කිරි එපා වූ ගොවියෝ | දිනමිණ

කිරි එපා වූ ගොවියෝ

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

කිරිපට්ටි පාලනය කෙරෙහි පවතින රාජ්‍ය අනුග්‍රහය ක්‍රමයෙන් ඈත්වීයාමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එබැවින් දියර කිරි නිෂ්පාදනය ඉදිරියට පවත්වාගන යාම අසීරු කරුණක් වී ඇතැයි මාතලේ දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ පවසති.

උද්ගතව පවත්නා මෙම තත්ත්වය නිසා මේ වනවිට කිරි ගොවීන්ට රජයෙන් ලැබෙන ආධාරද අහිමි වී ගොස් ඇතැයි මොවුන් කියා සිටී. හරිහැටි වෙළෙඳ පොළක්ද මොවුන්ට නොමැත.එබැවින් සුළු පරිමාණයේ කිරි ගොවීන් ස්වයං රැකියාවක් ලෙස පවත්වාගන යන කිරි පට්ටි පාලනය පවා අතහැර දැමීමට සිදුව ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් වැඩි ප්‍රමාණයක් සිටිනුයේ කන්දපල්ල කෝරලයෙහිය. එම සංඛ්‍යාව තුන්දහස ඉක්මවන බවද අනාවරණය වේ. මෙයින් බහුතරය ස්වයං රැකියාවක් ලෙස මෙම කිරිපට්ටි පාලනයේ යෙදෙන තරුණ පිරිස වෙති.

ප්‍රදේශයේ ගව සොරකම්ද ක්‍රමයෙන් වර්ධනය වීම මෙම කිරිපට්ටි පාලනයට තවත්තර්ජනයක්වී ඇත. දේශීය කිරිපට්ටි පාලනය වැඩිදියුණු කර කිරිගොවියා රැකගැනීමේ ක්‍රමවේදයක් රජය විසින් කඩිනමින් සකස්කළ යුතුව ඇතැයිද කිරි ගොවියෝ අවධාරණය කරති.

ඩබ්ලිව්.ජි.කේ. රණසිංහ මහතා,-"මම කිරිපට්ටි පාලනය පටන්ගෙන වසර කීපයක් වෙනවා. මගේ ගව ගාල තිබුණේ නිවසට ආසන්නයේමයි. ඒකෙන් ගවයින් දෙන්නෙක් හොරකම් කරලා. ඒ නිසා ගාල නිවස ළඟම හදාගත්තා. මේක හදන්ටත් රුපියල් ලක්ෂයක් විතර ගියා. නමුත් රජයෙන් කිසිදු ආධාරයක් ලැබුණේ නෑ. ඒ විතරක් නොවේ ගවයින්ට ලෙඩක් හැඳුණොත් ඒකට ප්‍රතිකාර කිරීමට සෑහෙන මුදලක් යනවා. මේ මුදල දරාගැනීමට අපහසුයි. දැන් මට සතුන් හය දෙනෙක් ඉන්නවා. නමුත් දිනකට ලැබෙන දියර කිරි ප්‍රමාණය හුඟාක් අඩුයි.

කිරිවලටද හරිහැටි මිලක් නෑ. කෙසේවෙතත් මෙම කර්මාන්තය වැඩිදියුණු කිරීමට ගොවීන්ට විධිමත් ලෙස ආධාර ලබාදෙන්නේ නම් රටේ දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමට කිරිගොවියාට හැකියි."

වසන්ති මානෙල් රත්නායත මිය, "සැමියාත් මාත් කිරි පට්ටි පාලනය කරනවා. අපට සතුන් හයදෙනෙක් හිටියත් සතුන් දෙතුන් දෙනෙක් පැටව් දැමීමට ඉන්න නිසා කිරි නෑ. දැනට දිනකට දියර කිරි ලීටර් කීපයක් ගන්නවා. ඒකත් මිල අඩුයි. දැන් කිරි ලීටරයක් රුපියල් හැටහතරයි.හරකුන්ට කෑම සෙවීම අමාරුයි. සැතපුම් දෙකතුනක් යනවා තණකොළ හොයාගන එන්න. කලින් වැව්පිටිවල තණකොළ තිබ්බා. දැන් ඒකත් නෑ. කිරිදෙනුන්ගේ පෝෂණයට තියෙනහැම දෙයක්ම වෙළෙඳ පොළේ මිල අධිකයි. ඒ නිසා අපට සහන මිලට හෝ කිරිපට්ටි පාලනයට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නේ නම්, මේ කර්මාන්තය පහසුවෙන් දියුණුකළ හැකියි."


නව අදහස දක්වන්න

Or log in with...