කොණ්ඩදෙණියේ නර්ථන බලඇණිය | දිනමිණ

කොණ්ඩදෙණියේ නර්ථන බලඇණිය

අසේල කුරුළුවංශ

වෙස් අතර විශිෂ්ටයි

මහනුවර ඇසළ පෙරහරට එක්ව දක්ෂතා දක්වන කලාකරුවන් ඇගයීම ජේ.ආර් ජයවර්ධන ජනපතිවරයාගේ කාලයේ පටන් සිදු කෙරෙන්නකි. උඩරට නර්ථනයේ, ගායනයේ හා වාදනයේ අති දක්ෂ පාරම්පරික කලාකරුවන් රැසක් ශ්‍රී දළඳා මාලිගාවේ මෙන්ම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල පෙරහරට එක්ව පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කරන්නට දක්වන කැපවීම ඉතා ඉහළය. ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්නට තිබෙන ප්‍රධානතම වේදිකාව මහනුවර ඇසළ පෙරහර බව දන්නා කලාකරුවන් එහිදී නැතැතින්ම උත්සාහ කරන්නේ එකකු පරයා අනෙකා කැපී පෙනෙන සේ දක්ෂතා ඉදිරිපත් කරන්නටය. මෙහිදී වඩාත් සුවිශේෂි වන්නේ උඩරට වෙස් නැටුමයි. ජාත්‍යන්තර මට්ටමින් පවා ඇගයුමට ලක්ව තිබෙන උඩරට වෙස් නැටුම ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලෝකයට කියාපාන ප්‍රධානතම නර්ථන විලාශයකි. මහනුවර ඇසළ පෙරහරට වෙස් නැටුම් කණ්ඩායම් 10 ක් ගමන් ගනිති. ශ්‍රී දළඳා මාලිගාව හා සතර දේවල මඟින් වෙස් නැටුම් කණ්ඩායම් දෙක බැගින් පෙරහරට එක් කර ගැනීම සම්ප්‍රදායික චාරිත්‍රයකි. මේ වෙස් නැටුම් කණ්ඩායම් අතරින් මෙවර අති විශිෂ්ටතම වෙස් නැටුම් කණ්ඩායමට හිමි ජනාධිපති සම්මානය හිමුවූයේ කොණ්ඩදෙණියේ සමන් කලාකරුවාගේ කණ්ඩායමටය. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාට ඉදිරිපසින් නැටුම් ඉදිරිපත් කරන සමන්ගේ කණ්ඩායම මෙම සම්මානය මෙවර දිනා ගත්තේ දෙවන වරට වීම විශේෂත්වයකි. මෙයට ප්‍රථම 2014 වසරේදී ඔවූහු මෙම සම්මානය දිනා ගත්හ.

"මම වෙස් බැන්ඳේ 1992 ජනවාරි මාසේ 01 වෙනිදා මාලගම්මන රජමහ විහාරයේදී. සයිමන් මාලගම්මන ගුරුන්නාන්සේ තමයි මට වෙස් බැන්ඳේ. මගේ, මාමා එම්.ජී තිලකරත්න පාරම්පරික තම්මැට්ටම් ශිල්පියෙක්. එතුමා මගේ පළමු ගුරුවරයා. ඊට පස්සේ මාලගම්මන ගුරුන්නාන්සේ ගෙන් වෙස් නර්ථනය හැදැරුවා. වෙස් බැන්ඳ අවුරුද්දේ ඉඳලා මම වෙස් නැට්ටුවෙක් විදිහට පෙරහරට සම්බන්ධ වුණා. පත්තිනි දේවාලයේ පෙරහරෙත්, දළඳා මාලිගා පෙරහරෙත් කලක් මම වෙස් නැටුම් ඉදිරිපත් කළා. පස්සේ විෂ්ණු දේවාලයට සම්බන්ධ වුණා. පෙරහරේ හොඳම වෙස් නැටුම් කණ්ඩායම වෙනවා කියන්නේ ඉතාම අසීරු දෙයක්. ඒකට කණ්ඩායමේ හැමෝම එකවගේ දක්ෂතා පෙන්වන්න ඕන. මට මේ පාර විශිෂ්ට වෙස් නැටුම් ශිල්පියා කියන ජනාධිපති සම්මානයත් හිමිවුණා.ඒක මම තනිව ලබපු ජයග්‍රහණයක්. ඒකට වඩා වැදගත් වන්නේ කණ්ඩායමක් ලෙස ලබන ජයග්‍රහණයයි. පෙරහරට එක්වන සියලුම කණ්ඩායම්වල ඉන්නේ අති දක්ෂ නර්ථන ශිල්පීන්. ඔවුන් සියලු දෙනා අභිබවා මේ සම්මානය ලබා ගැනීම වටින්නේ ඒ නිසයි." කොණ්ඩදෙණියේ සමන් පවසයි.

"පෙරහරේ වෙස් නැටුම් ඉදිරිපත් කෙරෙන්නේ සම්ප්‍රදායන්ට අනුකූලවයි. දළඳා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා ඉදිරිපිටත්, දියවඩන නිලමේතුමන් ඉදිරිපිටත් පමණයි වෙස් කණ්ඩායම් නර්ථන ඉදිරිපත් කරන්නේ. දේවාල පෙරහරේදී දේව අභරණ වැඩම කරවන හස්තිරාජයා හා බස්නායක නිලමේතුමන් ඉදිරිපිට පමණක් වෙස් නැටුම් ඉදිරිපත් කරනවා. වෙනත් කිසිම තැනකදී පෙරහරේ වෙස් නැටුම් දකින්න ලැබෙනේ නැහැ. වෙස් කණ්ඩායමකට ශිල්පීන් 60 ක් ඉන්නවා. වෙස් නැටුම් ශිල්පීන් 40 ක් හා ගැට බෙර වාදකයින් 20 ක් ඊට ඇතුළත්. ගායනය, වාදනය හා නර්ථනය කියන අංශ තුනම එක ලෙස හොඳ මට්ටමක තිබුණොත් තමයි වශිෂ්ට වෙස් කණ්ඩායමට හිමි සම්මානය හිමි වන්නේ." එසේ පවසන කොණ්ඩදෙණියේ සමන්ගේ එකම අරමුණ නර්ථනයේ ඇති ගුණාත්මක බව හා ගෞරවය ආරක්ෂා ගැනීමය. ඒ සඳහා සමාජයෙන් ශිල්පීන්ට ගෞරවයක් හිමිවිය යුතු බවද ඔහු පවසයි.

කොණ්ඩදෙණියේ සමන්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්ථනවේදී උපාධිධාරියෙකි. ඔහු හතළිස් දෙහැවිරිදි ය. හේ හොඳම වෙස් නැටුම් ශිල්පියාට හිමි සම්මානය චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන ජනපතිවරුන් තිදෙනා ගෙන්ම ලබා ගැනීමට තරම් අතිදක්ෂ වූ දක්ෂ නර්තන ශිල්පියෙකි.

ඡායාරූප බුද්ධික රොෂාන්
දළඳා මාලිගාවේ මාධ්‍යය කාර්යාංශය


නව අදහස දක්වන්න

Or log in with...