හාතවිල වාරිමාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇරැඹේ | දිනමිණ

හාතවිල වාරිමාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇරැඹේ

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත, නියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් හාතවිල වාරිමාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් මත්තක ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

මත්තක ගොවි සංවිධානය සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර විජිත සේනාධිරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ මීටර් 1100ක දුරක් වන ඇළ මාර්ගය සැකසීම සිදු කරනු ලබයි. හාතවිල වාරිමාර්ගය දීර්ඝ කාලයක සිට වල් බිහි වී ගොඩවී තිබීම හේතුවෙන් විවිධ පාර්ශවයන් ස්ථිර හා ස්ථිර නොවන බෝග වගා කරමින්, වැට මායිම් පුලුල් කරමින් අනවසර ඉඩම් අල්ලා ගැනීම් කර තිබීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන් දැඩි අසීරුතාවයට ලක් වීමට හේතුවිය.

ඇතැම් පාර්ශවයන් ව්‍යාපෘති නිලධාරීන්ට බැණ වැදීම සහ තර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට ඒ පිළිබඳ නීති ක්‍රියාමාර්ග ගැනීමටද සිදුව ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී හානි වන නිවාස පිවිසුම් මාර්ග නැවත සකස් කිරීම සඳහාද මෙහිදී ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මෙම හාතවිල වාරිමාර්ගය ප්‍රතිසංස්කරණ හේතුවෙන් විශාල ගොවි ජනතාවකට සෙත සැලසේ.

ඇල්පිටිය විශේෂ
ඩී. ජේ. විජේසිංහ

 

නව අදහස දක්වන්න