කියවා බලා හිතා බලන්න | දිනමිණ

කියවා බලා හිතා බලන්න

උපතින්ම හදවතේ සිදුරක් ඇතිව මෙළොව එළිය දුටු ධනුෂ්කාන් වසරකට පසු සැත්කමකට භාජනය කරනු ලැබුවේ මවු පියන් සන්තකයේ වූ සියලුම දෑ විකිණීමෙනි.

2004 වසරේ ධනුෂ්කාන් දෙල්තොට අයන්වත්ත උපන් ඔහු ජයවර්ධනපුර රෝහලේදී මෙම සැත්කමට භාජනය විය. මේ සඳහා එකල රුපියල් ලක්ෂ පහක් වැය කිරීමට සිදුවූ අතර එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස කුඩා පැල්පතෙන් ඔවුන් කුලී නිවසට වැටිණි.

ශ්‍රී කාන් ධනුෂ්කාන්ගේ පියාය. හේ කුලි වැඩ කරමින් ජීවිතය ගෙන ගියේය. රැකියාවක් නොකළ ධනුෂ්කාන්ගේ මව තම පුතා රැක බලා ගත්තාය. ඔහුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නිරතුරුවම පේරාදෙණිය රෝහල කරා ගියාය. කාලය ගෙවීයත්ම මෙම කැදැල්ලට තවත් සාමාජකයෝ දෙදෙනක් එකතු වූහ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුල කුලී වැඩ කරමින් කුලී නිවසක ජිවත් වෙති.

ධනුෂ්කාන්ට අවුරුදු පහ ලැබුවේය. ඒ වන තුරු නිරෝගි සුවයෙන් පසු වූ ඔහුගේ බර ශීඝ්‍රයෙන් වැඩිවන්නට විය. දා හතර වන වියේ පසුවන ධනුෂ්කාන්ගේ බර මේ වන විට කිලෝ ග්‍රෑම් එකසිය දහයකි. ඔහුට එකම ඉරියව්වකින් විනාඩියක් දෙකක්වත් සිටිය නොහැකිය. ශරීරය පාලනය කරගත නොහැකිය. දිනෙන් දින බර ප්‍රමාණය වැඩිවන බව මව්පියෝ පවසති. හේ ජීවත් වීමට ජීවිතය හා පොරබදයි.

තම දරුවා රැගෙන රෝහලට යන අතරමඟ සිදුවු අනතුරක් හේතුවෙන් ධනුෂ්කාන්ගේ පියාද පාදයක ආබාධයකින් පෙළේ. රෝගී දරුවා රැක බලා ගැනීමේ කාර්යයයේ නියැලෙන මවට කුලී වැඩකට හෝ යාමට නොහැකි නිසා පවුලේ සියලු බර උසුලන්නේ අසනීප තත්ත්වයට පත්ව සිටින පියා විසිනි.

ශ්‍රී කාන් මහතා,

"මගේ පුතාට වෛද්‍ය ප්‍රතිකාර මොන ප්‍රශ්න ආවත් ඒ ලෙසටම ලබා දෙනවා. දොස්තර මහත්තුරු කියන දේ කොහොම හරි කරනවා. දරුවාට ව්‍යායාම කරන්ට කියනවා. ඇවිදින්ට කියනවා. අපි ඉන්නේ කාමරයක් හා කුස්සියක් පමණක් ඇති කුඩා ගෙදරක. ඒකේ හැරෙන්ටවත් ඉඩක් නෑ. ඒ නිසා දරුවාට ව්‍යායාම කරන්ට බෑ. බේත් හේත් අරන් පහසුවේ ඉන්ට ගෙදරක් නෑ. අපිට කියලා ඉඩමක් නෑ. මේ ගෙදර කුලිය ගෙවන්නෙත් හරිම අමාරුවෙන්. දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයා ගෙන ජීවිතේ ගැට ගහගන්ට ශක්තිය තියෙනවා. ඒත් ගෙයක් කියන එක සිහිනයක්. අපිට කවුරු හරි පුංචි ගෙයක් හරි හදලා දෙනවා නම් ලොකු පිනක්."

මව්පියන්ට දරුවන් තරම් තවත් සම්පතක් නැත. දරුවන් ගැනම සිතා ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් වෙහෙසෙන මව්පියවරුන්හට ජීවිතය විඩාපත් වන්නේ නැත. එහෙත් වූ රෝගී දරුවා වෙනුවෙන් කැපවීම් කළ ද ධනුෂ්කාන්ගේ මව සහ පියා හදවතින් හඬා වැටෙති. ඒ දුෂ්කරතා මැද ශ්‍රී කාන් උපයන මුදල රෝගී දරුවා නිසා වියදම්වීමෙන් අනෙකුත් අවශ්‍යතා මගහැරීම නිසාවෙනි. එවැනි පීඩා මැද ජීවිතය ගැටගසාගන්නට වෙර දරණ ශ්‍රී කාන්ලාගේ පවුලට සුළුවෙන් හෝ අත්වැලක් විය හැකි නම් එය ඔවුන්ට මහ මෙරක් වනු ඇත.

ඉන්ද්‍රාණි තෝරදෙනිය


නව අදහස දක්වන්න

Or log in with...