පළාත් සභාවට බඩු මිලට ගැනීමේදි අපි වැරැදි කළේ නෑ | දිනමිණ

පළාත් සභාවට බඩු මිලට ගැනීමේදි අපි වැරැදි කළේ නෑ

චන්ද්‍රිකා පෙරේරා

පළාත් සභාවේ සියලු මිලදී ගැනීම් හා ඉදිකිරීම් මිල ගණන් තීරණය වන්නේ රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව බවත් තමා ඇතුළු පළාත්අමාත්‍ය මණ්ඩලය, මන්ත‍්‍රීවරුන් හා නිලධාරීන් කිසිදු වැරදි තීරණයක් ගෙන නොමැති බවත් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

බස්නාහිර පළාත් සභා නව ගොඩනැඟිල්ල පරිශ්‍රයේදී ඊයේ (12) පැවැති විශේෂ හමුවේදී ඉසුර දේවප්‍රිය මහතා එම අදහස් පළ කෙළේ ය.

එහිදී බස්නාහිර පළාත් මහ ඇමතිවරයා මෙසේ ද කීය.

නව සභා ශාලාවකට දොර ජනෙල් සවි කිරීම සාමාන්‍ය දෙයක්. දේශපාලන වශයෙන් මඩ ගහන්න තමයි කෝටි එකක එකහමාරක මුදලක් වැය කළ බව සමහරු කියා තිබෙන්නෙ. එතරම් මිලක් එම දොරට වැය කර නැහැ. එමෙන්ම රුපියල් 644000ක මිලකට ලබාගත් පුටුවක වාඩිවෙන්න තරම් අපිට මානසික ලෙඩක් නැහැ. පුවත්පත් වල ප‍්‍රකාශ වෙලා තිබුණු මිලදී ගැනීම් වැරදියි . එම සියලුම මිලදී ගැනීම් සිදුවෙන්නේ රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුවයි. ඉතා වගකීමෙන් කියනවා මා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මන්ත‍්‍රීවරුන් හා නිලධාරීන් කිසිදු වැරදි වැඩක් කර නැහැ. වැරදි තීන්දු තීරණ අරගෙනත් නැහැ. තව මාසයක් තුළදී සභාවේ අඩු පාඩු සම්පූර්ණ කර ඉන් පසු සභාව මාධ්‍යට විවෘත කරනවා. එවිට පැමිණ බලන්න හැකියාව තිබෙනවා. මේ කාර්යය සඟවා සිදු කරන්නක් නොවේ.

ගොඩනැගිල්ල මගින් ජනතාවට ලැබෙන වාසි පිළිබඳ මාධ්‍යයෙන් කිසිදු ප‍්‍රචාරයක් වෙන්නේ නැහැ. මා සතයක්වත් වංචා කර නැහැ. ඒ නිසා ඕන මාධ්‍යක් ඉදිරියේ මුහුණට මුහුණ කතා කරන්න මා බය නැහැ. මහ ඇමති වීමට පෙර මා මහරගම නගර සභාවේ සභාපති ලෙස දෙවතාවක් කටයුතු කළා. එහිදී මා සොරකම් කළා නම් ජනාධිපතිතුමා මට මහ ඇමතිකම දෙයි ද?

එමෙන්ම අලුත් ගොඩනැගිල්ලක, නව සභා ශාලාවක අලුතෙන් දොර ජනෙල් සවි කිරීම සාමාන්‍යයි. මගේ දැනීමේ හැටියට කෝටි එකහමාරක් දොරට වැය වෙලා නැහැ. ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් තියෙනවා.

මේ නවීන ගොඩනැගිල්ලට හා වර්තමානයට ගැළපෙන ආකාරයේ සුදුසු අවශ්‍ය දෑ මිලදී ගැනීමටයි මේ අයගේ යෝජනාව.

එමෙන්ම ටෙන්ඩර් මණ්ඩල වලද කිසිදු වරදක් වී නැහැ. මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ ඒ ඒ අමාත්‍යංශ වල සිටින නිලධාරීන්.ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක‍්‍රියා කරන්නේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ නිසා දේශපාලන වශයෙන් අපිව නැඹුරු කරන එක හොඳ නැහැ.

පළාත් සභාවේ මා ඇතුලු මැති ඇමතිවරු වැරදි වැඩක් හෝ වැරදි තීන්දු තීරණ හෝ ගෙන නැති අතර වැරදි ටෙන්ඩර් ක‍්‍රියා පටිපාටි අනුගමනය කර නැහැ. රජයේ අනුමත ටෙන්ඩර් පටිපාටිය අනුවයි සෑම විටම කටයුතු කර තිබෙන්නෙ. නව සභා ශාලාව ලබන මාසේ අවසන් වෙනකොට විවෘත කෙරෙන අතර අඩු පාඩු සපුරාලීමෙන් පසු එය මාධ්‍යට විවර කරනවා.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, ප‍්‍රවාහන, මහා මාර්ග, ක‍්‍රීඩා, සෞඛ්‍ය අමාත්‍යංශ හා සමාජ සේවා අංශය සහ ආයුර්වේදය තිබුණේ විවිධ ස්ථානවල. මහ ඇමතිවරයා සිටියේ කොළඹ . මේ නිසා ජනතාවට තම කාර්යයන් කරගන්න බදාදා මහජන දිනයේ මුළු කොළඹම ඇවිදින්න සිදු වුනා. ජනතාවට පහසුකම් සැළසීම මූලික කර ගනිමින් සියලු අංශ එක් තැනකට ගෙන ඒමටයි මේ නව ගොඩනැඟිල්ල ඉදිකළේ. එහි වැදගත්කම කිසිම මාධ්‍යක කිව්වේ නොකී අතර මේ ගොඩනැගිල්ල විවෘත කරන්න තීන්දු කරගත්ත දින සිට මාධ්‍ය වලට සභාවේ ඉන්න ඇතැම් මන්ත‍්‍රීවරු දුන්නේ වැරදි තොරතුරු.

අදාල නිලධාරීන් හමුවී මිල ගණන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා මේ මිලදී ගැනීම් වල නිවැරදි තත්ත්වය වාර්තා කරන ලෙස. එමෙන්ම ජනතාවට ඇති වටිනාකම හා එහි ඒ අයට ඇති පහසුකම් සම්බන්ධයෙන්ද දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.


නව අදහස දක්වන්න

Or log in with...