මහින්දගේ සාම සැරය! | දිනමිණ

මහින්දගේ සාම සැරය!

සෘජු ප්‍රතිපත්තියක් හා පොදු වැඩපිළිවෙළක් නැති පුද්ගලයා කිසි කලෙක සැබෑ නායකයකු බවට පත්වන්නේ නැත. එබඳු පුද්ගලයන් හැඳින්විය හැක්කේ අඳුරේ අතපතගාන දුබලයන් හැටියටය. අප්‍රිකානු රටවල් ගණනාවක නායකයන්ට සෘජු ප්‍රතිපත්ති නැත. පොදු වැඩසටහන් ද නැත. ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ එදිනෙදා සන්තෘෂ්ටිය සඳහා කුමක් හෝ සිදුකිරීමය. ඔව්හු ඇතැම්විට ගෝත්‍රවාදය අවුස්සති. ආගම්වාදය අවුස්සති. ජනතාව මිනීමරා ගන්නා අතර පාලකයෝ රටේ සම්පත් සියල්ල තම අභිමතයට අනුව පාවිච්චි කරති. සෙනෙගාලය එසේය. කොංගෝ රාජ්‍යයත් එසේය. කැමරූන් දූපත් ද එසේම ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලැකිය හැක්කේ පොදු ජනයා අතර ජනප්‍රිය නායකයකු හැටියටය. පොදු ජනතාව යන්නෙන් අප මෙහිලා අදහස් කරන්නේ දකුණේ සිංහල බෞද්ධ ජනතාව යන්නය. උතුරට ගියහොත් දෙමළ ජනයාගෙන් විශාල විරෝධයක් තිබේ. නැ‍ඟෙනහිරට ගියත් මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු විරෝධයක් තිබේ. රටේ සාමය හා සංහිඳියාව සම්බන්ධයෙන් මහින්ද මහතා ඉටු කළ දෙයක් නැති තරම්ය. යුද ජයග්‍රහණයෙන් පසුව පැවැති සමාජ-සාධනීය අවස්ථා මඟහැර ගිය දේශපාලකයකු ලෙස ද ජාත්‍යන්තරය ඔහු හඳුනා ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීම කාගේත් අවධානයට ලක්වූ කරුණක් විය. මේ සංචාරය තුළදී දේශන කිහිපයක් පවත්වා ඇත. සම්මුඛ සාකච්ඡා කිහිපයක්ද පවත්වා ඇත. මේ දේශනවලින් ද සාකච්ඡාවලින් ද මතුවන අදහස් එක අතෙකින් පුදුමාකාරය. සරල ලෙස මේ කාරණය විග්‍රහකර ගතහොත්, අනාගතයේ දිනෙක මහින්ද මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත. ඔහු එය හඳුන්වන්නේ මගේ ආණ්ඩුව ලෙසය. මේ ආණ්ඩුව මුස්ලිම් ජනයා සමඟ ද, දෙමළ ජනයා සමඟ ද සාකච්ඡා කොට රටට ගැළපෙන පාලන ව්‍යුහයක් සකස්කර ගන්නා බවද ඒ මහතා කියයි.

මෙය ඇත්තක්ද යන විමසා බැලිය යුත්තකි. මහින්ද මහතා වරක් එවකට ඉන්දියාවේ අගමැති වූ මන්මෝහන් සිං මහතා හමු වී කියා සිටියේ 13 වන ව්‍යස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් තමන්ගේ ආණ්ඩුව සිදුකරන බවය. ඒ මීට වසර කිහිපයකට පෙර ඔහුට හොඳින්ම බලය පැවැති සමයේය. එහෙත් ශ්‍රී ලංකාවට පැමිණි මහින්ද මහතා ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත. ඉන්දියාවට එකක්, චීනයට එකක්, ශ්‍රී ලංකාවට එකක් ලෙසින් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස්වන බව පෙනෙයි. ඇතැම් මන්ත්‍රීවරු මෙය ‘දවල් මිගෙල් - රෑ දනියෙල්’ තියරිය ලෙස හඳුන්වති.

ඉහත සංචාරයේ දී තවත් දේශපාලන රහසක් හෙළිදරව් වී තිබේ. එනම්; ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවය. හිටපු ජනාධිපතිවරයා එය පැහැදිලි කරන්නේ තම පුත්‍රයා වූ නාමල් රාජපක්ෂට තවම වයස අවුරුදු තිස්පහක් නැති බැවින්, ගෝඨාභයට එම අවස්ථාව ලබාදෙන බවය. එහි මූලික තර්කය වන්නේ නාමල්ට නෛතික බාධාවක් නොවන්නට ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් බවය. ඒකාබද්ධ විපක්ෂය විවිධ දේශපාලන මත දරන අයගෙන් සමන්විත වූව ඔවුන් සියලු දෙනාම කටයුතු කරනුයේ රාජපක්ෂ පවුල වෙනුවෙන්ය. මෙබඳු ප්‍රෝඩාකාරී දේශපාලනයක් ලෝකයේ කොතැනකවත් නොතිබෙන්නට පුළුවන.

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා අපේ උතුරට පැමිණ සංචාරයක නිරත වන විට විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායම රට පුරා කළු කොඩි එල්ලන්නට කතා කළහ. මෝදි මහතා හෝ ඉන්දියාව හෝ එය තඹදොයිතුවකට ගණන් ගත්තේ නැත. මහින්ද මහතා ඉන්දීය අගමැතිවරයා ළඟ හැසිරු‍ෙණ් ඉතා විනීත පූස් පැටවකු ලෙසය. මන් මෝහන් සිං මහතා ළඟ හැසිරුණේ ද ඒ ආකාරයෙන් ය. මේ සියල්ලම ගත්කල අපට පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය නටන මහා විකාරයකි. අපේ රටේ දේශපාලකයන් හා ඉන්දියාවේ දේශපාලකයන් අතර කෙතරම් පරතරයක් තිබේද? බලය බෙදීමට අදාළ කිසිදු සැලැසුමක්, වැඩසටහනක් හෝ ප්‍රතිපත්තියක් ඒකාබද්ධයට නැති බව ඉතා පැහැදිලිය. එය ඉන්දියාව පමණක් නොව, ශ්‍රී ලංකාව ද වටහා ගත යුතු සත්‍යයකි.

ඊළඟට රටේ බලය ගැනීම සඳහා ඉදිරිපත් වන ඕනෑම පක්ෂයකට රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතුය. එලෙසම එබඳු පක්ෂයකට ජාතික සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තවත් දේශපාලන වැඩසටහනක් ද තිබිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ, එළිය බඳු වැඩසටහන්වලදී මේවා සාකච්ඡාවට ගැනෙන බවක් ද පෙනෙන්නට නැත. ඒවායෙහිදී සංවාදයට ලක්වන්නේ ජාතිය බේරාගැනීම, ආගම සුරක්ෂිත කිරීම වැනි මාතෘකා ය. මේවා තවදුරටත් රට විනාශ මුඛයට ඇදගෙන යනු මිස සාධනීය දෙයක් සිදුවන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ සටන්පාඨ අතර, බටහිරකරණය, චීන කොලනිය, ඉන්දියාව ගිල ගැනීම, සිංගප්පූරුකරණය හා තවත් දේවල් තිබේ. චීනය ලෝකයේ ප්‍රාග්ධනය හසුරවයි. ශ්‍රී ලංකාව වැනි රටකට එය නතර කළ කළ හැකිද? ඉන්දියාව පවා මේ තත්ත්වය යටතේ නිහඬය. ඉතින් ශ්‍රී ලංකාව කුමක් කරන්නද? ඉන්දීය අගමැති මෝදි වරක් කියා සිටියේ; ඉන්දියාවට එන්න කැමැති දෙයක් නිෂ්පාදනය කරන්න. ඒවා කැමැති තැනක අලෙවි කරන්න යනුවෙන් ය. ඉන්දියාව ආයෝජකයන්ට පහසුකම් සපයන අතර අපේ ර‍ට ආයෝජකයන්ට බාධා කරයි. මේ ආකාරයට ගියහොත් ශ්‍රී ලංකාව කිසිදිනෙක දියුණු වන්නේ නැත. අපට සිදුවන්නේ ඇෆ්ගනිස්ථාන‍ෙයන් ද පහළ යෑමටය.

මිනිසුන් දේශපාලකයන්ට ගෞරව කළ යුතුය. ඔවුන්ට ආදරය කළ යුතුය. ඒ ඔවුන් බුද්ධිමත් ලෙස දේශපාලන හසුරවන්නේ නම් පමණි. මහින්ද රාජපක්ෂ මහතා එදා සිටි නායකයාම බව පෙනී යයි. ඔහු නූතන දේශපාලනයට ගැළපෙන ලෙස වෙනස් වී නැත.

 


නව අදහස දක්වන්න