ඊළඟ සටන උපාධි සහතිකයට | දිනමිණ

ඊළඟ සටන උපාධි සහතිකයට

මඟ හැරුණු මිනිසා 75

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු කරන කාලේ අපි කිසි කෙනෙක් පුද්ගලික ධනයක් එක් රැස්කරගෙන හිටියෙ නැහැ. මේ නිසා පක්ෂයෙන් අයින් වුණාම අනෙක් සියලු දෙනාටම වගේ මටත් ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්නය පැන නැඟුණා. මට මගේ දේශපාලන පසුබිම නිසාත්, උපාධි සහතිකය මා ළඟ නොතිබුණ නිසාත් රැකියාවක් ලබා ගැනීමට දුෂ්කර වනු ඇතැයි මම කල්පනා කළා.

ලයනල් බෝපගේ සිය ඉංජිනේරු උපාධිය අවසන් කළේ සිරගෙයි සිටියදීය. එහෙත් ඔහුගේ දේශපාලන කැපවීම නිසා ඔහු උපාධි සහතිකය ලබා ගන්නට කටයුතු කර තිබුණේ නැත. පක්ෂයෙන් ඉවත් වූ පසු ඔහුට ජීවත් වෙන්නට මාර්ගයක් සොයා ගත යුතු වුවද එය දුෂ්කර කරුණක් විය. රැකියාවක් ලබා ගැනීම සඳහා තම උපාධි සහතිකය ලබා ගැනීම අවශ්‍ය විය. එය ලබා ගැනීම සඳහා ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිවරයා හමු විය.

“මගේ ඉල්ලීම ලිඛිත ව ඉදිරිපත් කළ යුතු බව ලේඛකාධිවරයා මට කිව්වා. මම ඔහුගේ කාර්යාල‌යේ දී ම ලිපියක් ලියා බාර දුන්නා. ඒ ගැන සොයා බලා මට දන්වන බව කිව්වා. ලංකාවේ මේ වගේ කරුණු ලැබුණු බව දන්වන්නවත් ඒවාට පිළිතුරු ලබා දෙන්නටවත් නිශ්චිත කාල සීමාවල් එදා තිබු‍ණෙත් නැහැ. අදත් නැහැ. මම නැවත වතාවක් ලේඛකාධිවරයා හමු වුණා මතකයි. මම විශ්ව විද්‍යාලයේ සිටිද් දී නේවාසිකාගාර ගාස්තු ගෙවා නැති නිසා මට උපාධි සහතිකය ලබා දෙන්නට නොහැකි බව ඔහු කීවා. මට විශ්ව විද්‍යාලයේ ඉන්දෙද් දී විශ්ව විද්‍යාලයට අය විය යුතු මුදල් සියල්ලම ගෙවා තිබුණ බව මට පැහැදිලිව මතක තිබුණා. ඒ නිසා ඒ මුදල යළි ගෙවන්නට අවශ්‍ය වු‍ණේ නැහැ. මම ලේඛකාධිවරයාට මේ බව පැහැදිලි කරලා, සිටියා මගෙන් එවැනි මුදලක් අය වෙන්නට තිබෙන බවට ඔවුන් සතුව තිබෙන ලියවිලි බලන්නට මට අවශ්‍ය බව කීවා. ඒ පිළිබඳව මට දන්වන බව ඔහු නැවතත් කිව්වා. නමුත් එවැන්නක් සිදු වූ‍ණේ නැහැ.

“ඔවුන් මේ සම්බන්ධයෙන් කට්ටි පනින්නට උත්සාහ කරන බව මට තේරුණා. මේ අනුව මම ඒ කාලෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්න මහතාට දැන්වුවා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතාගේ සොහොයුරා. මට මතක අන්දමට ඔහුගෙන් පිළිතුරක් ලැබු‍‍ණෙත් නැහැ. ඒ නිසා මම ස්ටැන්ලි කල්පගේ මහතාට ලිව්වා. ඔහු තමයි 1977 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවට පත් කරපු පළමු වන සභාපතිවරයා. ඔහු හමුවන ලෙස මට දන්වා එවා තිබුණා. ඒ හමුවීමෙන් පසුවත් කිසිදු පලක් වු‍ණේ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ඇමතිවරයා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාමයි. මම අවසානයේ දී ඔහුට ලිපියක් ලිව්වා, මම අවසාන ඉංජිනේරු විභාගයෙන් සමත් වුණා. නමුත් මගේ උපාධි සහතිකය ලබා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති නිසා කරුණාකර එය ලබා දෙන්නට කටයුතු පිළියෙළ කර දෙන මෙන්.

“මගේ ලිපිය ලැබුණ බවත් එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරමින් සිටින බවටත් ඒ ලිපියට මට පිළිතුරක් එවා තිබුණා. මගේ උපාධි සහතිකය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ඩබ්. එම්. පී. බී. මැණික්දිවෙල මහතා හමුවන ලෙස ඊට දිනකට හෝ දෙකකට පසුව මට පණිවුඩයක් එවා තිබුණා. මම ඔහුගේ කාර්යාල‌යේ දී ඔහු හමුවුණාම බො‍හෝම කුළුපග අන්දමට කතා කරමින් ඉඳල “ඔයා ඉන්න ඕන අපිත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ. එහෙම වුණා නම් ඔය වගේ කරදර නැහැ”කියලා කිව්වා. මම ඒ ගැන කතා කරන්නෙ නැතිව උපාධි සහතිකය ලබා දෙන්නට කටයුතු කරන ලෙස කියා සිටියා. කාර්යාලයෙන් පිට වී එන කොට ඔහු ඒ ගැන බලන්නම් කියල කිව්වා. නමුත් ඒ වැඩේ කෙරු‍ණෙ නැහැ. මට මතක අන්දමට 1984 අග පමණ මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති පදවියෙන් ඉවත් වෙලා ඇමෙරිකාවේ මාරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන්නට ගියා. පුදුමයක මහත! ඔහු පිටවෙලා දින දෙකකින් ඔහුගේ නමින් මා වෙත මගේ උපාධි සහතිකය තැපැල් කර එවා තිබුණා.”

“ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු කරන කාලේ අපි කිසි කෙනෙක් පුද්ගලික ධනයක් එක් රැස් කර ගෙන හිටියෙ නැහැ. මේ නිසා පක්ෂයෙන් අයින් වුණාම අනෙක් සියලු දෙනාටම වගේ මටත් ජීවිතය පවත්වා ගෙන යාම පිළිබඳ ප්‍රශ්නය පැන නැඟුණා. මට මගේ දේශපාලන පසුබිම නිසාත් උපාධි සහතිකය මා ළඟ නොතිබුණ නිසාත් රැකියාවක් ලබා ගැනීමට දුෂ්කර වනු ඇතැයි මම කල්පනා කළා. චිත්‍රා සහෝදරිය තිස්ස බාලසූරිය පියතුමා අධ්‍යක්ෂකවරයා ව සිටි මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ කටයුතු කර තිබුණත්, දේශපාලනඥයකු හා විවාහ වීම නිසා තව දුරටත් එතැන සේවය කරන්නට ඇයට නොහැකි වුණා. අප දෙදෙනා මේ ගැන කල්පනා කරන වෙලාවෙ මම ඉංජිනේරු සංස්ථාවේ කාර්මික සහකරුවකු වශයෙන් අවිස්සාවේල්ල කොස්ගම සාලාවේ තුනී ලෑලි සංස්ථා වැඩ බිමේ වැඩ කටයුතු කරන කාලයේ මා නැවතී සිටි කාමරයේ මගේ සගයා හැටියට හිටපු කෙනෙක් මගේ කල්පනාවට ආවා.

“ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ම විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරූ මට වඩා ජ්‍යේෂ්ඨ සගයෙක්. තුනී ලෑලි සංස්ථා වැඩ බිමේ ප්‍රධානියෙකුත් මගේ ප්‍රධානියාත් වු‍ණේ ඔහු. ‘තුන්කු’ නමින් ප්‍රසිද්ධ එන්. කේ. ගුණවර්ධන නමැති ඔහු, ඩෙවෙකෝ ගෘහ නිර්මාණ/ඉංජිනේරු සමූහ ව්‍යාපාරයේ විදුලි ඉංජිනේරු අංශය වුණු බම්බලපිටියේ හෙවිෆැබ් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධානියා වුණා. චිත්‍රා සහෝදරියත් මමත් ඔහු හමු වෙන්නට ගියා. ජීවත් වෙන්නට වැඩක් හොයනවා, නමුත් මගේ ළඟ උපාධි සහතිකය නැහැ කියලා මම කිව්වා. ඔහු යාළුකමට හැමෝටම කතා කරන්නෙ ‘උඹ’ කියල. ‘හා හා, උඹ හෙට ඉඳල වැඩට වරෙන්’ කිව්වා. මම ඊට පසුව දා වැඩ පටන් අර ගෙන නොයෙක් ආකාරයේ විදුලි පරිපථ බිඳින උපකරණ අලෙවි කරන ඉංජිනේරුවෙක් හැටියට සේවය කළා. පසුව විදුලි-කාර්මික අංශයේ ම ව්‍යාපෘති කළමනාකරුවෙක් වශයෙන් උසස් වීමකුත් ලැබුණා.”

ලයනල් බෝපගේ ජ.වි.පෙ.න් ඉවත් වූ පසු ඔවුන්ට ජීවත් වීමට ස්ථානයක් නොතිබුණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොමසාරිස්වරයාට නිවාස අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළ චිත්‍රා තමන්ට සීදුවේ රද්දොළුගම අසල ගොඩ නඟමින් සිටි නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් මිල දී ගන්නට වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටියාය. චිත්‍රා මෙම අයැදුම් පත්‍රය ලියුවේ රජයේ නිවාස වැඩසටහනේ කොටසක් වූ රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් තිබෙන බව දැන ගන්නට ලැබීමෙනි. අයැදුම් පත්‍රයේ චිත්‍රාගේ සැමියාගේ නම සඳහන් කරන්නට අවශ්‍ය විය. එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ, මහ නඩු‍වේ ප්‍රධාන සැකකරුවන්ගෙන් කෙනෙක් වූ සුසිල් සිරිවර්ධනයි.

“නම අයැදුම් පත්‍රයේ සඳහන් වෙන නිසා ඔහුට මේ ගැන තීරණයක් ගන්න බැහැ, ඒ නිසා අයැදුම් පත්‍රය එවකට නිවාස ඇමතිවරයා ව සිටි ආර්. ප්‍රේමදාස මහතාගේ අවධානයට යොමු කරන්නට සිදු වෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සුසිල් සිරිවර්ධන මහතා චිත්‍රාට දන්වා තිබුණා. අපි ඒ ගෙය මුදලට ගන්නට ඉල්ලා තිබෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැති බවත් ඔහු හැ‌‌ඟෙව්වා. නමුත් ප්‍රේමදාස ඇමතිවරයා නිවාස ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කළ බව ඊට පසුව දා සුසිල් සිරිවර්ධන මහතා චිත්‍රාට දන්වා තිබුණා.”

දිගින් දිගටම නිවසක් සොයමින් සිටි ඔවුන්ට පිලියන්දල අසලින් නිවසක් හමු විය. ඇමෙරිකාවේ ජීවත් වුණ චිත්‍රාගේ සොයුරු කිංස්ලි මුදලිගේ එය මිල දී ගන්නට ඔවුන්ට විශාල ආධාරයක් කළේය. එය අඩක් තනා නිම කළ විදුලි බලය නොමැති තනි නිදන කාමරයක් සහිත නිවසකි. ඒ 1984 වසරේ මැද කාලයේ ය. මාවරමංඩියේ නිවසේ වාසය කරන්නට ඔවුන්ට ඉඩ දී තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ වීරසිංහ සහෝදරයාට ස්තුතිවන්ත වූ ඔවුහු පිලියන්දල නව නිවහනේ පදිංචියට ගියහ. ඒ නිවහනට ගිය පසු ලයනල්ගේ පැරණි සගයින් සමහරෙක් ඔවුන් බලන්නට ද පැමිණියහ.

සිසිර යාපා

සඳුදා - බෝපගේට දේශපාලන පක්ෂවලින් ඇරියුම්

නව අදහස දක්වන්න