කැන්වසය මත ජීවිත පාට කරන බෝසාදි | දිනමිණ

කැන්වසය මත ජීවිත පාට කරන බෝසාදි

අපි කතාවට කියනවානෙ මේ ලෝකෙ කළු චරිතවත්, සුදු චරිතවත් නෑ, ඉන්න තරමක් ඉන්නෙ කළුසුදු චරිත කියලා. ඒත් ඔබ දන්නවද ඒ අතර ඉන්නවා බොහෝම වර්ණවත් චරිත. කාගෙත් මනසට ප්‍රිය, සොඳුරු වර්ණ එකතු වුණු සොඳුරුතම චරිත. ඉතිං ඔය ඇස් ඇරලා ඒ චරිත දිහා බලන්න. එහෙම බලන්නයි කියන්නෙ අනුන්ගේ පාට දිහා බලාගෙන හූල්ලලා හිත රිදවගන්න නම් නෙවෙයි. ඒ චරිත දිහා බලලා තමන්ගේ ජීවිතෙත් තමන්ගෙම දෑත්වලින් ලස්සනට පාට කරගන්න.

බෝසාදි තෙව්නුලි කියන්නෙත් අන්න ඒ විදිහට තමන්ගෙම දෑත්වලින් ජීවිතය පාට කරගන්න වෙහෙසෙන සොඳුරු යුවතියක්.

බෝසාදිගේ වයස අවුරුදු 22යි. පදිංචිය මහරගම. මියුසියස් විද්‍යාලයෙන් අකුරු කළ ඇය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය හදාරනවා. ඒ අංශයෙන් ඉදිරියටම යන්න ආස කරන බෝසාදිගේ ජීවිතේ හෙවණැලි වගේ නිතරම ළඟින් ඉන්නෙ අම්මයි අයියයි. ඇගේ අප්පච්චි මේ වෙද්දි ජීවතුන් අතර නෑ.

මිනිස් රූප සහ සත්ත්ව රූප ජීවමාන ලෙස සිතුවම් කරන්නටත් විවිධ මාධ්‍යයෙන් වෙනස් ආරයේ සිතුවම් මවන්නටත් ඇයට ඇත්තේ උපන් හැකියාවක්. නොයෙක වර්ණා හා මුසු වුණු ඇගේ ජීවිතයේ සුන්දරත්වය එයයි. කැන්වසය මත තෙලිතුඩින් ඇඳෙන ඉරක් ඉරක් ගාණේ මොනවට පැහැදිලි වන්නේ ඇගේ අපරිමිත හැකියාවයි. සැබවින් ම ඒ හැකියාව විශ්මිත බව ඇගේ සිතුවම් සියැසින් දකින කාට වුණත් හැඟීයාවි.

මේ තරම් අපූරුවට පැන්සලෙන්, පින්සලෙන්, වර්ණ මුසු කරමින් කැන්වසය මත හරඹ කරන ඇය කිසි දිනක චිත්‍ර කලාව, විෂයක් විදිහට ගුරුවරයෙක් යටතේ හදාරලා නෑ.

‘ඉස්සර මගේ අප්පච්චි චිත්‍ර ඇඳලා තියෙනවා. එයා රූපවාහිනී සංස්ථාවේ හිටපු කැමරමන් කෙනෙක්. ඒ වගේම අප්පච්චි තමයි ලංකාවේ පළවෙනි ඇනිමේෂන් කැමරමන්. ඒ කලා හැකියාව මටත් උපතින් ම ලැබෙන්න ඇති කියලා හිතනවා. මට චිත්‍ර අඳින්න පුළුවන් කියන දේ මං දැනගත්තෙ පුංචි කාලෙදිමයි. ඉතිං මං නිතරම චිත්‍ර ගැන හෙව්වා. චිත්‍ර අඳින්න පුරුදු වුණා. ගොඩක් තනියම තමයි ඉගෙනගත්තෙ.’ එහෙමයි බෝසාදි කිව්වෙ.

මේ තරම් අපූරුවට වර්ණ මුසුකරමින්, සිතුවමක්ද නැත්නම් සත්‍යයක්ද යන්න හරි හැටි තෝරාබේරා ගැන්ම අපහසු වන තරමට ම ඇස රවටන සිතුවම්, ඇය අතින් නිම වෙන්නේ ඇගේම ආත්ම තෘප්තිය වෙනුවෙන් වුණත් කවුරු හරි මුදලට සිතුවමක් ඇඳලා ඉල්ලුවොත් ඒ කටයුත්තත් බෝසාදි අතින් ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ බොහොම කැමැත්තෙන්. එහෙම වුණත් ඇයට මේ කලාව හුදෙක්ම මුදල් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගැනීමේ අභිලාශයක් නැති බවත් ඇගෙන් දැනගන්න ලැබුණා. ඒ දෑස් අග ඇත්තේ ඇගේ ම තෘප්තිය උදෙසා, ජන්මයෙන් ලද හැකියාවෙන් සුවිශේෂී යමක් කිරීමේ බලාපොරොත්තුවයි.

‘මම හැම මාධ්‍යයකින්ම චිත්‍ර අඳින්න ට්‍රයි කරලා බලනවා. ගොඩක් වෙලාවට තෙල් සායම් මාධ්‍යයෙන් තමයි අඳින්න කැමති. මම ගොඩක්ම චිත්‍ර ඇඳලා තියෙන්නෙත් තෙල් සායම්වලින්. චිත්‍ර අඳින්න මට එක වෙලාවක් කියලා නෑ. මගේ හිතට දැනෙන වෙලාවට, මට දැනෙන දේවල් මම අඳිනවා. ලොකු ඉවසීමක් තියෙන්න ඕනෙ චිත්‍රයක් අඳින්න. ඒ වගේ ම නිදහස ඕනෙ. ගොඩක් වෙලාවට මං කාන්තා නිරුවත් රූප අඳිනවා. ඒ පැත්ත ලංකාවේ ආර්ටිස්ලා කරනවා අඩුයි. මං හිතන්නෙ ඕන කෙනකුට චිත්‍රයක් ඇඳලා ඉවර කරන්න පුළුවන්. නමුත් ඒක මහා පරිමාණ ප්‍රතිනිර්මාණයක් කරන්න හැමෝටම බෑ. ඒකට තියෙන්න ඕනෙ සුවිශේෂී හැකියාවක්. දවසක මගේම නිර්මාණ එකතු කරලා ප්‍රදර්ශනයක් තියන්නත් මගේ හිතේ අදහසක් තියෙනවා. අයියා තමයි මේ වැඩවලදි මට ලොකුම සපෝට් එකක් දෙන්නෙ. අම්මා නම් කැමති නෑ. මං මේ දේවල්වලට කාලය යොදවලා, මගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගනියි කියලා අම්මා ඉන්නෙ බයෙන්. කොහොම වුණත් මට නම් හිතෙන්නෙ මං තාම ඉන්නෙ මුල් අවධියේ. මට ආසයි මේ චිත්‍ර කලාව කියන දේ ඇතුළෙ චරිතයක් වෙන්න. ඒක තමයි මගේ හීනෙ.’

හීන දකින, හීන හොයන, හීන පසුපස හඹායන යුවතියන් අතරේ ඇය හීන පාට කරන්නියක්. සිය කලා හැකියාව දිනෙන් දින ප්‍රගුණ කරමින්, අලුත් යමක් කරන්නටත්, එහිම වෙනසක් සොයන්නටත් වෙහෙසෙන ඇය, නුදුරේදීම ඇයටම ආවේණික වූ වර්ණයන් සොයාගනීවී. ඒ වර්ණවලින් ඇගේ ජීවිතය ලස්සනට පාට කරගනීවි. ඉතිං මතක තියාගන්න. අනුන්ගෙ පාටවලට හූල්ලන්න එපා. පාට මාරු කරන කටුස්සෙක් නොවී, තමන්ට හිමි පාට හොයන්, ඒ පාටවලින් ජීවිතේ ලස්සනට පාට කරගන්න ඔබටත් පුළුවන්.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න