කල්දානවා මඟහරිනවා ඇඟටම ආවොත් සලකල බලනවා | දිනමිණ


 

කල්දානවා මඟහරිනවා ඇඟටම ආවොත් සලකල බලනවා

දුමින්ද සම්පත්
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා

ජනබල උද්ඝෝෂණයෙන් ආණ්ඩුවට ලොකු බලපෑමක් සිදුවූ බවට ඒකාබද්ධය කරන ප්‍රකාශය, ඒකාබද්ධයේ උද්ඝෝෂණයට එක්වූ ශ්‍රීලනිප පිරිස කරන ප්‍රකාශ, ජනබලයට එක්වූ පිරිස සම්බන්ධයෙන් ශ්‍රීලනිප ගන්නා ක්‍රියාමාර්ග, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා මොනරාගලට ලැබුණු ප්‍රතිලාභ, කිරි ගොවියන්ගේ ගැටලු සහ ආනයනය කළ කිරි ගවයන් සම්බන්ධව පවතින විවිධ මත ආදියට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මැති හමුවට එක්වේ.

* ඒකාබද්ධය කොළඹ ආවේ ඇතුළේ පිපිරුම වහගන්න
* අපි කරපු වැඩ කියන්නත් මොන ක්‍රමයක් හරි තියෙන්න ඕනනෙ
* ඒකාබද්ධෙ කළ එකම අභියෝගය මූලස්ථානයට හූ කියපු එක
* මහින්ද යුගයේ පාර කාපට් වුණා අපි කර්පට් වුණා

ජනබලය කොළඹට විරෝධතාව හරහා ආණ්ඩුවට ලොකු බලපෑමක් කළ බව ඒකාබද්ධය කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අපි බලාපොරොත්තු වුණේ 53 හර්තාලය වගේ මහපාරේ, රේල්පාරෙ උයාගෙන කාල කොළඹ පදිංචිවෙලා ඉඳියි කියල. අවසාන මොහොතෙත් මහින්ද මහත්තය කිව්වෙ අද රෑ පහන්වනතුරු කියල; එතුමගෙ කතාවෙන් පස්සෙ ඔක්කොම පිටවෙලා ගියා. රෑ 12 වෙනකොට කවුරුවත් නැහැ. ඒකාබද්ධෙ එක්සත්කම නැතිවෙලා තිබුණෙ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය, බැසිල් මහත්තය, මහින්ද මහත්තය වෙන වෙනම ගියේ. වෙල්ගම මහත්තයයි මහින්දානන්ද මහත්තයයි හිටියෙ ගැටුමක. මේ බෙදීම් නවත්තගන්න තමයි ඕක කළේ. පළාත් පාලන ආයතනවල කැළඹිලි තිබුණා. සභාපති පදවි දීමෙදි අර්බුද ඇතිවුණා. මේ ඔක්කොම එකතුවෙලා ඒකාබද්ධෙ පිපිරීම් ඇතිවුණා. ඒව වළක්වාගන්න තමයි ඔය මෙහෙයුම කළේ. නාමල්ව කරලියට ගන්නත් ඕන වුණා. විශේෂ අධිකරණයට එක එක්කෙනා ගේනවා. අපේ අතේ ජනබලය තියෙන්නෙ කියල පෙන්නල ඒවට බලපෑම් කරන්නයි වුවමනා වුණේ. ඒත් ඒක අසාර්ථක වුණා.

දවල් 12 වෙනකොට මුළු කොළඹම කාර්යාල වැහුව. මුළු රාජ්‍ය සේවයම අකර්මණ්‍ය වුණා. මේ අනුව බැලුවොත් පොහොට්ටුව මුළු කොළඹම ආක්‍රමණය කළා නේද?

ඔය මෙහෙයුම හින්ද ජනතාව ලොකු අපහසුවකට පත්වුණා. පාසලට දරුවො එව්වෙ නැහැ. වාහන නැතිවෙයි, පාරවල් අවහිර වෙයි කියල දෙමව්පියො හිතුවා. එදිනෙදා හරි හම්බකරන මිනිහගෙ ජීවිකාව නැතිවුණා. කොළඹ හර්තාල් ඇතිවෙයි කියල බයවෙච්ච ජනතාව පසුබැස්සා. නැතුව මේ වැඩසටහනට සහාය දීල නෙවෙයි. ජනතාව පීඩනයට පත්වෙන්න කැමති නැහැ.

ජනබලය කොළඹට ගෙන ඒම හරහා පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලොකු අභියෝගයක් කළා නේද?

පක්ෂ කාර්යාලය ඉදිරිපිටින් යනකොට හූ කියපු එක තමයි කරපු ලොකුම අභියෝගය. හූ කියපු අයගෙ මුල හොඳ නැතිකම තමයි ඒ පෙන්නුවෙ. මේ පක්ෂය රටේ ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරපු පක්ෂයක්. පක්ෂ කාර්යාලය දේවස්ථානයක් වගේ තැනක්. ඔය අය ඔයිට කලිනුත් ඔය දේම කළා. අපේ පක්ෂයට අභියෝගයක් නැහැ. අපි ඉන්න තැන අපි දන්නවා. අපි මනෝමූල තත්ත්වවල නැහැ. සිහින දකින හැමෝගෙම සිහින සඵලවෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍යයි. රිමෝට් කොන්ට්‍රෝල් එක තියෙන්නෙ අපේ අතේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඉඳගෙන, වෙනත් පක්ෂ සංවර්ධනය කරන්න දායකත්වය සපයන අය ගැන මොකද කියන්නෙ?

මේ පක්ෂයෙ උපන්ගෙයි පොඩි කරුමයක් තියෙනවා. චන්ද්‍රිකා, අනුර, මෛත්‍රීපාල සේනානායක, ස්ටැන්ලි තිලකරත්න, කැකිරාවෙ ජිනදාස, නන්ද එල්ලාවල ‍වගේ අය හිටිය. අපේ පක්ෂය ආණ්ඩුකරනකොට ඒ ආණ්ඩු දුර්වල කරන්න පක්ෂයෙම අය කටයුතු කළා. වක්‍රව හෝ කුමන්ත්‍රණවලට අහුවුණා. දැනුත් එහෙමයි. ඒත් මේ අය පැහැදිලි පිරිසුදු අපේ පාක්ෂිකයො. ඒත් ආවේගශිලීව කටයුතු කරන පිරිසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ එකමතයක ඉන්න තැනක් නෙවෙයි. මේ කුඩේ යටට ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒ හින්ද තමයි මේ කට්ටියට විරුද්ධව කටයුතු නොකරන්නෙ. මම විශ්වාස කරන්නෙ දැන් මේ අයට මොකක්හරි කරන්න ඕන කියලයි.

මේ අය වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නව කියල 2015 ඉඳලම කිව්වත් ගත්තු විනය ක්‍රියාමාර්ගයක් නැහැ කියලයි කියන්නෙ?

ඇත්ත... ඒක මම පිළිගන්නවා. මේක තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්ති. කල්දැමීම, මඟහැරීම, ඇඟටම ආවොත් සලකාබැලීම. මේ වගේ සිද්ධි මහා ලොකුවට ගණන් අරගෙන දැඩි විනය ක්‍රියාමාර්ග අරගෙන, විනය නීති දාල මහා විනයානුකූල පියවර ගන්න දේශපාලන පක්ෂයක් නෙවෙයි ශ්‍රීලනිපය. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන සමාජවාදී කඳවුර නියෝජනය කරන ජනහිතකාමී කණ්ඩායම්, දේශප්‍රේමී ජාති හිතෛශීන්ට එකතු වෙන්න පුළුවන් තැනක් මේ පක්ෂය. සමහරු පන්සලට පෝයට එන්නෙත් නැහැ. හැබැයි පාංශුකූලෙට එනවා. ඒ වගේ තමයි අපේ පක්ෂයත්.

ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයට දැන් කට්ටිය අභියෝග කරනවා. පුළුවන්නම් විනය ක්‍රියාමාර්ග අරගෙන පෙන්වන්න කියලත් කියනවා?

ඔය කට්ටිය ජනාධිපතිතුමා ගැන හොඳටම දන්නවා. එතුම හිතල, දුරදිග බලලා ක්‍රියාමාර්ග ගන්න නායකයෙක් හැටියට දැඩි තීරණ ගන්නෙ නැහැ කියලත් දන්නවා. මෙතන තියෙන්නෙ මතවාදී ගැටුමක්. ඒක සමනය වුණාම ඔය කට්ටිය ආපහු එයි.

මහින්ද මෛත්‍රී එකතු කරන්නයි අපේ උත්සාහය කියලත් එස්. බී. දිසානායක මහත්තය කියල තිබුණා?

මහින්ද මහත්තයම කියල තිබු‍ණනෙ එහෙම එකක් නැහැ කියල. එතකොට එස්. බී. කියන්නෙ බොරුනෙ.

කොළඹ වටලන්න ජනාධිපතිතුමාගෙන් සහාය ලැබුණා කියල එස්. බී. දිසානායක මහත්තය කිව්වා?

ජනාධිපතිකමේ ඉඳගෙන යටගේම් ගහන්නෙ මොකටද? මම මට ගහගන්නව ද? එහෙම එකක් නැහැ. ඒක බොරු.

එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුලට තමයි ප්‍රධාන විරෝධතාව ගොනුවෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මේ ගැන ඔබ මොකද කියන්නෙ?

එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ස්ථීර ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. සුළු ජාතික ඡන්දත් තියෙනවා. මේවට අපිත් කතාකළ යුතුයි. අපි ඒවට අභියෝග කරල වැඩක් නැහැ. අපි තනි ආණ්ඩුවක් හදනවනම් එක්සත් ජාතික පාක්ෂිකයාටත් කතා කරන්න ඕන. ඔවුන් දිනාගන්නෙ නැතුව තියෙන ආණ්ඩුව කඩාගෙන ගියොත් වෙන්නෙ වැට කඩාගෙන ගියා වගේ වැඩක්. වලං කඩේට ගොනා පැන්න වගේ වැඩක් කරල තේරුමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරන්න එක්සත් ජාතික පාක්ෂිකයො කැපවීමක් කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ආණ්ඩුව අවසන් වෙනකොට ඒ අයව දිනාගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයවත් දිනාගන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලය ගත්තෙ පක්ෂයක් තිබිල නෙවෙයි. නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් පත්වෙච්ච පළවෙනි වතාව. පක්ෂය වැදගත් වුණේ නැහැ. එතුමා ඊළඟ පියවරට යන්න ඕන එතුමට ඡන්දෙ දීපු හැමෝවම සාක්කුවෙ දාගෙන, ඒක එතුමා කරයි. කට්ටිය හදන්නෙ ඒකට ලොකු හානියක් කරන්න. ඒව කුමන්ත්‍රණ.

සඟරුවනට පහරදීල - රණවිරුවෝ හිරේදාල මගෙ මව්බිම විකුණනවා - තුට්ටුදෙකට විකුණනවා. මේ ‍උද්ඝෝෂණයෙ සටන් පාඨයක්. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

යුද නීතියට, රටේ නීතියට විරුද්ධව වැඩ කළානම් දඬුවම් ලැබිය යුතුයි. තාජුඩීන් මරපු එක, ලසන්ත වික්‍රමතුංග මරපු එක රණවිරු ක්‍රියාවක්ද? ඒකාලෙ දාපු නඩුවල තීන්දු තමයි දැන් එන්නෙ. දේශපාලන පක්ෂවලට කඩේ යන එක නතර විය යුතුයි. මතයක් දරන්න, දේශපාලනය කරන්න, පක්ෂයකට වැඩ කරන්න මේ රටේ නිදහසක් තිබිය යුතුයි. ඒ නිදහස තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතෙ මේ ආරම්භ කරල තියෙන්නෙ. අපි මේ ගමනට පස්සෙ එකතුවෙච්ච අය. මුලින් හිටපු අය අපට වඩා හොඳට මේ වැඩේ දන්නවා. උතුරටත් දකුණටත් සාධාරණ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම ආණ්ඩුවෙ වැඩපිළිවෙළ. ආරක්ෂක අමාත්‍යංශය තිබුණු ඉඩම සින්නක්කර වික්කෙ මහින්දගෙ ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙ බන්ධනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමති මම. හැම හිරගෙදරකටම මම ගියා. හැම‍ කොටි සිරකරුවෙක් එක්කම මම කතා කළා. ඒ අයගෙ පවුල්වල අයත් එක්කත් කතා කළා. ඔවුන් මගෙන් ඉල්ලුවෙ මොකක්ද? “අපි වගේ වැරදි කරපු අය පාර්ලිමේන්තුවෙ ඇමතිකම් දරනවා. කරුණාකරල අපේ නඩු අහන්න, වැරදි කරලනම් දඬුවම් කරන්න, මරලදානවනම් මරල දාන්න, මෙහෙම හිරකරගෙන ඉන්න එපා” ඒ කාලෙ තමයි විශේෂ අධිකරණ කතාව ආවෙ. අද නෙවෙයි, එහෙම අධිකරණයකින් නඩුදාන්න තමයි එදා කතා වුණේ. ඒ කිසිවක් නොකර කිසිම නඩු විභාගයකින් තොරව, කොටි සිරකරුවො එකළොස්දහසක් නිදහස් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. අද රණවිරුවො ගැන කතා කරන්නෙ මේ අය. බොරු චෝදනා හොඳ නැහැ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මුල්ම වැඩසටහන පැවැත්වුණේ මොනරාගල. මේ වැඩසටහන හරහා මොනරාගලට ලැබුණෙ මොනවද?

මොනරාගල, හම්බන්තොට සංවර්ධනය කියල එදා ආණ්ඩුවෙන් අපිට ලැබුණෙ පාරවල් ටිකට කාපට් තමයි. කාපට් වුණාට අපි කර්පට් වෙලා හිටියෙ. මොනරාගල විසිපන්දහසකට වැසිකිළි කැසිකිළි තිබුණෙ නැහැ කිව්වම, අපි රෙද්ද උස්සන් කැලේට දිව්ව මිනිස්සු. මේ වැඩෙන් විසිපන්දහසකට වැසිකිළි කැසිකිළි හම්බවුණානෙ. ඒ මදිද? වෙන්කරන මුදල් සාධාරණව බෙදන්න ඕන. අපි ඒ ගැන බලාගෙන ඉන්නෙ. නිවාස ආධාර එක්සත් ජාතික පක්ෂයට විතරක් දීල ඡන්දෙ දිනන්න පුළුවන් කියල යූ. එන්. පී. එක හිතනවනම් ඒක මිථ්‍යාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂයක්. මේ යූ. එන්. පී. - ශ්‍රී ලංකා කාරයො සතුටු කරන වෙලාවක් නෙවෙයි. සුදුස්සාට සුදුසු දේ දෙන්න ඕන.

සමහරු කියන්නෙ මේක සැණකෙළියක්, දැයට කිරුළෙම දිගුවක්, වෙනසක් නැහැ කියලයි?

සැණකෙළියක් නැතත් අපි කරපු වැඩ ගැන කියන්නත් මොන කෙළියක් හරි තියෙන්නත් එපැයි. මේ අවුරුදු තුනහමාරෙ අපි කරපු වැඩ ගැන ඔය එක ටීවී එහෙක, පත්තරේක දැම්මද? නැහැ! අපි කතාකරන එකක වුණත් දාන්නෙ ඇනෙන කෑල්ලක්නෙ. රුපියල් කෝටි ගණන් බිලියන ගණන් වියදම කරල වැඩක් කරහම ඒක විවෘත කරන එක දාන්නෙ නැහැ. ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයගෙයි විවෘත කරන ඒව විතරයි මේ රටේ මාධ්‍ය දාන්නෙ. අපේ කතාව දානව. ඒත් අපේ වැඩේ දාන්නෙ නැහැ. අපි ඔය වොයිස්කට් දේශපාලනයට නැහැ. ව්‍යාපාරිකයො උත්සනව, කප්පම් ගන්නව, මුස්ලිම් මිනිස්සු උත්සනව, මේව අපි දැක්කනෙ මහත්තයො... මේව බොරු නෙවෙයිනෙ. ඒකාලෙ කුඩු රජවරු හිටියෙ. දැන් කුඩු අල්ලනවා. මේ අය බයිලනෙ ගහන්නෙ.

ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරි ගවයන්ට BVD විෂබීජය තිබුණු බව කියනවා. මේ තත්ත්වය යටතේ නැවත වතාවක් ඒ රටෙන්ම කිරි ගවයන් ගෙන්වන්නේ ඇයි?

ඕව දේශීය කිරි කර්මාන්තය දියුණුවේගෙන එනකොට ඒක දරාගන්න බැරිවුන් කියන කතා. ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ රටේ දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න හදනකොට තමයි මේ අයට ඩෝං ගිහින් තියෙන්නෙ. සමහර දේශපාලන පක්ෂවලට ඔය සමාගම්වලින් උදව් කරනවා. ඔය කිරි හරක් වැඩේ මම පටන්ගත්තු දේකුත් නෙවෙයි. මගේ කාලෙ වෙච්ච දේකුත් නෙවෙයි. ඕක පටන්ගත්තෙ බැසිල් මහත්තය. ඒක හොඳ වැඩක්. ඔස්ට්‍රේලියාවෙදි අවශ්‍ය පරීක්ෂණ කරල, සෞඛ්‍ය සහතික අරගෙන, ලංකාවෙ සත්ත්ව නිරෝදන නිලධාරීන්ගෙ නිර්දේශත් ඇතුවයි මේ සතුන් ගෙන්වල තියෙන්නෙ. ඒ ගෙනාපු කිසිම සතෙකුට ලෙඩක් නැහැ. මිනිස්සුන්ට බෝවෙන අක්මා පැතැල්ල ආසාධන රෝගය නැති බව සහතික කරල තියෙනවා. BVD තත්ත්වය පැටව් කීපදෙනකුට හැදිල ඒවට බෙහෙත් කරල තියෙනවා. රාජ්‍ය දෙකක් ගහපු, මහා භාණ්ඩාගාරෙන් සල්ලි ගෙවපු ගිවිසුමක්. මේව එහෙම නතර කරන්න බැහැ. ඕස්ට්‍රේලියාවෙන් මස් ගේනකොට ඕව බලනවද?

විදේශීය කිරිපිටි ගෙන්වීම නතර කළයුතු බව ඔබ කියා තිබුණා. ලංකාවෙ පරිභෝජනයට දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නැති තත්ත්වයක ඔබේ මේ කතාව කෙතරම් දුරට යථාර්ථයක් වෙයි ද?

පිටරටින් ගේන කිරි පැකට් එකේ මොනවද තියෙන්නෙ? හරක් තෙල්, ඌරු තෙල්, ලැක්ටෝස්, කෘත්‍රිම පවුඩර්, මෙලමයින් මේ වගේ විෂ කොච්චර තියෙනවද? මෙලමයින් තියෙනව කියපු සෞඛ්‍ය ලේකම් ඒ සමාගමේ උපදේශක වෙලා. විකිරණශිලී ද්‍රව්‍ය තියෙන කිරිපිටි ගැන කතා නැත්තෙ ඇයි? මේ අපරාධ ගැන කතා කරන්න බැරි, උන්ගෙ කටවල්වල පුත්තලම් හොරි ද? දොස්තරල කියන්නෙ දියර කිරිවල සෙම ඒව බොන්න එපයි කියල. අපේ යෝගට් එක තියාගන්න පුළුවන් දවස් 15යි. සමහර යෝගට් මාස 3ක් තියාගන්න පුළුවන්, මේව හොයන්නෙ කව්ද? මම එනකොට මිල‍්කෝ එකේ දවසක වෙළඳාම මිලියන 27යි. දැන් මිලියන 100ක්. මෙතන හිටියෙ මේව කඩාකප්පල් කරන නිලධාරීන්, ඒ අයගෙ පඩිය ලක්ෂ 2යි 3යි. බහුජාතික සමාගම් හැමදාම කළේ අපේ වැඩ කඩාකප්පල් කරපු එක. ඒවයෙ ප්‍රබල හස්ත මෙහෙ ක්‍රියාත්මක වුණා. මම ඒ අත් කැපුවා. මටත් ඔය කොම්පැණිවලින් කතා කළා.

කිරි ගොවියන්ගෙ ගැටලු අහස උසට. හැමදාම ඔවුන්ට අසාධාරණ සිද්ධ වෙන බවයි කියන්නෙ. නියමිත මිලක් ලැබෙන්නෙ නැහැ කියලත් කියනවා?

අපි මාස තුනක් කල් ඉල්ලුවා. මම එනකොට මාස තුනක සල්ලි ගෙවල නැහැ. දැන් මම සල්ලි ගෙවාගෙන යනවා. කිරි ලීටරේට රුපියල් 70ක් දෙනවා. මගේ ඉලක්කය රුපියල් 80 වක්වත් දෙන්න. තව කිරි පැක්ටරි හයකට කැබිනට් අනුමැතිය ගත්තා. අලුත් තාක්ෂණය උපයෝගීකරගෙන තව දියුණු කරනවා. සාමාන්‍ය කිරි ගොවියට තව පහසුකම් දෙනවා.

ඡායා-සිරිපාල හල්වල

නව අදහස දක්වන්න