පවුලෙන් පිට කෙනෙක් ජනපතිවරණයට දාන්න මහින්දගේ කැමැත්තක් නැති බව පෙනෙනවා | දිනමිණ

පවුලෙන් පිට කෙනෙක් ජනපතිවරණයට දාන්න මහින්දගේ කැමැත්තක් නැති බව පෙනෙනවා

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

ඉදිරි ජනාධිපති මැතිවරණයේ දී පවුලෙන් පිට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් නැති බව ඉන්දියාවේ පුවත් පතකට කරන ලද ප්‍රකාශයකින් පෙනී යන්නේ යැයි දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා (12) පැවැසීය.

ගාල්ල ලබුදුව දක්ෂිණ පායේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ඉන්දියාවේ පැවැති සම්මේලනයකට සහභාගී වෙමින් පුවත් පතකට කළ ප්‍රකාශයක් අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කරුණු කීපයක් ගැන කතා කරල තියෙනව. ඉන් එකක් තමයි එතුමාට ඊළඟ මැතිවරණයේ දී ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩ කඩ පිළිබඳ. මේ වන විට ඒ පිළිබඳ රටේ පවතින නීති තර්කයන් පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

ඒ එක්කම ජනපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එතුමා කතා කරනවා. එහි දී එතුමා ඉතා උනන්දුවෙන් කතා කරල තිබුණ රාජපක්ෂ පවුල ගැන නාමල් රාජපක්ෂ මහතාට වයස් සීමාව නිසා තරග කිරීමට නීතියෙන් බාධාවක් ඇති බව එතුමා ප්‍රකාශ කළා.

හැබැයි දෙවැනියට කළ ප්‍රකාශය එතුමා එතුමාගේ සහෝදරයා පිළිබඳව. හැබැයි මා දන්නා පරිදි එතුමාගේ ජීවතුන් අතර සිටින සහෝදරයන් ගණනාවක් ඉන්නවා. ඔවුන් අතරින් කවුද කියා නිශ්චිත නැති වුවත් පුතත් සහෝදරයාත් පිළිබඳ කතා කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතා පවුල පිළිබඳව පමණයි අදහස් කරගෙන ඉන්නේ පවුලෙන් පිට වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳව එතුමාගේ බලාපොරොත්තුවක් නැති බව තමයි ඒ කතාවෙන් වැටහී යන්නේ නමුත් ඒ සහෝදරයාට ජනතාව කැමතිද පක්ෂය එකඟද කියන එක ගැනත් කරුණු ප්‍රකශ වෙලා තිබුණේ නැහැ.

 

නව අදහස දක්වන්න