පොල්දුගොඩ ඇළේ ප්‍රශ්නය | දිනමිණ

පොල්දුගොඩ ඇළේ ප්‍රශ්නය

අවු. 40 ක් බලධාරීන් අහක බලලා

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගම, වරාපිටිය, ලද්දුව ප්‍රදේශවල කුඹුරු අක්කර 400කට පමණ ජලය සපයන ආඳාවල පොල්දුගොඩ සමාන්තර ඇළ අවහිරවී, ඇනිකට් ගරාවැටී ඇතැයි ප්‍රදේශයේ ගොවිහු පවසති. දශක හතරක සිට සමාන්තර ඇළ ගොඩවීමෙන් කුඹුරු වගාවට බාධා එල්ලවූ අතර 1989 දී ඇතිවු ගංවතුර සමඟ සමාන්තර ඇළ වේලි කැඩි බිඳී විනාශ විය. වගකිවයුතු බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නද මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි ගොවිහු චෝදනා කරති.

ආඳාවල පරාක්‍රම ගොවි සංවිධානයේ අරුණ සංජීව මහතා -

ආඳාවල 776 කොට්ඨාසයට පමණක් නෙමෙයි ප්‍රදේශයේ කුඹුරු අක්කර දහසක් පමණ අවුරුදු තිහ හතළිහක ඉඳල පුරන් වෙලා. මාස් ඕවිට යාය, කඩොල් ඕවිට ආඳාවල යාය ඇතුළු කුඹුරු රැසක් පුරන් වීමට හේතුව, සමාන්තර ඇළ සහ ඇනිකට් විනාශ වීමයි. කරදිය ගලන නිසා වී වගා කරන්න බැහැ. අපි ඉල්ලන්නේ කරදියට ඔරොත්තු දෙන පොල්, කුරුඳුවගේ දේවල් වගා කරන්න අවසර දෙන්න කියලයි.

ආඳාවල පරාක්‍රම ගොවිසංවිධානයේ සිරිකුමාර හෙට්ටිආරච්චි මහතා -

බෙන්තර ගඟ දකුණ ඉවුර ව්‍යාපාරයේ කුඹුරු අක්කර දහදාහකට වඩා තවමත් පුරන් වෙලා. බෙන්තර ග‍ඟේ කර දිය ගැලීමට 70 දශකයේ ඉදිකළ කරදිය වේල්ල සහ ඊට සම්බන්ධ ඇළ මාර්ග ඇනිකට් විනාශ වීම මීට හේතුවයි.

මේ කන්නයේදී මාවී වගා කරන්න උත්සාහ කළා. නමුත් වතුර බහින්නේ නැහැ. සමාන්තර ඇළ සහ ඇනිකට් අලුත්වැඩියා කරන තුරු අපට වෙලා තියෙන්නෙ පුරන් කුඹුරු දිහා බලාගන ඉන්න. මේ පිළිබඳ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට කෘෂිකර්මයට, ආපදා කළමනාකරන අංශයට දැනුම්දී තිබෙනවා.

ටී. එම්. එල්. ගුණසේකර මහතා -

පොල්දුව, ලද්දුව, වරාපිටිය , ආඳාවල ආදි ප්‍රදේශවල ජනතාව ඉල්ලන්නේ එකම දෙයයි. කරදිය ගලන සමාන්තර ඇළ සහ ඇනිකට් හදල දෙන්න කියලයි. කළුතර වාරිමාර්ගයටත්, ගොවිජන සේවාවටත්, කෘෂිකර්ම නිලධාරීන්ටත් මේ ගැන දැනුම් දී තිබෙනවා.

මේ පුරන් කුඹුරුවලින් ‍රටට වැඩක් ගන්න පුළුවන්. වැඩපිළිවෙළක් සකස් කර දෙන්නැයි ප්‍රදේශයේ ජනතාව ඉල්ලනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ වලගෙදර ගොවිජනසේවා කාර්යාලයේ නිලධාරි -

ගොඩ බෝග වගා කිරීමේදී ස්ථිර බෝග වගා කරන්න අවසර දෙන්න බැහැ. එහෙම වුණාම ගංවතුර ආදි විශාල ප්‍රශ්න මතුවෙනවා. ඒ හැර අනෙක් දේවල් අපේ අවසරයෙන් වගා කළ හැකියි. ඇළ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අබලන් අමුණු පිළිසකර කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට දැනුම් දී තිබෙනවා. යථා කාලයේදී ඒ ප්‍රශ්නය විසඳගන්න පුලුවන් වේවි.

මීගහතැන්න සමූහ වාර්තාකරු


නව අදහස දක්වන්න

Or log in with...