මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට | දිනමිණ

මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට

අඩසියවසකට ආසන්න කාලයක් පුරා සෙත්මඟ සිඟිති සෙවණට නායකත්වය දෙමින් ළමා ළපැටියන්ගේ පෙරමඟ වර්ණ ගන්වන්නට දිවිය කැපකළ හර්ෂණි ටීචර්ට තමා මෙතුවක් රැඳි හුන් වෛවර්ණ විෂය ක්ෂේත්‍රයේ හෙට දවස පෙනෙන්නේ බාගෙට පාට ගෑ එහෙන් මෙහෙන් එල්ලා වැටෙන මැයක් නැති (no title) අඩ සිතුවමක් සේය.

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
තුඩින් තුඩේ රැව් නැඟේ
කුරුලු ගී ගායනා..........

උදෑසන පිපි පිවිතුරු මල් ගොන්නක් බඳු ළපැටි ළපැටියෝ තාලයට ගයති. අඩ කවාකාර ඒ ළමා පේළිය මැද තරුණ විය ඉක්ම වුවද පැහැපත් සුන්දර කතකි. ඒ ඔවුන්ගේ ගුරුවරිය යි. නමින් හර්ෂණී නවරත්න වන්නී ය. කිරිබත්ගොඩ සෙත්මඟ පෙර පාසලේ නිර්මාතෘ හා විදුහල්පතිනිය යි. කොළඹ නුවර පාරේ නිරන්තර වාහන කන්කරච්චලය පරයා සෑම අරුණෝදයක ම උස් ව නැඟෙන මේ සුරතල් ළමා ගී ගායනය කිරිබත්ගොඩ හා ඒ අවට ජනීජනයා ගේ සවනට හොඳින් හුරු පුරුය. හැම උදයෙක ම සෙත් පිරිතක් සේ නින්නාද ව, අසල්වැසි නෙත්සිත් පහන් කළ ඒ නිසාවෙන් ම ඔවුන් හද පත්ලෙන් ලොබ බැඳි ඒ ළපැටි ගී හඬ තව නොබෝ දිනෙකින් වියැකී යාමට නියමිතය. දුක හිතෙන අළු පැහැති ඒ ආරංචියට හේතුව අඩසිය වසක ආසන්න කාලයක් හරියට ම කීවොත් වසර 48ක් මුළුල්ලේ කිරිබත්ගොඩ හා ඒ අවට සිඟිත්තන්ට සිඟිත්තියන්ට ජීවිතයේ මුල් බස කියා දුන් සෙත්මඟ සිඟිති සෙවණේ දොර කවුළු අගුළුලන්නට හර්ෂණී ටීචර් තීන්දු කිරීම යි. අප පසුගිය උදෑසන සෙත්මඟට ගොඩ වුණේ ඇයගේ ඒ දැඩි තීරණයට හේතු කාරණා කුමක්දැයි විමසනු රිසියෙනි.

‘වියපත් වන විට සියලු බැඳීම් අත්හළ යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. මොකද කවදා හෝ දවසක අපට මේ සියල්ල අත්හරින්න වෙනවා. ඒක තමයි අප අදහන දහමේ හරය. අත්හැරීම තමයි සැනසීම. නිවන...’

ඇයගේ පිළිතුර බෙහෙවින් ධර්මානුකූලය.

අපේ කථා නායිකාව පෙර පාසල් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නව යොවුන් වියේ දීම ය. ඒ සඳහා ඇයට මඟ කියා දුන්නී තම ගුරුවරියක සේ ම ඥාතිවරියක ද වූ ලීලා ජයසේකර මැතිනිය යි. අතිදක්ෂ ළමා වි‍ශේෂඥවරියක ලෙස ප්‍රකට ඇය මේ යුගයේ සර්වෝදය ව්‍යාපාරය හා එක් ව රට පුරා පෙර පාසල් ව්‍යාප්ත කරමින් සිටියා ය.

‘නියමු සේවිකාවක හැටියට සර්වෝදය හා එක් ව සිටි කාලය මට සුවිශේෂයි. ලීලා මැඩම් යටතේ සර්වෝදය ළමා හා ප්‍රජා සංවර්ධන වැඩසටහන්, වතුවල දාරකාගාර සේවිකාවන් පුහුණු කිරීම, ළමා හා මාතෘ සෞඛ්‍ය වැඩසටහන් ආදියට සහසම්බන්‍‍ධ වීමෙන් ජීවිතයට හොඳ අත්දැකීම් ගොන්නක් එකතු කර ගත්තා. ජාත්‍යන්තර සම්මේලන හා පුහුණු වැඩසටහන් රැසකට එක්වීමේ අවස්ථාව උදා වුණා.’ වර්ණවත් අතීතයකට එබිකම් කරන හෙයින්දෝ ඇගේ දෑස් ප්‍රීතියෙන් බබළයි.

පෙර පාසල් ගුරුවරිය දෙවැනි මවක් බඳුය. ඒ මවු ඇකයෙන් මොහොතකට මිදෙන ළදරුවාගේ සෙනෙහස, රැකවරණය, පෝෂණය හා සමාජානුයෝජනය ද අධ්‍යාපනයට පිවිසුම් මඟ තනන වගකීම ද ඇය අත බැවිනි. ඒ සඳහා පෙර පාසල් ගුරුවරිය නිසැකයෙන් ම ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් විය යුතුය. ළමා මනස-ළමා අධ්‍යාපන ක්‍රම හා නිර්දිෂ්ට සියලු සුදුසුකම් සපුරා සිටිය යුතුය. මන්දයත් මානව ජීවිතයේ ඉතා සංවේදී අවධියක් වන ළමා ළපැටියන්ගේ මුල් ළමා විය සංවර්ධනය වගකීම් සහගත ව ඉටු කළ යුතු බැවිනි. ඒ අතින් හර්ෂිණි ටීචර් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම යහපත් ගුරු මෑණි කෙනෙකි. පෙර පාසල් ගුරුවරියන්ට ද උපදේශිකාවකි. ඊට අමතරව ඇය ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවිකාවකි. බෞද්ධ කාන්තා සංවිධාන, වැඩිහිටි නිවාස, ළමා නිවාස වැඩකටයුතු ඇයගේ පොදු සේවා අතර කැපී පෙනේ. දරුවන්ට ජීවිතයේ පෙර මඟ කියා දීමේ කාර්යයෙන් නොනැවතී පෑන අතට ගත් හර්ෂිණි ටීචර් විසින් දැයට දායාද කළ කෘති ගණනාවෙකි. ඒ සියල්ල රටේ අනාගතය බාර ගැනීමට සුදානම් ව සිටින දුවා දරුවන් වෙනුවෙනි. නැතහොත් ඔවුනගේ ඒ මඟ පාට කරන්නට දහදිය කඳුළු වගුරන දයාබර ගුරු මවුවරුන්ගේ දැනුම වෙනුවෙනි.

අඩසියවසකට ආසන්න කාලයක් පුරා සෙත්මඟ සිඟිති සෙවණට නායකත්වය දෙමින් ළමා ළපැටියන්ගේ පෙරමඟ වර්ණ ගන්වන්නට දිවිය කැපකළ හර්ෂණි ටීචර්ට තමා මෙතුවක් රැඳි හුන් වෛවර්ණ විෂය ක්ෂේත්‍රයේ හෙට දවස පෙනෙන්නේ බාගෙට පාට ගෑ එහෙන් මෙහෙන් එල්ලා වැටෙන මැයක් නැති (no title) අඩ සිතුවමක් සේය. ළමා පෞරුෂය සවිබල ගැන්වීමෙහිලා මහඟු මෙහෙවරක් ඉටු කළ යුතු පෙර පාසල්, වර්තමානයේ කඩපිල් සේ හන්දියක් හන්දියක් ගා‍ණේ ප්‍රමිතියෙන් තොරව බිහිවීමත් බොහෝ අවස්ථාවල විශේෂයෙන් ගම්බද ප්‍රදේශයන්හි නිසි සුදුසුකම් සපුරා නොමැති තරුණ කාන්තාවන් පෙර පාසල් ගුරුවරියන් සේ සේවයේ යෙදවීමත් මාරියා මොන්ටිසෝරි මැතිනියගේ පූර්ව ළමාවිය අධ්‍යාපන පරමාර්ථවලට පටහැනි බවයි ඇගේ අදහස.

‘මට තිබුණා මේ පෙර පාසල වෙන කෙනෙකුට කර ගෙන යන්න ඉඩ දෙන්න. ඒත් එහෙම බාර දෙන්නේ කාට ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකයි මම මේ කටයුත්තෙන් මුළුමනින් ම නිදහස් වෙන්න හිතුවේ. මේක ඉක්මන් තීරණයක් නෙමෙයි. අවුරුදු ගණනක් තිස්සේ හොඳින් හිතලා මතලා අමාරුවෙන් ගත්තු තීරණයක්. සමහර විට මං ජීවිතයේ ගත්තු ඉතා අමාරු ම තීන්දුව වෙන්න ඇති. කලෙකට පෙර මේ තීරණයට ඇවිත් ඒක ආපස්සට ගත් අවස්ථා තිබුණා. ඒත් මෙදා ඒක වෙන්නේ නැහැ.’

හර්ෂිණි ටීචර්ගේ හඬ පෞරුෂයෙහි ඇත්තේ ස්ථිරසාර බවක්. අපි ඇගේ ඉදිරි දිවි මඟ වර්ණවත් වේවායි පතමු.

සම්පත් දිප්පිටිගොඩ
සේයා-ලයනල් පී. පෙරේරා කැලණිය වි‍ශේෂ


නව අදහස දක්වන්න

Or log in with...