මින්ටොනෙට් - වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ හැටි | දිනමිණ

මින්ටොනෙට් - වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ හැටි

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට පත්ව ඇති වොලිබෝල් ක්‍රීඩාවේ උපත 1895 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුව තිබේ. ඉන් වසර 21කට පසු ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද මේ ක්‍රීඩාව 1991 වසරේ සිට ජාතික ක්‍රීඩාව බවට පත්විය.

වොලිබෝල් උපත

අමෙරිකා එක්සත් ජනපදයේ හොලියෝක් තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජි. මෝගන් (Williyam G. Morgan) විසින් 1895 වසරේදී මින්ටොනෙට් ‘mintonette’ ලෙසින් ක්‍රීඩාවක් නිර්මාණ කළ අතර ඉන් කලකට පසු එ.පී. හල්සට් මහතා විසින් මේ මින්ටොනෙට් ක්‍රීඩාව වොලිබෝල් ලෙසින් නම් කරන ලදි.

ජාත්‍යන්තර වොලිබෝල් එකමුතුව 1947 වසරේදී නිර්මාණය වන අතර පළමු ජාත්‍යන්තර තරගාවලිය 1949 දී පිරිමි කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වා තිබේ. කාන්තාවන් සඳහා තරගාවලියක් ජාත්‍යන්තර වශයෙන් පවත්වා ඇත්තේ 1952 වසරේදීය. ඉන් වසර 12කට පසුව (1964) ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද මේ ක්‍රීඩාව ඇතුළත් විය.

ජාත්‍යන්තර වොලිබෝල්

වසර 1947 ප්‍රංශයේ පැරිස් නුවරදී ජාත්‍යන්තර බොලිබෝල් සම්මේලනය බිහිවන අතර මේ වනවිට ලොව පුරා රටවල් 224ක් එහි සාමාජිකත්වය දරයි. ඉන් රටවල් 65ක් ආසියානු රටවල්ය.

එම රටවල් එක්ව 1952 වසරේදී ආසියානු වොලිබෝල් සම්මේලනය පිහිටුවා ගන්නා ලදි. එහි මූලස්ථානය තායිලන්තයේ බැංකොක් හී පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල්

අමෙරිකානු ජාතික රොබට් වෙල්ටර් මහතා විසින් 1916 දී වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර මීට වසර 27කට පෙර වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට නම් කෙරිණි.

පිරිමි කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පළමු ජාතික තරගාවලිය 1951 වසරේ ආරම්භ වන අතර එහි ජය හිමිකර ගැනීමට ගම්පහ ක්‍රීඩා සමාජය සමත්ව සිටී. ගම්පහ දිස්ත්‍රික්කය අදටත් වොලිබෝල් ක්‍රීඩාවට වඩාත් ජනප්‍රියත්වයක් උසුලයි. කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තරගාවලියක් පැවැතියේ 1957 වසරේදීය. එහි ජය හංවැල්ල සාන්න ජෝන් බොස්කෝ විදුහල් කණ්ඩායමට හිමිව තිබේ.

ජාතික සංචිතය

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික සංචිතය 1955 වසරේදී පිහිටුවන ලදි. ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට විශේෂිත අංක ලබාදීම පසුගියදා සිදු කෙරිණි. එම අංක ජාතික කණ්ඩායමට එක්වූ අනුපිළිවෙළ අනුව ලබාදුන් අතර මෙවර ආසියානු අභියෝග කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනාට හිමිවූ අංක මෙසේය.

ශමිල් මලින්ද සිල්වා - 147

ජනිත් සුරත් - 150

දීප්ති රමේෂ් රණවක - 152

චාමර මිහිරාන් - 153

ගයාන් මධුසංක - 154

ඒ.ඩබ්.ලක්මාල් - 157

ප්‍රමේෂ් ප්‍රසන්න - 163

අයේෂ් දිල්හාන් - 164

ලසිඳු මෙත්මල් - 165

කසුන් චතුරංග - 167

වසන්ත ලක්මාල් - 169

ධනුෂ්ක දිල්ෂාන් - 170

මලිත් දිනිඳු - 171

ෂෙහාන් විමුක්ති - 172

ආසියානු ක්‍රීඩා

ශ්‍රී ලංකා වොලිබෝල් පිරිමි කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇත්තේ 2වරක් පමණි.

ඒ 1966 බංකොක් හිදී පැවැති 5 වැනි තරගාවලියේදී සහ පසුගියදා නිමාවට පත්වූ 18 වැනි තරගාවලියේදීය.

බැංකොක් තරගාවලියේදී ශ්‍රී ලංකාව 11 වැනි ස්ථානයට පත්වූ අතර ඉන්දුනීසායාවේ පැවැති 18 වැනි තරගාවලියේදී කණ්ඩායම් 20ක් අතුරින් 13වැනි ස්ථානයට පත්විය.

දකුණු ආසියාවේ 2

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු ආසියාවේ ප්‍රබලම කණ්ඩායම ලෙස ඉන්දියාව සැලකෙන අතර ඔවුන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 30 වැනි ස්ථානයේත්, ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේත් පසුවෙයි.

නිමාවට පත්වූ 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූ අතර 11 වැනි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ලෝකඩ පදක්කමය.

මංගල ආසියානු කුසලාන තරගාවලිය

ආසියානු වොලිබෝල් සම්මේලනය මේ වසරේ සිට ආසියානු වොලිබෝල් ශූරතාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය ලෙසින් තරගමාලා 2ක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ආසියානු සම්මේලනයේ සාමාජිකයන් 65 අතුරින් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 8 ආසියානු ශූරතාවලියට එක්වන අතර 9 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා කණ්ඩායම් 10 ආසියානු කුසලාන තරගාවලියට එක්වෙයි.

එම තරගාවලියේ මුල් ස්ථාන 2 හිමිකර ගන්නා කණ්ඩායම් ආසියානු ශූරතාවලියට එක්කිරීමට නියමිතය.

ඒ අනුව මංගල ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවූ අතර සත්කාරකයන් සමගින් මලයාසියාව, හොංකොං, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, මොන්ගෝලියාව සහ ඉරාකය මේ තරගාවලියට එක්ව සිටී. ෆීජි සහ උස්බෙකිස්තානය තරගාවලියට සුදුසුකම් ලැබුවද එක්වී නොමැත.

නිරෝෂාන් ප්‍රියංකර


නව අදහස දක්වන්න