ඌවේ ගම්වලටත් සංවර්ධනයේ අරුණලු | දිනමිණ

ඌවේ ගම්වලටත් සංවර්ධනයේ අරුණලු

1818 වැනි කාල වකවානුවලදී ඌව පළාතේ ඇතිවු නොසන්සුන්තාවන්ට බියෙන් ඇතැම් පිරිස් ආරක්ෂාව පතා බදුල්ල දිස්ත්‍රික්කයේ ඈත එපිට අති දුෂ්කර ප්‍රදේශ වෙත යාමෙන් ජනාවාස වු ගම්මාන සියල්ල සංවර්ධනය කිරීමේ අරමුණින් 'ඌන සංවර්ධිත ගම්මාන නඟා සිටුවීමේ ව්‍යාපෘතිය' යනුවෙන් නව වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් බදුල්ලේ දී සංවිධාන කරන ලද ප්‍රාදේශීය මාධ්‍ය වේදී වැඩ මුළුවේ දී අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ඉකුත් කාල සීමාවන්හිදී කරන ලද මුලික සමීක්ෂණ අනුව කහටරුප්ප - ගඩා දෙහිගොල්ල, ඌරු මී තැන්න, ලුණුගල-පල්ලේකිරුව, උඩකිරුව, පීස්සගම හපුතලේ -කිරමනාගම, රන්වන් ගුහාව, ඇල්ල, කොස්ගොල්ල, උඩවාඩිය යන ගම්මාන මුල් අදියරට ඇතුළත් කොට ඇති ඇති බවත්, ඒ සඳහා පසුගිය වර්ෂයේ ලැබුණු රු. මිලියන 100න් එම ප්‍රදේශ පැවැති අඩුපාඩුවලින් 50% ක් පමණ නිමා කොට ඇති බවත් එහිදී ‍‍පැහැදිලි කර දුන් ප්‍රධාන අමාත්‍යවරයා, ඌන සංවර්ධිත මෙම ගම්මාන බදුල්ල දිස්ත්‍රික්කයේ දියුණු ගම්මාන තත්ත්වයට නඟා සිටුවීමට හැකි සියලු පියවර ගන්නා බව ද පැවැසීය. ඒ සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති සඳහා වු මුදල් ප්‍රතිපාදනවලින් කිසියම් ප්‍රමාණයක් මෙම වැඩපිළිවෙල සඳහා ද ලබා දෙන්නේ නම් දිගු කලක් හුදකලා වී තිබු එම ගම්මාන සියල්ලට ද ඌව සංවර්ධනයේ අරුණලු උදා වෙනවා යයි ද දසනායක මහතා කීය.

මෙහිදී බදුල්ල දිසා ලේකම් දමයන්තී පරණගමගේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (පාලන) නිර්මලී ප්‍රියංගී කුමාරගේ සහ ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග යන මහත්ම මහත්මීහූ ද විශේෂ දේශන කිහිපයක් ද කළහ.

පස්සර සමුහ උබයරත්න වනසිංහ

නව අදහස දක්වන්න