සියලු ඇස් ‘ස්ලිංගා’ මාලිංග දෙසට | දිනමිණ

සියලු ඇස් ‘ස්ලිංගා’ මාලිංග දෙසට

වසරකට පසුව ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි වේග පන්දු යවන ලසිත් මාලිංගගේ පැමිණීම ශ්‍රී ලංකා පිල ඉහළට එසැවීමක් බවට පත්ව තිබේ. 35 හැවිරිදි මාලිංගගේ සම්ප්‍රාප්තිය ඔහුගේ ඉදිරි ගමන තීරණය කරන්නක් වන අතර සුපුරුදු වේගය නොතිබුණද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සහයෝගය තුළ විශාල බලාපොරොත්තු පහළ කරමින් සිටී.

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින ජාත්‍යන්තර තරගය ඩුබායි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.00ට ආරම්භ වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින තරග ඉතිහාසයේදී වැඩි වාසි ශ්‍රී ලංකා පිල අත්කරගෙන ඇති අතර තරග 44කදී තරග 36කින් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. බංග්ලාදේශය තරග 6කින් ජයගෙන ඇති අතර තරග දෙකක් විසදුමකින් තොරව නිමාවට පත්ව ඇත.

ලසිත් මාලිංගගේ පැමිණීම හා දස්කම් අනුව ශ්‍රී ලංකා පිලට ඉදිරියට යෑමේ මහඟු අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ මහතා පැවැසීය. “දැනට පවතින තත්ත්වය අනුව මාලිංග මේ කණ්ඩායමට සුදුසුම ක්‍රීඩකයෙක් බව පෙනී යනවා. ඔහු අද ලෝකයේ සිටින භයානකම වේග පන්දු යවන්නෙක්. පසුගිය තරගාවලි කිහිපයකදීම ඔහු හොද දස්කම් පෙන්වා තිබෙනවා. මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව දැන් හොද තත්ත්වයක පවතිනවා” හතුරුසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී මාලිංගට කඩුලු නොලැබුණද ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඉඩ නොදීම කැපී පෙණුනි. පළමු තරගයේදී මාලිංග යවන ඕවර් 10 ඉතා තීරණාත්මකවන අතර, ඒ මත ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන රදා පවතී.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලට එක් නොවීම බලවත් ගැටලුවකි. එහෙත් ඒ සඳහා නිරෝෂන් දික්වාල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා පිලට එක්ව සිටිති. මේ කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩක උපුල් තරංග ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේදී දැක්වූ දස්කම් මේ තරගාවලියේදී දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උපුල් තරංග මෙයට පෙර බංග්ලාදේශයට එරෙහිව ශතක 3ක් හා අර්ධ ශතක 5ක් වාර්තා කොට ඇත. ඔහු දැනට සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් බංග්ලාදේශයට එරෙහිව වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු වේ.

“කිසිම කණ්ඩායමක් අප අඩු තක්සේරුවට සලකන්නේ නෑ. එන හැම අභියෝගයක්ම අප නිසි ලෙස මුහුණ දෙනවා. ඩුබායි හා අබුඩාබී වල තත්ත්වයන්ට අවස්ථානුකූලව මුහුණදීමට අප සැලසුම් කරනවා” හතුරුසිංහ මහතා පැවැසීය.

පසුගිය වසර කිහිපය තුල බංග්ලාදේශය ඉහළ මට්ටමකට පැමිණ ඇති කණ්ඩායමක්වන අතර පිතිකරු තමීම් ඉක්බාල් නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගාවලියේදී ශතක දෙකක් රැස් කළේය. ඔහුගේ ආරම්භය මැද පෙළ පිතිකරුවන්ට ශක්තියක් වන අතර, එය ප්‍රතිවාදී කණ්ඩායම්වලට බලවත් හිසරදයක් වීමට ඉඩ ඇත.

බංග්ලාදේශ පිලේ සෑම අතින්ම දස්කම් දක්වන ෂකීබ් අල් හසන් ශාරීරික යෝග්‍යතාව අතින් ඉහළට පැමිණ දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහු හොඳ තත්ත්වයක නොසිටියහොත් බංග්ලාදේශය අසීරු තත්ත්වයකට පත්වනු ඇත.

කෙසේ වුවද අද තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය පළමු වරට තරග කරන අතර මේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග 5කට සහභාගීවී තරග දෙකක් ජයගෙන තරග තුනක් පරාජයවී ඇත.

ශ්‍රී ලංකා පිල:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, දසුන් ෂානක, අකිල ධනංජය, දිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, ධනංජය ද සිල්වා

බංග්ලාදේශ පිල:

මෂ්රාෆී මෝර්ටසා (නායක), සකීබ් අල් හසන්, අබූ හයිඩර්, අරිෆුල් හක්, ලිටන් ඩාස්, මොහොමදුල්ලා, මෙහෙදි හසන්, මොහොමඩ් මිතුන්, මොසඩක් හසන්, මුෂ්ෆිකර් රහීම්, මෂ්ටර්ෆිසුර් රහ්මාන්, නස්මුල් හොසේන්, නස්මුල් ඉස්ලාම්, රුබේල් හොසන්, තමීම් ඉක්බාල්

සාදී තවුෆීක්

නව අදහස දක්වන්න