෙන් තමයි මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යන්නෙ. අද එතුමා මගේ ගුරුතුමා. මම ඒක බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. විශ්ව විද්‍යාලයේදී මම සිංහල ගෞරව උපාධිය කරන්න තෝරගන්නවා. ඒ වෙනකොටත් මම නිර්මාණකරණයට අවතීර්ණ වෙලා. මං හිතුවා නිර්මාණකරණයේ නිරත වෙන්න ඕනෙ භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් එක්කයි කියලා. ඉතිං මම සිංහල ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවා කැලණිය විශ්ව විද්‍යාලයෙන්. දැන් ඉන් ඔබ්බට අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඉන්නවා.

 කලාකරුවකු විදිහට ඔබේ හිතේ තිබුණු ඉලක්කයට ඔබ ළඟා වෙලාද?

යම් මට්ටමකට. ළමා අවධියේ කලාකරුවකු වීමේ සිහිනයක් තිබුණා. ඇත්තටම ගීත රචකයෙක් හෝ මාධ්‍යවේදියෙක් වෙනවට වඩා එක කාලයක මට සිහිනයක් තිබුණා සිනමාකරුවෙක් වෙන්න. ඒ දේ සාක්ෂාත් වුණේ නෑ. නමුත් මට සිනමා ගීත රචකයෙක් වෙන්න හැකියාව ලැබුණා. මම ලියන්න පටන් ගත්තයින් පස්සෙ මා තුළ තියෙන කවිකම ඉස්මතු වෙලා පත්තරවලට කවි ලිව්වා. උසස් පෙළ කරන අවධියෙ මම පත්තරවලට ලියන්න පටන්ගත්තා. විද්‍යුත් මාධ්‍යවලට මුලින්ම සම්බන්ධ වෙන්නෙ රුහුණු සේවයේ වැඩසටහන්වලින්. පිටපත් රචකයෙක් සහ නිවේදකයෙක් විදිහට දායක වුණා. උසස් පෙළින් පසු මට ආරාධනාවක් ලැබෙනවා විවරණ සඟරාවට එකතු වෙන්න. මම එහි සංස්කාරක මණ්ඩලයට සම්බන්ධ වෙලා දීර්ඝ කාලීනව වැඩ කරලා තමයි විද්‍යුත් මාධ්‍ය පැත්තට යොමු වුණේ.

 ඔබ අද මෙතන ඉන්න වැඩිපුර බලපෑවේ හැකියාවද? වාසනාවද?

මං හිතන්නෙ හැකියාව වෙන්න ඇති. මොකද හුදෙක් හැකියාවෙන් තොරව අපිට වාසනාව දිහා විතරක් බලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මොකද ඕනෑම කෙනෙකුගේ ආත්මාධිෂ්ඨානය හරිම බලවත් වෙනවා යම්කිසි ඉලක්කයකට යන්න. නමුත් ආත්මාධිෂ්ඨානය තිබ්බට මදි ඒක තමන් තුළ තියෙන ප්‍රතිභාවත් එක්ක ගොඩනඟාගන්න ඕනෙ දෙයක්.ඒ කිසිවක් නැතිව වාසනාව විතරක් තිබිලා සාර්ථක ගමනක් එන්න අසීරුයි කියලයි මට හිතෙන්නෙ.

 ආගම දහමට ඔබේ ජීවිතයේ ඇත්තේ කෙබඳු ඉඩක්ද?

මම ඉස්ලාම් භක්තිකයෙක් විදිහට ඒ තියෙන පිළිගැනීම්, ඒ තියෙන විශ්වාසයන් ඒඅයුරින් ම තියෙනවා. නමුත් මම හිතනවා ආගම කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ පෞද්ගලික දෙයක් මිස අපි ඒක සංදර්ශනාත්මකව පෙන්විය යුතු දෙයක් නෙවෙයි කියලා. ආගමෙන් ලබන ශික්ෂණයෙන් අපේ ජීවිතය හැඩගස්වා ගන්නවා විනා ආගම කරපිට තියාගෙන යායුතු නෑ.

 ජීවිතේ ඔබට ඉතිරි කළ යම් පසුතැවීමක් තියෙනවද?

එහෙම තියෙන්නට ඇති. හැබැයි මම ජීවිත දර්ශනයක් විදිහට පසුතැවීම් කියන කාරණා අමතක කරලා යනවා මිසක් ස්මරණය කරන්න තරම් දේවල් පෞද්ගලිකව ඉතුරු කරගන්නෙ නෑ. ඕනෑම කෙනෙකුගේ ජීවිතේ පසුතැවීම් ඇතිවෙන්න පුළුවන් සංසිද්ධීන් තියෙනවා. නමුත් නැවත මෙනෙහි කරන්න තරම් ප්‍රමුඛත්වයක් මගේ ජීවිතේ ඇතුළෙ මම ඒ දේවලට දීලා නෑ.

 ජීවිතේ කවදාහරි දවසක අගහිඟකම් ඔබේ ගමනට බාධාවක් වෙලා තියෙනවාද?

අගහිඟකම්වලින් අතිශයින්ම බාධා පැමිණිලා තියෙනවා. අපේ තාත්තා සාමාන්‍ය රජයේ රැකියාවක් කළේ. දරුවො පස්දෙනෙක් නඩත්තු කරන්න ඕනෙ. ඒ තුළ දැඩි දුෂ්කරතා, දැඩි අභියෝගයන්, ආර්ථික අගහිඟතා ඇති වුණා. ඉස්කෝලෙ යනකොට සෑහෙන කාලයක් ඇඳුම් එකක් දෙකක් විතරක් මාරුකර කර අඳින්න වුණු, එකම සපත්තුව ගැලවිලා යනකල්ම දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න වුණු අත්දැකීම් මටත් තියෙනවා. කුසගින්න බිස්කට් එකකින් නිවාගත්තු අවස්ථාත් ජීවිතේ ඇතුළෙ තියෙනවා. මං හිතනවා ඒවා ජීවිතේ ගොඩනඟාගන්න හොඳ පන්නරයක් කියලා. මොකද එහෙම අත්දැකීම් නැතිව අපි සුඛ විහරණයෙන් විතරක් මෙතනට ආවා නම්, අපි බයයි වැටෙන්න. දැන් අපි වැටෙන්න බය නෑ. මොකද වැටෙන්න තැනක් නැති නිසා.

 ඔබව කලාකරුවෙක් කරන්න වෙහෙසුණේ කවුද?

මං හිතනවා මං ම තමයි කියලා. මගේ පවුලෙ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නෑ. සමහරු කලා උරුම එක්කනෙ ඉපදෙන්නෙම. මම එහෙම ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. මා තුළ තිබුණු හැකියාව, දැඩි පරිශ්‍රමය සහ අධිෂ්ඨානය තමයි මාව කලාකරුවෙක් බවට පත්කළේ. ඒ දේට දෙමාපියන් සහ පවුලේ අනෙකුත් උදවිය ආශීර්වාද කළා.

 ජීවිත කාලය ඇතුළත ලබා ඇති කටුකම අත්දැකීම?

කටුකතම අත්දැකීම් ලැබුවා නම් ලැබු‍වෙ මෑත අවධියේ නෙවෙයි. සමහර විට පාසල් අවධියේ ආර්ථික අගහිඟතා එක්ක දැනිච්ච දේවල් තමයි තියෙන්නෙ. නමු ඒ කටුකත්වයන් එයාකාරයෙන්ම දැනෙන්න සැලැස්සුවේ නෑ අපේ දෙමාපියො. ඔවුන් පුළුවන් තරම් ඒ දේවල් වැළැක්වූවා. දැන් හැරිලා බලද්දි තේරෙනවා අතිශය දුෂ්කර ඒදණ්ඩක් හරහා තමයි අපි එතෙර වෙලා තියෙන්නෙ කියන එක.

 ඔබ විවේකය ගත කරන්න කැමති විදිහ?

නිවසේ බොහොම අලස සුවයෙන් ඉඳ, ගීතයක් ශ්‍රවනය කරමින් එහෙම නැත්නම් පොතක්පතක් කියවමින්, චිත්‍රපටියක් නරඹමින් තමයි ගොඩක් වෙලාවට විවේකය ගත කරන්න ප්‍රිය කරන්නෙ. එහෙම නැත්නම් නිසංසල පරිසරයකට ගිහිල්ලා, බොහොම විවේකීව, දුරකථනයත් එක්ක තියෙන බන්ධනවලින් නිදහස් වෙලා ඉන්න පුළුවන් නම් ඒකට තමයි කැමති.

 ඔබ සහ ඔබේ පවුල අතර ඇති බැඳියාව කෙබඳුද?

බොහොම හොඳ බැඳියාවක් තියෙනවා. පැහැදිලි අවබෝධයෙන්, සාමයෙන්, සුවතාවයෙන් යුක්ත පරිසරයක බිරිය සහ දියණියන් දෙදෙනා සමඟ ජීවත් වෙනවා. ඒ ගැන මම බෙහෙවින්ම තෘප්තිමත්.

 ඔබ අධිවේගීව නිර්මාණ බිහිකරන චරිතයක් නෙවෙයි නේද?

එහෙම අධිවේගයක් මට වුවමනා නෑ. මම හිතනවා නිර්මාණ බිහිකරන්න බෑ, බිහි වෙනවා මිසක්. ඒ බිහිවෙන්න ගන්න කාලය අපිට නිර්ණය කරන්න බෑ. ඉතිං ඒක තුළ අපිට අධිවේගී ගමනක් යන්න අසීරුයි. ඒ නිසා තෝරා බේරාගෙන, කිසියම් රිද්මයක් අනුව ඒ නිර්මාණ චාරිකාවේ යෙදෙනවා විනා අධිවේගීව ගමනක් ගියොත් ඒ ගමනෙ අවසානයත් අධිවේගීව සිදු වෙන්න පුළුවන්.

 වඩාත් අසීරු ක්ෂේත්‍රය තුළ නමක් හදාගැනීමද? නැත්නම් ඒ නම රැකගැනීමද?

නමක් හදාගන්න එක නෙවෙයි අසීරු, නම රැක ගන්න එකයි. නම හදාගන්නකම් පොඩි දුෂ්කර කාල පරිච්ඡේදයක් තියෙන්නෙ. ඊට පස්සෙ නම පවත්වා ගන්න දීර්ඝ කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒක ටිකක් දුෂ්කරයි. ඒ කාලය පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.

 ජීවිතේදී එල්ල වුණු ලොකුම අභියෝගය විදිහට ඔබ දකින්නෙ?

තාම ඒ අභියෝගය එල්ල වුණේ නෑ කියලයි මම හිතන්නෙ.

 සිංහල බොදු බැති ගීයේ උන්නතියට මුස්ලිම් කලාකරුවන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

ඒ ලැබෙන දායකත්වය ඔබ දකින විදිහ?

ඒක ඉතාමත්ම හොඳ දෙයක්. අපි ලංකාව ඇතුළෙ මුස්ලිම් වේවා, දෙමළ වේවා සුළු ජාතික කණ්ඩායම් තුළ අවබෝධයක් තියෙන්නට ඕනෙ මේක සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. එතකොට බහුතර සමාජයේ සංස්කෘතිය සහ ආගම පිළිබඳ අවබෝධයකින් සහ ඒ පිළිබඳ ගනුදෙනුවකින් ජීවත් වෙන්න හැමෝටම සිද්ධ වෙනවා. ඉතිං මොහිදින් බෙග්ලා ඇතුළු ඒ බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරන ගීත බිහිකරපු ශිල්පීන් පිළිබඳ මා තුළ තියෙන්නෙ ලොකු පැහැදීමක්. මං හිතන්නෙ විය යුතු දේ තමයි ඔවුන් කළේ. ඉදිරි පරම්පරාවේ මුස්ලිම් කලා ශිල්පීනුත් ගත යුත්තේ ඒ මඟ කියලයි මම විශ්වාස කරන්නෙ.

 ජාතිකත්වය ඔබට කලා ක්ෂේත්‍රය තුළ ගැටලු මතු කළ අවස්ථා තිබුණද?

මම දැනුවත්ව එහෙම නෑ. මම ජීවත් වෙන විදිහ අනුව මම සිංහලද මුස්ලිම්ද වෙනත් ජාතිකයෙක්ද කියන කාරණය මගේ ඔළුවට එන්නෙත් නෑ. මාත් එක්ක සමීපව ඇසුරු කරන අයට එහෙම මා සහ ඔවුන් අතර වෙනසක් ඇති බවක් දැනෙන්නෙත් නෑ. ඒ නිසා කොයි වෙලාවකවත් එහෙම ගැටලු ඇති වෙලා නෑ.

 සහජීවනය පිළිබඳ ඔබේ දැක්ම?

ලංකාව වගේ බහු සංස්කෘතික, බහු ජන සමාජයක සංහිඳියාව සහ සහජීවනය අත්‍යවශ්‍ය කොන්දේසියක්. අපි ඒකට සංවේදී වෙන්න ඕනෙ. අනෙකාගේ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් අවබෝධයක් නැතිව ජීවත් වෙන්න අපි කාටවත් බෑ. ඒ තුළ අපි බොහොම පෘථුල මනසකින් තමයි කටයුතු කරන්න ඕනෙ. කවුරු හරි හිතනවා නම් නෑ එහෙම නෙවෙයි, මම හිතන්න ඕනෙ මගේ ආගම, මගේ ජාතිය ගැන විතරයි කියලා... මම හිතනවා ඒක හරි ගෝත්‍රවාදී මානසිකත්වයක් කියලා. කිසි කෙනෙකුට මේ දියුණු සමාජය තුළ එහෙම ගෝත්‍රවාදී මානසිකත්වයකින් කටයුතු කිරීමේ හැකියාවක් නෑ. අපි ඊට වඩා පුළුල්ව හිතමින්, නිතරම අනෙකාට ගරු කරමින්, අනෙකාට සමීප විය හැකි ක්‍රමවේදයන්වලට සංවේදීව ජීවත් වෙන්න ඕනෙ කියන එකයි මම විශ්වාස කරන්නෙ.

කාංචනා සිරිවර්ධන
ඡ‍‍ායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න

Or log in with...