කරුවල කාමරයේ කවුළු අරිමු | දිනමිණ

කරුවල කාමරයේ කවුළු අරිමු

 නව වන ශ්‍රේණියේ පන්තියක සිසුන්ට ලිංගික අධ්‍යාපන පාඩමක් කියා දෙන්නට ගුරුවරයා පැමිණියේ ගැහැනු සහ පිරිමි ප්‍රජනේන්ද්‍රීය පද්ධති සටහන් කෙරුණු ජෛව විද්‍යාත්මක රූප සටහන් සමඟිනි. විෂය කාරණා සම්බන්ධයෙන් ගුරුවරයාටත් පුහුණුවක් නැත. එනිසා ගුරුවරයා සිසුන්ට විස්තර කරන්නට පටන් ගත්තේ ලිංගිකත්වය නොව ලිංගික ප්‍රජනනයයි.

ශ්‍රී ලංකා අධ්‍යයන පිළිබඳ ඇමෙරිකා ආයනතයේ පර්යේෂක වෛද්‍ය වගීෂා ගුණසේකර මහත්මිය “පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය කෙරෙහි බලපාන සංස්කෘතික බාධාවන්” පිළිබඳ රචනයක යෙදී ඇත. එහි එක් තැනෙක ඈ මෙසේ සටහන් කරන්නීය. “... ගුරුවරයා කළුලෑල්ල මත ප්‍රජනක පද්ධති දෙක අඳියි. ශුක්‍රාණුවක් මෙතැන සිට මෙතැනට ගමන් ගැනීම නිසා තමයි ගර්භනී බව ඇති වන්නේ යැයි ඔහු ඉන්පසුව පවසයි”

හසිනි ජයවර්ධන කොළඹ රජයේ පාසලක අධ්‍යාපනය ලැබුවේ ගුණසේකර මහත්මිය පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් විසි වසරකට පසුවයි. එසේ වුවත් අධ්‍යාපනය ක්‍රියාවලිය තුළදී ඒ දෙදෙනා ලද අත්දැකීම් වෙනස් වන්නේ මඳ වශයෙනි.

“ ... ගුරුවරයා ආවා. ඩිම්බයක සහ ශුක්‍රාණුවක රූප සටහන් කළුලෑල්ලේ ඇන්ඳා. ඩිම්බයක්, සංසේචනය කරන්න රේස් එකක් මෙහි තියෙනවා කියලා කියාගෙන ගියා. ...”හසිනි සිය මතකය ආවර්ජනය කරන්නීය.

මේ විස්තරයෙහි එක් පැත්තකින් ඇත්තේ විකටමය තත්ත්වයකි. තවත් පැත්තකින් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් පමණක් එහි ඇත. ලිංගික අධ්‍යාපනය හා ඈඳුණු මාතෘකා රැසක් මේ පැහැදිලි කිරීම තුළින් ගිලිහී ගොස් තිබේ. ගැබ් ගැනීමක් වැළක්වීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, දෙදෙනා අතර ඇති වන සම්මුතිය, සහ ලිංගික විවිධත්වය (පුරුෂ සම ලිංගික, ගැහැනු සම ලිංගික, ද්වි ලිංගික සහ ලිංගික සංක්‍රාන්තික යන ප්‍රජාවන්) යනු එලෙස ගිලිහී ගිය මාතෘකා කිහිපයකි.

ලිංගික ප්‍රචණ්ඩත්වය

සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය තුළ ජීව විද්‍යාව, විෂයක් හැටියට ඉගැන්වේ. එසේ වුවත්, එහි භාවිතයට ගැනෙන රූප සටහන් සහ පාඨ ග්‍රන්ථ ඇසුරෙන් ලිංගිකතාවය සාර්ථකව ඉගැන්වීම අතිශයින්ම දුෂ්කරය. ලිංගිකතාවය බහුමාන සහිත අස්ථිර විෂයයකි. සමාජ විද්‍යාවේ සිට මනෝ විද්‍යාවටත් එතැනින් ඉතිහාසය දක්වාත් වූ විෂයයන් හරහා ලිංගිකතාවය දෙස බලන්නට පුළුවන.

තරුණ කොටස්වලට ප්‍රජනනය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතා අඩු දැනුමක් බැව් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය 2013දී කළ පර්යේෂණයකින් සනාථව ඇත. ඒ අනුව එම කාර්යාංශය පවසන්නේ මෙරට තරුණ කොටස්වලින් 50%කට ආසන්න ප්‍රමාණයකට ලිංගික ප්‍රජනනය සහ සෞඛ්‍ය ගැන තිබෙන්නේ ඉතාමත් සීමිත දැනුමක් යැයි කියාය. ලිංගික සෞඛ්‍යට අදාළ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දීමට බොහෝ දෙනෙකු අසමත් වූ බව එම කාර්යාංශයේ නිලධාරීහු පවසති. පළමු ලිංගික එක්වීමෙන් වුව ගැබ්ගැනීමක් සිදුවිය හැකි බව දැන සිටියේ සමීක්ෂණයට සහභාගී වූ ගැහැනු ළමුන්ගෙන් 45.6%ක් පමණි. ඔසප් නොවීම, ගැබ් ගැනීමක් දක්වන එක් දර්ශකයක් බව දැන සිටියේ සමීක්ෂණයේ සාම්පලයෙන් 53.3%ක පිරිසකි.

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය ගුණසේකර මහත්මියගේ පවසයි. ලිංග භේදය පදනම් කරගත් ප්‍රචණ්ඩකාරී තත්ත්ව සහ ලිංගික හිංසන මැඩ පැවැත්විය නොහැකි තරමට රට තුළ මතුව ඇත. එනිසා විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් අන්තරාකාරී තැනෙකට තල්ලු වී සිටිති.

එකී හදිසි තත්ත්වය පසුගිය මාර්තුවේදී රට තුළ “ජාතික හදිසි තත්ත්වයක්”ඇති කරන තැනට පත් වූයේ අන්තර්ජාතික අවධානය ද දිනා ගනිමිනි. කාන්තා වන්ධ්‍යාකරණ පෙති “හිස්ටිරීයාවක්”ඒ වටා ගෙතී තිබිණ. එවැනි පෙති භාවිතයේ නැත. ලිංගික කාරණා සම්බන්ධ වැරදි තොරතුරු හේතුවෙන්, මහනුවර ප්‍රදේශයේ මාරාන්තික ප්‍රතිවිපාක ඇති විණ. ලිංගික සහ ප්‍රජනනන කාර්යයන් පිළිබඳ හරිආකාර අවබෝධයක් වී නම් එබඳු හිස්ටිරියාවක් ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණ.

මෙරට ලිංගික අධ්‍යාපනය චිරාගත තහංචිවලින් සහ සමාජ දේශපාලන බාධකවලින් අවහිර වී ඇත. හසිනි කියන අන්දමට ඈ අධ්‍යාපනය ලද පාසලේ සිසුවියන්ට ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීම තහනම් විය. එය නිකම්ම නිකම් තහනමක් පමණක්ම නොවේ දඬුවම් ලැබිය හැකි වරදකි. “ලිංගිකත්වය හෝ ආදරය හෝ සම්බන්ධයෙන් ලියැවුණු පොත් තිබිලා අහුවුණොත් ගුරුවරුන් ඒවා ඔවුන්ගේ භාරයට ගත්තා. පොතේ පිට කවරේ “හාර්ට්”එකක් තිබුණොත් ඒකත් ඔවුන් භාරයට ගත්තා. ...”ඈ සිය මතකය ආවර්ජනය කරන්නීය. තමන් අධ්‍යාපනය ලබන සමයේ පාසලේ සමහර ගැහැනු ළමයින් පෙම්වතුන් සමඟ හෝටල් කාමරවල ඉඳ හසුව ඇති බව හසිනි පවසා තිබිණ. ඒ ගැහැනු ළමයින් පාසලෙන් නෙරපා හරින ලදී. ඔවුන් මේ වරදට හසුව තිබෙන්නේ වයස අවුරුදු 18ට අඩු වයස්වල පසුවද්දීය. එසේම ඔවුන්ට හරියාකාර ලිංගික අධ්‍යාපනයක් ද තිබී නැත.

“ලිංගික හැසිරීම්වල නිරතව සිටියාය කියා දඬුවමට පාත්‍ර වන විට එම ශිෂ්‍යාවන් නීත්‍යානුකූලව එවැන්නක් කිරීමට තමන්ට ඉඩක් නැති බව ප්‍රශ්නයක් කරගෙන නැහැ. ...” යැයි හසිනි පවසන්නීය.

ලිංගික පරිපීඩනයන් ඈත අතීතයේ සිටම මෙරට සමාජය තුළ සිදුව තිබේ. මතු දැක්වූ වාර්තාව එය පෙන්වා දෙන්නේ “ලිංගිකත්වය අපේ ජාතියට තහංචියක්. තමන් මෙහි සිටින්නේ කොහොමදැයි කියන කාරණය මතකයට ගැනීමට පවා මේ මිනිස්සු අපොහොසත් වී සිටිති. ”යනුවෙනි.

වෛද්‍ය ගුණසේකර මහත්මිය විස්තර කරන අන්දමට කාන්තා ලිංගිකත්වය හැම විටම ප්‍රමුඛස්ථානයට පත්ව ඇත.

“බාල පරම්පරාව අපාරිශුද්ධ වෙයි කියලා සදාචාරාත්මක බියක් තියෙනවා. ඇත්තටම හිතුවොත් මේ කතන්දර සමාජය තුළ ප්‍රචාරය වෙන විධියක් තියෙනවා. ඒක සැලකෙන්නේ පිරිමියාගේ ලිංගික චර්යාව හැටියට නෙවෙයි, ගැහැනියගේ ලිංගික චර්යාව හැටියට. බහුතරය තමන්ගේ අදහස් ප්‍රචාරය කරන්න හෝ සුළුතරය ප්‍රජනනය නොකර සිටීමට හෝ ප්‍රජනනයම අවියක් කරගන්නවා. කාන්තාවන් ඉන්නේ එහි මධ්‍යයේ. ගැහැනිය තව දුරටත් ගෙවල් ඇතුළේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඈ හැමෝටම පේන්න ඉන්න, එහෙ මෙහෙ යන කෙනෙක්.”ඈ පවසන්නීය.

සංස්කෘතික බාධක

ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංගමයේ අධ්‍යක්ෂවරියක වන සොනාලි ගුණසේකර පවසන්නේ ප්‍රජනක අයිතිය සහ ලිංගිකතාවය පිළිබඳ දැනුම යම් ආකාරයක නිදහසක් ලැබෙන බවකි.

“තරුණ කොටස්වලට තම තමන්ව පාලනය කරගන්න, තමන් ගැන තීරණ ගන්න පුළුවන් කියලා සමාජයට දැනුණොත් එමඟින් සංස්කෘතිය අභියෝගයට ලක්වෙනවා. ඒ කෙරෙහි සමාජය බයයි; සමාජය ඒකට සූදානම් නැහැ.”සොනාලි ගුණසේකර පවසන්නීය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥභාවයක් ඇති තුෂාර මනෝජ් වැනි සමාජ සේවකයන් ඊටම සැකසුණු මොඩියුල භාවිත කර ඉගැන්වීම් කරගෙන යයි. එනිසා ලිංගික අධ්‍යාපනය ගැන ඔවුන් සතුව ඉතා ප්‍රයෝගික දැනුම් සම්භාරයක් තිබේ. ඔහු පවසන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සංස්කෘතික බාධක පසුපස දිව යන්නටත් සිදුව ඇති බවකි. ඉතා කුඩා ගම්මානයක ගුරුවරයෙකුට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී, ගුරුවරයා මනෝජ්ට කියා තිබෙන්නේ මෙවැන්නකි.

“අපිට මේ ගැන ඔබෙන් පුහුණුවක් ලබන්න ඕන නැහැ. ඔබ වැනි පුද්ගලයන් තමයි අපේ සංස්කෘතිය විනාශ කරන්නේ.”

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය තුළ සාකච්ඡා කෙරෙන පවුල් සැලසුම සහ ගැබ්ගැනීම් වැළැක්වීම යන අංශ සංස්කෘතිකමය වශයෙන් අසංවේදීය යන්න පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයට එරෙහිව නැඟෙන තර්කයකි. එක්සත් ජාතීන්ගේ පවුල් සැලසුම් සංවිධානයේ, සාකච්ඡාවක් පසුගිය ජූලි මාසයේදී පැවැත්විණ. ඊට සහභාගී වූ විද්වතුන් යෝජනා කළේ, පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයෙහි ඇති සංස්කෘතික සංවේදීතාවය නිසාම එය ලෝ පුරා නීතිගත කළ යුතු බවය.

“සමහර දේවල් විශ්වීයයි. මානව අයිතිවාසිකම් විශ්වීයයි. ඒ නිසා පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයත් විශ්වීය විය යුතුයි. අපි පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි කියලා, පසුව එය සංස්කෘතික සන්දර්භයට දැමිය යුතුයි කියලා කියන්න ඔබට බැහැ. එය විකාරයක්” සොනාලි පවසන්නීය.

තහංචි

සංස්කෘතියක පවත්නා තහංචි පන්ති කාමර අධ්‍යාපනය තුළට කාන්දු වනවිට සිසුහු එය වැරදියට වටහා ගනිති. වෛද්‍ය ගුණසේකර පවසන අන්දමට ලිංගික අධ්‍යාපන විෂය ඉගැන්වීම සමහර ගුරුවරු ප්‍රතික්ෂේප කරති. සමහර ගුරුවරු ඒ පාඩමට නියමිත දිනයේ පන්තියට නොපැමිණෙති. තවත් අය පුදුමාකාර දඩිබිඩියකින් මේ පාඩම කරගෙන යති.

ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ ජෛව විද්‍යාත්මක පාඩමක් හැටියටය. එතුළ වෛද්‍ය විද්‍යාවෙහි සඳහන් වචන භාවිත කෙරේ. එනිසා යාන්ත්‍රික ක්‍රමයකට විග්‍රහ කරමින් ලිංගික අධ්‍යාපනය ලබාදීම අපහසු ය. සමාජ සේවාවන්හි නිරත මනෝජ් වැනි වෘත්තිකයන්ට සමාජයේ පහළ ස්ථර සමඟ වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් ඇත. විවිධ ප්‍රජාවන් ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුම්වත් කර ලත් හුරුවත් ඔවුනට තිබේ. එසේ වුවත් වෛද්‍ය දෘෂ්ටි කෝණයකින් කෙරෙන විග්‍රහවලදී මනෝජ් වැන්නවුන්ගේ අත්දැකීම් ප්‍රතික්ෂේප වේ. ලිංගික අධ්‍යාපනය පිළිබඳ විෂය නිර්දේශය සැකසීමට හවුල් වන්නේ ද වෛද්‍ය පසුබිමක් සහිත විද්වතුන් බව මනෝජ් පවසයි. මේ අනුව සැකසෙන විෂය කාරණා සමහර කණ්ඩායම්වලට දුරවබෝධ ය. විෂයට සම්බන්ධ කාරණා පැහැදිලි කිරීමේදී පටලැවිලි සහිත භාෂාවක් යොදා ගැනීමත්, තාක්ෂණික වචන භාවිතයත් බහුල යැයි මනෝජ් කියයි.

“වෛද්‍යවරු න්‍යාය සහ ජීව විද්‍යාත්මක රූප සටහන් දන්නවා වුණත් සමාජයේ පහළම ස්ථර ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. එහෙම වුණාම, මේ විෂය උගන්වන්න ගමකට ගියොත් ගම්මු දන්නේ නැහැ ඔබ මොනවා ගැනද කියන්නේ කියලා. ”යනුවෙන් මනෝජ් පවසන්නේ එහෙයිනි.

වෛද්‍ය විද්‍යාවේ භාවිතයට ගැනෙන වචන, භාෂා ස්වරූප ලිංගික අධ්‍යාපන ක්ෂේත්‍රයේදී භාවිතයට ගැනීම, මේ විෂය තව දුරටත් පසුපසට තල්ලු කරන්නට හේතු වී ඇත. ලිංගිකතා නමැති මාතෘකාව වෛද්‍යවරුන්ගේ පැත්තට තල්ලු වීමෙන් අවාසි රැසක් මතුවේ.

හසිනි ජයවර්ධන ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණෙන්නේ වයස අවුරුදු 12 දී පමණය. ඇය ප්‍රාථමික අධ්‍යාපනයෙන් වැඩි කොටස් සම්පූර්ණ කර තිබෙන්නේ අමෙරිකාවෙහිදී ය. ලංකාවේ සම වයස් දරුවන්ට වඩා තමන් කොපමණ දෙයක් දන්නේ ද යන්න ලංකාවට පැමිණි වහාම ඇයට අවබෝධ වී තිබේ.

තරුණ කොටස්වල ඇතිවන කුතුහලය සංසිඳුවීම වැළක්වීම ඔවුන් ලිංගික සබඳතාවලින් මුදාගන්නට හේතුවක් බව සමහරු විශ්වාස කරති. එසේ වුවත් ඔවුන් මේ වන විටත් අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වා ගෙන යන බව බොහෝ දෙනෙකු වටහා නොගන්නා බව ගුණසේකර මහත්මිය පෙන්වා දෙන්නීය.

පළමු වරට ලිංගික සබඳතා පවත්වන සාමාන්‍ය වයස් සීමාව ඉහළ යාම කෙරෙහි තොරතුරු බහුලකම බලපාන බව යුනෙස්කෝ සහ ප්ලෑන්ඩ් පේරන්ට්හුඩ් (Planned Parenthood) යන සංවිධාන කළ පර්යේෂණයකින් තහවුරු වී ඇත. අවහිරයකින් තොරව කොන්ඩම් භාවිතයට ඉඩ සැලසීම සහ පළමු ලිංගික සබඳතාවය පවත්වන වයස් මට්ටම ඉහළ යෑම අතර සහ සම්බන්ධයක් තිබෙන බවත් ලෝ පුරා සිදු කර ඇති අධ්‍යනවලින් සනාථ වී තිබේ.

හසිනි ජයවර්ධන පවසන අන්දමට වයස අවුරුදු 14ත් 17ත් අතර පාසල් දරුවන්ට විශාල කූතුහලයක් ඇත. ඔවුහූ තම ශරීරය ගැන ඉගෙන ගැනීමටත් මනදොළ සපුරා ගැනීමටත් විවිධ ප්‍රභව භාවිතයට ගනිති. කාම ප්‍රකාශන, ගූගල් සෙවුම් ආදිය මඟින් අධ්‍යාපන පද්ධතියේ ඇති ඒ හිදැස පිරවේ. පිරිමි ළමුන් පමණක් සිටින පන්තිවලට ගොස් ලිංගික අධ්‍යාපනය ලබාදීම ගුරුවරියන්ට අපහසු වීමට බලපා ඇති එක් ප්‍රධාන කාරණයක් ලෙස කාම ප්‍රකාශන දක්වන්නට පුළුවන. ලිංගික අධ්‍යාපන පාඩමට සමහර සිසුන් පැමිණෙන්නේ කාම ප්‍රකාශන නැරඹීමෙන් ලත් ගොරහැඩි අදහස් සහිතව වුවත් ලිංගික අධ්‍යාපනයේ විවිධ විෂයාංශ ඔවුන් දැක නැති බව වෛද්‍ය ගුණසේකර මහත්මියගේ මතයයි. ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නට එකතු වී ඇති ඉහත ආකාරයේ අතිරේක මඟින් ලිංගිකත්වය එක් මානයක ඇති දෙයක් හැටියට ආලේඛනය කෙරේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, සම්මුතිය, ලිංගිකතාවය වැනි අනෙකුත් මානයන් ගැන ඒවා සාකච්ඡා නොකෙරේ.

තහංචියෙන් ඔබ්බට

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ප්‍රාථමිකව නාභිගත වන්නේ සබඳතා, ගරු කිරීම වැනි අංශ කෙරෙහි නිසා ලිංගිකත්වය පමණක් එහි සාකච්ඡා කෙරෙන්නේය යන දුර්මතය ඇති වී තිබේ. සම්මුතිය ගැන ඉගැන්වුව හොත් තමන්ගේ ශරීරයට වෙනත් කිසිවකුගේ හිමිකමක් නැති බව සිසුහු වටහා ගනිති. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය මඟින් අලකලංචි අවම කෙරේ; එමඟින් සංවාදයකට මඟ පෑදේ.

කාන්තාවන්ට සෞඛ්‍යාරක්ෂිත ලිංගික ව්‍යවහාරයක යෙදෙන්නටත්, ප්‍රතිකාර ලැබීමටත් අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇත. මෙරට හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නීති ඉතා තදබල ය. එසේ වුවත් මහමඟ, පොදු ස්ථාන ගැහැනුන්ට තවමත් අනාරක්ෂිත බව රහසක් නොවේ. ලිංගික ප්‍රචණ්ඩත්වය සෑම තැනෙකම දැකිය හැකිය. ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳ යුනෙස්කෝ මාර්ග නිර්දේශයන්ට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇතත් ලිංගික අධ්‍යාපනය, මෙරට අධ්‍යාපන පද්ධතියෙන් ප්‍රමාණවත් අන්දමින් ලබා නොදෙන බව තහවුරුව තිබේ.

ලිංගික අධ්‍යාපනය ගැන යථා ලෝකය සමඟ සංවාදයක යෙදෙන්නට නම් ජීව විද්‍යා පාඨ ග්‍රන්ථ, තහංචි ආදියෙන් ඉවත් යුතුව ඇත. අන්තර්ජාල යුගයක ජීවත්වන නිසා කිසිදු කූතුහලයක් අසංතෘප්තව පවතින්නේ නැත. ඒ නිසා ලිංගික අධ්‍යාපනය ලබාදීම තව දුරටත් ගැටලුවක් නොවේ. එසේ වුවත් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හෝ එමඟින් ඉගැන්වෙන ලිංගික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඇති ගැඹුරු සහ අඳුරු අහුමුලු හෝ සම්බන්ධ ගැටලුව තව දුරටත් ගැටලුවක්ම වනු ඇත.

20018-08-27වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ “Sex Education till taboo” යන ශීර්ෂ පාඨය සහිතව පළ වූ Kelsey Ablesගේ ලිපිය ඇසුරෙනි.

පරිවර්තනය
මංජුලා විජයරත්න 


නව අදහස දක්වන්න

Or log in with...