ආසියානු සත් සාමාජික රග්බි | දිනමිණ

ආසියානු සත් සාමාජික රග්බි

ෆවුස් මොහොමඩ්

කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එන්න ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරගයක්

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියරේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් පූර්ව ත රගයට එක්වීමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) පෙරවරු ශ්‍රී ලංකා වේලාවෙන් 9.20ට චීන තායිපේ කණ්ඩායම සමග මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි. මේ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වෙයි. එම තරගයෙන් පරාජිත කණ්ඩායම පළඟ ශූරතා අවසන් පුර්ව වටයට එක්වනු ඇත.

‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති මූලික වටයේ පළමු තරගයෙන් චීනයට එරෙහිව ලකුණු 31-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ අතර ජපානය සමග පැවැති දෙවැනි තරගය ලකුණු 21-0කින් පරාජයට පත්විය.

චීන තායිපේ කණ්ඩායම ඊයේ ජපානය හමුවේ ලකුණු 22-0කින් පරාජයට පත්වූවත් චීනය සමග පැවැති තරගයෙන් අවසන් මොහොතේ ලකුණු 19-15ක පෙරළිකාර ජයක් වාර්තා කළේය.

‘ඒ’ කාණ්ඩයෙන් ජපානය ද, ‘බී’ කාණ්ඩයෙන් හොංකොං පිල හා පිලිපීනය ද ඊයේ ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන අපරාජිතව දැනටමත් කුසලාන වටයේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබා සිටිති.

චීනය සමග පැවැති තරගය පුරා ශ්‍රී ලංකා පිල උත්සාහක දිනුම් 5ක් වාර්තා කළ අතර ඉන් 3ක්ම ගෝල බවට පත්කර ගත්තේය. පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක දිනුක් අමරසිංහ චීනයට එරෙහිව පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව සුදම් සුරියආරච්චි ස්ක්‍රම් අවස්ථාවක් සාර්ථක කරමින් කදිම උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. ඉන් පළමු උත්සාහක දිනුම නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ අතර දෙවැනි උත්සාහක දිනුම සුදම් විසින්ම ප්‍රවර්තනය කරමින් පළමු භාගය නිමාවෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 14-0 දක්වා ඉහළ දැමුවේය.

දෙවැනි භාගයේදී සුරියබණ්ඩාර, බුද්ධිම පියරත්න සහ කෙවින් ඩික්සන් උත්සාහක දිනුම් වාර්තා කළහ.

ජපානය සමග පැවැති තරගය ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් වූ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම් දිනූ ජපානය ඊයේ තරගයට ෆිජී ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කර තිබිණි. තරගය අතරතුර ශ්‍රී ලංකා පිලේ දිනුක් අමරසිංහ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්විය.

කාන්තා තරගාවලියේ මූලික වටයේ ‘ඩී’ කාණ්ඩයේ පළමු තරගයෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම දිනූ කසකස්තානයට ලකුණු 36-0කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිංගප්පූරුව සමග පැවැති තරගය ලකුණු 17-5කින් ජයගැනීමට සමත්විය.

එම තරගයේ ආරම්භයේ සිටම සැලසුම් සහගතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට පළමු උත්සාහක දිනුම අයේෂා පෙරේරා විසින් ලබා දුන් අතර දිල්රුක්ෂි කුමාරි දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ පළපුරුදු ක්‍රීඩිකා හිටපු නායිකාව වන තනුජා වීරක්කොඩි තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට අයේෂා කළුආරච්චි සමත්වුවාය.

ශ්‍රී ලංකා කාන්තා පිලේ මූලික වටයේ අවසන් තරගය අද පෙරවරු චීනය සමග ශ්‍රී ලංකා වේලාවෙන් 7.30ට පැවැත්වෙයි. කාන්තා තරගාවලියේ කුසලාන තරග වටයේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ තරගයේ ජයගත යුතුය. පසුගියදා පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම දිනූ චීනය ඊයේ සිංගප්පූරුව සහ කසකස්තානය පරාජය කරමින් දැනටමත් කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වී සිටි.

නව අදහස දක්වන්න