ඩුබායි කජු! | දිනමිණ

ඩුබායි කජු!

යාන්තමට රටඉඳි ගහක් පමණක් හැදෙන ඩුබායි රටේ සිට කජු ගෙන්වා ගුවන් මගීන්ට සංග්‍රහ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීන්දු කළේ ඇයි? මඩකළපුව - එරාවුර් පළාතේ කජු ඉවර ද? පුත්තලමේ කජු වගාව විනාශ ද? නැතහොත් බටලීයේ කජු වෙළෙඳ පොළ අවසන් ද? අපේ කජු අහවර නම්; ඉන්දියාවෙන් කජු ගෙන්වීමට ඉඩ තිබිණි. අසල්වැසි ඉන්දියාවේ කජු සඳහා සාර්ථක වෙළෙඳ පොළක් පවතී. ඩුබායි කජු සඳහා වෙන ම තර්කයක් ගොඩනඟන්නට ද පුළුවන. එනම්; ඩුබායි යනු ලෝකයේ හොඳ ම වෙළෙඳපොළක් බව ය. එහි නැති දෙයක් නැත.

මේ සියල්ලට වඩා වටින්නේ ඩුබායි කජු සඳහා පවත්නා විවේචනය යි. ඒවා හඳුන්වන්නේ සතෙකුටවත් කන්නට බැරි දෙයක් හැටියට ය. එහෙත් මේ කතාවේ අර්ථය වන්නේ තිරිසනකුට හෝ ලබාදීමට නුසුදුසු කජු ශ්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලබා දී ඇති බව ය. ප්‍රශ්නය මතුවීමත් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ඩුබායි කජු ගෙන්වීම වහා ම අත්හිටුවා ඇත.

මේ සිද්ධියට අදාළ ශ්‍රී ලන්කන් ගුවන් නිලධාරියකු අපූරු කතාවක් කියා තිබේ. ඔහුට අනුව අපේ රටේ කජු වෙළෙඳ පොළ අවුල් ය. එහි ඉල්ලුමට අනුව සැපයුමක් නැත. මෙරට කජුවල මිලගණන් ද අධික ය. මේ හැරෙන්නට ටෙන්ඩර් පටිපාටි අනුව කජු මිලට ගැනීමට ගියවිට අවශ්‍ය වෙලාවට කජු ලැබෙන්නේ නැත. කිතුල්ගහට නැඟුණු මිනිසාගේ කතාව අපට සිහිපත් වේ. රා බොන්නට කිතුල් ගහට ගොඩවුණු මිනිහා හොරය අතට ම අසුවූ විට තණකොළ කපන්නට කිතුල් ගහට නැඟුණු බව කියා ඇත. මේ නිලධාරියා ඩුබායි සැපයුම්කරුවන්ගෙන් කජු ලබාගන්නට ඇත්තේ ටෙන්ඩර් පටිපාටි නොසලකා විය යුතු ය. සමාගමකට එවැන්නක් කළ හැකි ද?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යනු පාඩු පිට දුවන ආයතනයකි. එය ලංකා බැංකුවට පමණක් රුපියල් කෝටි එක්දහස් හාරසිය හතළිහක් ගෙවන්නට තිබේ. මේ ණය සඳහා වාර්ෂික ව පොලී මුදල් ගෙවන්නේ වුව මුළු ණය මුදල ගෙවන බවක් පෙනෙන්නට නැතැ’යි ලංකා බැංකුවේ නිලධාරියකු කියා තිබේ. ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් විනාශ කිරීමේ වගකීම මහින්ද රාජපක්ෂ පාලන සමය භාරගත යුතු ය යන්න බොහෝ දෙනකු පිළිගන්නා මතයකි. ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වන තොරතුරුවලින් ද ඒ බව සනාථ වෙයි. මේ සමාගම්වල ඉහළ තනතුරු ලබාදී තිබුණේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට ය. ඔවුන්ගේ මාසික පඩිය විමසන විට රටේ ජනතාව කෝප වන්නට පුළුවන.

සෝවියට් දේශයේ සමාජවාදය විනාශ කළේ එවකට එහි සිටි නිලධාරි පන්තිය යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත. 1991 දී සෝවියට් දේශයත් එහි සමාජවාදයත් බිඳ වැටිණි. නයිජීරියාව සම්පත් බහුල රාජ්‍යයක් වුව; ඒ රට සංවර්ධනය කරා ගමන් නොකරන්නේ දේශපාලනඥයන් හා නිලධාරින් නිසා යැයි චිනුවා අචෙබෙ නම් මහා ලේඛකයා කියා ඇත. නයිජීරියාව අදටත් දූෂණයෙන් පිරි රාජ්‍යයෙකි. මහතීර් මොහොමඩ් මහතාගේ පාලන සමයට පෙර මැලේසියාව පැවැතියේ ද දූෂිත තත්ත්වයේ ය. එහි රාජ්‍ය නිලධාරින් ලවා කිසිදු කාර්යයක් කර ගැනීම අසීරු විය. එහෙත් මහතීර් මොහොමඩ් මහතා ඒ සියල්ල වෙනස් කළේ ය. හොඳ ම රාජ්‍ය සේවයක් අද එහි පවතී.

රටේ පවත්නා අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා ගැන අවධානය යොමු කිරීම ද මෙහි ලා වැදගත් ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අනුව පසුගිය මාස අටක කාලය තුළ දී පමණක් පැමිණිලි එක්දහස් නමසිය හැටඅටක් ලැබී තිබේ. මෙයින් පැමිණිලි දෙසිය පනස්හතරක් අල්ලස් ගැන ය. පැමිණිලි නවසීයක් දූෂණ ගැන ය. පැමිණිලි හැටතුනක් අයුතු වත්කම් ඉපැයීම් ගැන ය. මේ කාලය තුළ ක්ෂණික වැටලීම් තිස් එකක් සිදුකර ඇති අතර රාජ්‍ය සේවකයන් විසිනව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. රටේ ආයතනවල ද, නිලධාරීන්ගේ ද තත්ත්වය මෙයින් වටහාගත හැකි ය. පුදුමයකට මෙන් අල්ලස් ගැනීම් සඳහා චුදිතයන් බවට පත් ව ඇත්තේ රටේ ඉහළ ම නිලධාරින් ය.

මූල්‍ය විනයක් නැති රටක් කිසිකලෙක දියුණුවට පත්වන්නේ නැත. රාජ්‍යයක් සංවර්ධනය කරා ගෙන යන විට බුද්ධිමත් පාලකයන් පළමුව සිදුකරනුයේ මූල්‍ය විනය ඇති කිරීම ය. රාජ්‍ය ආයතන තුළ ද, දේශපාලන අධිකාරිය තුළ ද මූල්‍ය විනය පවත්වාගත යුතු ය. මූල්‍ය විනය නැතිකම නිසා ඇද වැටුණු රාජ්‍ය ගණනාවක් අප්‍රිකාවේ පවතී. බටහිර අප්‍රිකාවේ සෙනගාලය ඉන් එක රාජ්‍යයකි. එහි හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ කරීම් වෙඩ් එකල රාජ්‍ය ආයතන පාලනය කළේ ය. හිතවතුන් බුරුතු පිටින් ආයතනවලට ඇතුළත් කළ අතර බොහෝ දෙනා හොරකම් කරන්නටත්, අල්ලස් ගන්නටත් පටන් ගත්හ. 2012 දී වෙඩ් පාලන සමය අවසන් වනවිට රටේ ආර්ථිකය අන්තයට ම පිරිහී තිබිණි. දැන් නව ජනාධිපතිවරයකු රට පාලනය කරන අතර ඔහුට ද ආර්ථිකය ගොඩනැඟීම අසීරු වී ඇත. කිසිදු මූල්‍ය විනයක් රට තුළ නැත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කජු ප්‍රශ්නය සුළු කොට තැකිය හැකි දෙයක් නො වේ. එක අතෙකින් මේ සමාගම ගුවන් මගියාට උපරිම ලෙස සැලැකිය යුතු ය. ඒ අනුව ආහාරයට නුසුදුසු කජු ගුවන් මගීන්ට ලබාදීම වැරැදි ය. තව අතෙකින් කජු මිලට ගැනීමේ දී මූල්‍ය විනයක් පවත්වාගත යුතු ය. අපට පෙනෙන හැටියට ඩුබායි කජු මිලට ගෙන ඇත්තේ පිළිගත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් නො වේ. නිලධාරින්ට මේ අයුරින් හිතුවක්කාරී ලෙස තීරණ ගත හැකි ද යන්න විමර්ශනයට ලක් කළ යුතු ය. කුමන පැත්තකින් බැලුව ද ඩුබායි කජු ගෙන්වීම මෙන් ම ඒවා ගුවන් මගීන් වෙත ලබාදීම ද මෝඩ තීරණයකි. අව ම ලෙස මේ කජු පරීක්ෂාවකට හෝ ලක්කර නැති බව ද පෙනී යයි.


නව අදහස දක්වන්න