ශ්‍රී ලංකා අම­ර­පුර සිරි­සු­මන මහා නිකායේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබූ ආචාර්ය කොළො­න්නාවේ සිරි­සු­මං­ගල නාහිමි | දිනමිණ

ශ්‍රී ලංකා අම­ර­පුර සිරි­සු­මන මහා නිකායේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබූ ආචාර්ය කොළො­න්නාවේ සිරි­සු­මං­ගල නාහිමි

රාජ්‍ය වර්ෂ 1811 දී ඇරැඹි ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ සිරි සුමන (දඩළු) පාර්ශ්වයේ 8 වැනි මහා නායක, අනු­රා­ධ­පුර ගුවන් තොටු­පොළ ශ්‍රී විමල ධර්ම­දූත මධ්‍ය­ස්ථා­නා­භි­දාන මාතර විම­ල­ර­ත­නා­ධි­පති මහා නාහිමි අවු­රුදු 104ක් ආයු වළඳා පසු­ගිය දා අප­වත් වූයෙන්, එම උත්ත­රී­තර මහා නායක පද­වි­යට පන්නි­පි­ටිය ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහා­රා­ධි­පති, ධම්මා­ධි­ධම්ම, රාජා­ධි­රා­ජ­ගුරු, ගණා­ච­රිය සද්ධර්ම වාගී­ෂ්වර ප්‍රව­චන කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාස­න­ජෝති, ත්‍රිපි­ටක විශා­රද, ආචාර්ය කොළො­න්නාවේ ශ්‍රී සුමං­ගල නාහිමි සිරි­සු­මන පාර්ශ්වයේ කාරක සංඝ සභා­වෙන් ව්‍යව­ස්ථා­නු­කූ­ලව පත්කොට ඇත.

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ, සිරි සුමන (දඩළු) පාර්ශ්වයේ 9 වැනි මහා නායක පද­වි­යට පත් ආචාර්ය කොළො­න්නාවේ සිරි සුමං­ගල මහා නාහි­මිට එම නායක පද­විය පිරි­නැ­මීම පිළි­බඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදා­නෝ­ත්ස­වය, ත්‍රෛනි­කා­යික මහා නාහි­මි­ව­රුන්ගේ හා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන, අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන්ගේ මෙන්ම මැති ඇමැ­ති­ව­රුන්, සම්භා­ව­නීය අමු­ත්තන් රැස­කගේ සහ­භා­ගී­ත්ව­යෙන් හෙට (16) පෙ. ව. 8.30ට කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ දී ඉතා උසස් අයු­රින් සිදු කිරී­මට ශ්‍රී දෙව්රම් මහා විහා­රස්ථ ශාස­නා­ර­ක්ෂක සංව­ර්ධන සභාව සියලු කට­යුතු සංවි­ධාන කර තිබේ.

අභි­නව මහා නායක ආචාර්ය කොළො­න්නාවේ සිරි සුමං­ගල මහා නාහිමි පිළි­ගැ­නීමේ මහා පෙර­හර හෙට (16) සවස 4.00 ට පන්නි­පි­ටිය මොර­කැ­ටිය හන්දි­යෙන් අරඹා දෙව්රම් වෙහෙර මහා විහා­රය දක්වා ගමන් කෙරේ.

සුමං­ගල නාහි­මි­යන්ගේ ජන්ම­ලා­භය කොළඹ දිස්ත්‍රි­ක්ක­යට අයත් කොළො­න්නාවේ දී සිදුව ඇත. ඒ 1969 සැප්තැ­ම්බර් මස 24 වැනි දිනය. අප මහා නාහි­මිගේ ආද­ර­ණීය මවු­පි­යන් වූයේ කොළො­න්නාවේ පදිං­චිව සිටි පූර්ණ­චන්ද්‍ර විජේ­සිංහ මහතා සහ සුමනා හෙට්ටි­ආ­රච්චි මහෝ­පා­සි­කා­වයි.

සුබ මුහු­ර්ත­යෙන් තම පුත්‍ර රත්න­යට අත­පොත් තැබූ මවු­පි­යන්ගේ මූලික අභි­ප්‍රාය වූයේ තම ආද­ර­ණීය පුත­ණු­වන් දෑහි­ත­කාමී ගුණ නුව­ණින් පිරි යහ­පත් මිනි­සෙක් කිරී­මය. ඒ නිසා ගිහි අධ්‍යා­ප­න­යට තම පුත­ණු­වන් කොළො­න්නාවේ ටෙරන්ස් ද සිල්වා පාඨ­ශා­ලා­වට ඇතු­ළත් කරන ලදී. ළදරු වියේ සිටම ශ්‍රමණ රූප කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ තම පුත­ණු­වන් පැවි­දි­වීම පිළි­බඳ නිතර කතා­බහ කළ අතර තව­දු­ර­ටත් අධ්‍යා­පන කට­යු­තු­ව­ලට දෙම­ට­ගොඩ වේළු­වන රජයේ පාස­ලට ඇතු­ළත් කරන ලදී. ළමා වියේ සිට පැවති පැවි­දි­වීමේ අද­හස ක්‍රම­යෙන් වර්ධ­නය විය. මෙය මවු­පි­යන්ට ද මහත් හිස­ර­ද­යක් බවට පත් විය. මහ­ණ­වී­මට ඇති ආසා­වෙන් සිය පුතු මුද­වා­ගැ­නී­මට මවු­පි­යන් ක්‍රියා කළත්, එය සාර්ථක වූයේ නැත. 'මා මහණ නොක­රන්නේ නම්, මා මළ පසු මගේ දේහය සිවු­ර­කින් වසා මිහි­දන් කර­න්නැයි' කළ ඉල්ලීම ඉතා බල­ගතු විය. තම පුතුගේ සසර පෙර පින ගරු කළ මවු­පියෝ මහ­ණ­ක­මට අව­සර ලබා දුන්හ.

මේ කාලය වන විට මහ­ර­ගම සිරි වජි­ර­ඤාණ ධර්මා­ය­ත­නා­ධි­ප­තිව වැඩ විසූ අම­ර­පුර ධර්ම­ර­ක්ෂිත නිකායේ මහා නාහිමි හා අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා නාහිමි හමු වී මවු­පි­යන් සිය පුත­ණු­වන් පිළි­බඳ තොර­තුරු ඉදි­රි­පත් කළහ. කුඩා වුවත් තම පුත­ණු­වන්ගේ අද­හ­ස්වල ඇති ප්‍රබ­ල­කම මහ නාහිමි දෙපළ මවු­පි­යන් වෙත වටහා දුන්හ. එමෙන්ම පැවි­දි­ක­මෙහි ඇති භාර­දූර වග­කීම් සමු­දාය ද මවු­පි­ය­න්ටත්, පුත­ණු­ව­න්ටත් පැහැ­දිලි කළ මඩිහේ පඤ්ඤා­සීහ මහා නාහිමි කොළො­න්නාව, සාල­මුල්ලේ, ආන­න්දා­රා­මයේ දී පැවිදි පින්කම යොදා ගන්නා ලෙසට අනු­ශා­සනා කළහ.

වර්ෂ 1982ක් වූ ජූලි මස 21 වැනි දින පැවිදි පින්කම යොදා ගත්තේය. මිරිස්සේ, උඩු­පිල ශ්‍රී සුද­ර්මා­රා­මය, බත්ත­ර­මුල්ලේ සිරි සුද­ස්ස­නා­රා­මය, කොළො­න්නාව, සාල­මුල්ලේ ශ්‍රී ආන­න්දා­රා­මය තුන්මහා විහා­රා­ධි­ප­තිව වැඩ විසූ පණ්ඩිත මිරිස්සේ පිය­දස්සී නාහි­මිගේ ආචා­ර්ය­ත්ව­යෙන් හා අම­ර­පුර මහා සංඝ සභාවේ උත්ත­රී­තර මඩිහේ සිරි පඤ්ඤා­සීහ මහා නාහි­මිගේ උපා­ධ්‍යා­ය­ත්ව­යෙන් 'කොළො­න්නාවේ සුමං­ගල' යන පැවිදි නාම­යෙන් සසු­න්ගත වූහ.

මහ­ර­ගම සිරි වජි­ර­ඤාණ ධර්මා­ය­ත­න­යෙන් හා කොළඹ හුණු­පි­ටිය ගංගා­රා­මස්ථ ශ්‍රී ඥානේ­ෂ්වර පිරි­වෙ­නින් සිය පැවිදි දිවියේ අධ්‍යා­ප­නය ආරම්භ කොට ප්‍රාචීන, මධ්‍යම, ත්‍රිපි­ටක ධර්ම පරී­ක්ෂණ, වින­යා­චාර්ය, සද්ධ­ර්මා­චාර්ය හා බාහිර ශාස්ත්‍ර­වේදී උපා­ධිය දක්වා අධ්‍යා­පන කට­යු­තු­වල යෙදුණි. සිය ගුරු දේව­යන් වහන්සේ 1986 නොවැ­ම්බර් මස 11 වැනි දින අප­වත් වී වදා­ළහ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස සුමං­ගල හිමිට මිරිස්සේ උඩු­පිල සුද­ර්මා­රාම විහා­ර­යට වැඩම කිරී­මට සිදු විය.

පැවිදි වී දෙස­ති­ය­කින් පමණ ධර්ම දේශනා කිරීම ඇරැඹූ උන් වහන්සේ ධම්ම පදය ඇසු­රින් කළ ප්‍රථම ධර්ම දේශ­නය ඇසූ කොයි කාගේත් සිත් සතන් පිනා ගියහ. උන් වහන්සේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි දිව­යිනේ ගම්ද­නව් සිසාරා වැඩම කර­මින් බණ දහම් දෙසූහ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 'බුදු මඟ සංවි­ධා­නය' බිහි විය. ගංගො­ඩ­විල සෝම හිමි සමඟ ධර්ම දේශ­නා­ව­ලට වැඩම කිරී­මෙන් ලත් ආභා­සය ද සුමං­ගල හිමිට තම ශාස­නික සේවා­ව­ලට බොහෝ උප­කාරී වූ බව උන් වහන්සේ නිතර සිහි­පත් කරති. බුදු දහමේ හරය සොයා සැන­සි­ලි­දා­යක ජීවි­ත­යක් අපේ­ක්ෂා­වෙන් උන් වහන්සේ වෙත පැමිණි බොහෝ දෙනා සැන­සී­මට බුදු මඟ සංවි­ධා­නය ඉම­හත් පිටි­ව­හ­ලක් විය. කලක් ඉන්දි­යාවේ පැවිදි ජීවි­තය ගත කළ සුමං­ගල හිමි යෝගී අභ්‍යාස ප්‍රගුණ කළහ. බුදුන් වහන්සේ වැඩ සිටි ‍ස්ථාන දැක බලා­ගැ­නී­මට වැඩම කළේ අපි­රි­මිත බුද්ධ භක්ති­ය­කිනි. ඉන්දි­යාවේ ගත කළ කාලයේ ලද තම සමාජ හා ශාස­නික සේවා ජීවි­ත­යට ඉම­හත් පිටි­ව­හ­ලක් ලැබුණු බව සුමං­ගල නාහිමි නිතර ප්‍රකාශ කරති. සිත දියුණු කර­ගැ­නීම දෙලොව දියු­ණු­වට මඟ බව තේරුම් ගත් සුමං­ගල නාහිමි බුදු­ගුණ බල­යෙන් රෝග සුව­පත් කළ හැකි මහ­තෙර නමක් ලෙස ද ප්‍රක­ටය. විවිධ සමාජ ගැට­ලු­ව­ලින් යුත් බොහෝ දෙනා උන් වහ­න්සේගේ පිහිට පතා දෙව්රම් මහ වෙහෙ­රට පැමි­ණෙති.

මෙතෙක් අම­ර­පුර ධර්ම­ර­ක්ෂිත නිකාය හෙබ වූ කොළො­න්නාවේ සුමං­ගල නාහිමි වර්ෂ 2000ක් වූ මැයි මස 10 වැනි දින දෙව්රම් ‍විහාරයේ ඇති 'ශ්‍රී පිය­දස්සී නාහිමි' ගුණ සමරු සීමා­මා­ල­කයේ දී මාතර විම­ල­ර­ත­නා­භි­ධාන මහා නාහි­මිගේ ශිෂ්‍ය රත්න­යක් ලෙස දල්හි කර්ම උප­ස­ම්පදා වින­ය­ක­ර්මය කිරී­මෙන් අම­ර­පුර සිරි සුමන මහා නිකා­යට එක් වූහ. නිකායේ කාරක සභික ධුර­යත්, නියෝජ්‍ය ලේඛ­කා­ධි­කාරී ධුර­යත් දැරූ උන් වහ­න්සේට සිය නිකාය විසින් 2004 වර්ෂයේ දී අනු­නා­යක පද­වි­යත් පිරි­න­මන ලදී.

භාව­නාව පිළි­බඳ විශේෂ උන­න්දු­වක් දැක්වූ සිරි සුමං­ගල නාහිමි කඳු­බොඩ ජාත්‍ය­න්තර විප­ස්සනා භාවනා මධ්‍ය­ස්ථා­නය, කිරින්ද නිම­ලව ආරණ්‍ය සේනා­ස­නය, අම්බ­ල­න්ගොඩ ගල්දූව ශ්‍රී ගුණ­ව­ර්ධන යෝගා­ශ්‍ර­මය, ඉන්දි­යාවේ වාරා­නාසී යෝගී අස­පුව ආදී අධ්‍යා­ත්මික ආය­ත­න­ව­ලට ඇතු­ළත් වී යෝගී භාවනා පුහු­ණුව විශිෂ්ට ලෙස ප්‍රගුණ කළහ. භාව­නාව දියුණු කිරී­මෙන් ලබා ගත් අධි මාන­සික චිත්ත ශක්ති­යෙන් උන් වහ­න්සේගේ පිහිට පතා පැමි­ණෙන දෙස් විදෙස් දහස් ගණ­නක් සැදැ­හැ­ව­තුන් සුව­පත් කිරී­මට විශාල කැප­වී­මක් කළහ. තරුණ පිරිස් වෙනු­වෙන් විශේෂ භාවනා වැඩ­ස­ට­හ­නක් පැවැත්වූ අතර සෑම මස­කම අව­සන් ඉරු දින මාසික භාවනා වැඩ­ස­ට­හන ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහා­රයේ දී ආරම්භ කරන ලදී.

වැලි­ගම පිහිට වූ 'නිද­හස් සාම හඬ' සංවි­ධා­නයේ ප්‍රධාන අනු­ශා­සක ලෙස උතුරු නැ‍ඟෙන­හිර විප­තට පත් අස­රණ ජන­තා­වට හා යුද්ධ­යෙන් ආබා­ධිත රණ­වි­රු­වන්ට උප­කාර කිරීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කොට රටෙහි සාමය උදා කිරීමේ අර­මු­ණින් විශාල මෙහෙ­යක් ඉටු කළහ. 'සද­හම් හඬ' නමින් ධර්ම චාරිකා සේවා­වක් ආරම්භ කොට රට පුරා දුෂ්කර ගම්මා­න­ව­ලට වැඩ කර­මින් ධර්ම චාරි­කාවේ යෙදුණි. 1996 වර්ෂයේ සිට බත්ත­ර­මුල්ල සිරි සුද­ස්ස­නා­රා­මය කේන්ද්‍ර කොට බුදු මඟ සංවි­ධා­න­යෙන් සෑම මාස­ය­කම දිව­යිනේ ඓති­හා­සික විහා­ර­ස්ථා­න­යක දී බුදු මඟ ශීල සමා­දා­නය හා ත්‍රිවිධ චෛත්‍ය ආශි­ර්වාද පූජා වැඩ­ස­ට­හන් පව­ත්ව­මින් 'එදා දහම් දිව­යින නැවත ගොඩ­න­ඟමු' තේමාව මුල්කොට දැවැන්ත ශාස­නික වැඩ­ස­ට­හ­නක් ආරම්භ කරන ලදී.

1999 වර්ෂයේ දී පන්නි­පි­ටිය ශ්‍රී දෙව්රම් ‍මහා විහා­රය ඉදි­කි­රීම ආර­ම්භ­කොට වස­රක දී අංග­ස­ම්පූර්ණ විහා­ර­ස්ථා­න­යක් බවට පත් කිරීම උන් වහ­න්සේගේ ශාස­නික සේවාවේ විශි­ෂ්ට­තම කාර්යය බවට පත් විය. ඉන්ප­සුව 2000 වර්ෂයේ සිට ශ්‍රී දෙව්රම් මහා විහා­රය කේන්ද්‍ර කොට සිදු­කළ සේවා අතර ආග­මික සාමා­ජීක හා ජාතික වැඩ­ස­ට­හන් විශේෂ වශ­යෙන් සඳ­හන් කළ යුතුය.

ත්‍රිපි­ටක ධර්ම ශිලා ලේඛන ගත­කොට අනා­ගත පර­පුර උදෙසා ආරක්ෂා කිරීමේ භාර­දූර කාර්ය ආරම්භ කිරීම, කුල දරු­වන් 700කට ආසන්න පිරි­සක් සසු­න්ගත කිරීම, සූත්‍ර පිට­කය ඇතුළු ධර්ම ග්‍රන්ථ රාශි­යක් සරල බසින් ලියා ප්‍රකා­ශ­යට පත් කිරීම, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පිරි­වෙන් අංශයේ ඉල්ලීම පරිදි රටෙහි සිය­ලුම පිරි­වෙ­න්වල පරි­වේ­ණා­ධි­පති වහ­න්සේලා, පිරි­වෙන් අධ්‍යක්ෂ හිමි­ව­රුන් හා ආචාර්ය මණ්ඩල සඳහා පුහුණු වැඩ­මුළු පැවැ­ත්වීම, බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශය හා බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ ඉල්ලීම පරිදි සාම­නේර භික්ෂූන් වහ­න්සේලා පුහුණු කිරීම, ස්වාභා­වික විප­ත්වල දී අස­රණ වූ ජන­තා­වට සහන සැල­සීම, ප්‍රදේ­ශයේ ආර්ථික අප­හ­සුතා ඇති ජන­තා­වට ස්වයං රැකියා සඳහා පොලී රහිත සහන ණය ලබා­දීම හා නොමිලේ නිවාස ඉදි­ක­ර­දීම හා මර­ණා­ධාර ලබා­දීම, බුදු මවු­පි­යන්ට උප­හාර පිණිස සුද්ධෝ­දන මහා­මායා පෙර­හර වාර්ෂි­කව පැවැ­ත්වීම, මහා රාවණා රජු පිළි­බඳ පර්යේ­ෂණ පැවැ­ත්වී­මට පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­න­යට මූල්‍ය ආධාර ලබා­දීම, වයෝ­වෘද්ධ හා ගිලන් භික්ෂූන් වහ­න්සේ­ලාට මාසි­කව මුදල් ආධාර ලබා­දීම, දිව­යිනේ සෑම ප්‍රදේ­ශ­යක්ම ආව­ර­ණය කර­මින් ධර්ම දේශනා දස දහ­සක් පමණ පැවැ­ත්වීම, (කිසිදු ගමන් විය­ද­මක් ලබා නොගෙන) රට­වල් 35ක පමණ ධර්ම ප්‍රචා­රක කට­යු­තු­වල නිර­ත­වීම, ඉන්දි­යාවේ නාග්පූර් ප්‍රදේ­ශයේ පන­ස්ද­හ­ස­කට අධික පිරි­සක් බෞද්ධ­යන් බවට පත්කි­රීම, සෑම පුර පස­ළො­ස්වක පොහෝ දින­කම ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහා­රයේ සර්ව රාත්‍රික පිරිත් දේශ­නය හා රාත්‍රී බත් දන්සල පැවැ­ත්වීම අප සුමං­ගල මහා නාහිමි අතින් සිදුව ඇති ආග­මික හා සමා­ජීය සේවා­ව­න්ගෙන් බිඳක් පමණි.

2010 වර්ෂයේ දී ඉන්දි­යාවේ වරා­ණාසී විශ්ව­වි­ද්‍යා­ලයේ ශාස්ත්‍ර­පති උපා­ධිය ද, 2012 වර්ෂයේ දී එම විශ්ව­වි­ද්‍යා­ල­යෙන්ම ආචාර්ය උපා­ධිය ලබා ගත් කොළො­න්නාවේ සිරි සුමං­ගල නාහිමි දිව­යිනේ විවිධ නිකා­ය­න්ගෙන් මෙන්ම සංවි­ධා­න­වල ගෞර­වා­ද­ර­යට පාත්‍රව ලැබූ ගරු සම්මාන අප­ම­ණය. සර්වෝ­දය පද­නම විසින් 'කම්ම­ට්ඨාන විශා­රද', ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර ගුණ සමරූ පද­නම විසින් 'සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්ම වෛශා­රද්‍ය ලෝක­ත්ථ­චාරී', අම­ර­පුර සිරි සුමන මහා සංඝ සභාව විසින් 'ධම්මා­ධි­ධම්ම රාජාධි රාජ­ගුරු ගණා­ච­රිය සද්ධර්ම වාගී­ෂ්වර ප්‍රව­චන කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාස­න­ජෝති ත්‍රිපි­ටක විශා­රද', එංග­ල­න්තයේ ලෝක බෞද්ධ පද­න­මෙන්න් 'ශ්‍රී සම්බුද්ධ ධර්ම විශා­රද', අම­ර­පුර මහා සංඝ සභා­වෙන් 'ත්‍රිපි­ටක විභූ­ෂණ සද්ධර්ම වාගී­ෂ්වර' යන සම්මා­න­ව­ලින් පිදුම් ලබා සිටින කොළො­න්නාවේ සිරි සුමං­ගල මහා නාහිමි ත්‍රිපි­ටක විභූ­ෂණ, 'සද්ධ­ර්ම­වා­ගී­ෂ්වර' සම්මා­න­යෙන් ද පිදුම් ලැබ ගරු සම්භා­ව­නා­වට පාත්‍ර වී සිටී.

සසර පෙර පින මතුව උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමි­යට පත් වූ උන් වහන්සේ බුද්ධ දේශ­නා­වට අනුව පුරා වසර 36 ක් මහණ දම් පුරා ඇත. 'චරථ භික්ඛවේ චාරිකං බහු­ජන හිතාය බහු­ජන සුඛාය' බුද්ධ දේශ­නාව අර්ථ­වත් කර­මින් ගම්ද­නව් සිසාරා සද­හම් දෙස­මින් ලෝ සතුන් සුව­පත් කිරී­මට අප­මණ වෙහෙස දැරූ ආචාර්ය කොළො­න්නාවේ සිරි සුමං­ගල අභි­නව මහා නාහි­මිට උතුම් ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන්ගේ හා ශ්‍රී දළදා වහ­න්සේගේ ආර­ක්ෂාව හා ආශි­ර්වා­දය ලැබ නිදුක් නිරෝගී සුවය හා චිර ජීව­නය පතමු.

සසුන් කෙත ඔප­වත් කළා
-  අග්ග­ම­හා­ප­ණ්ඩිත කොටු­ගොඩ ධම්මා­වාස මහා නාහිමි

ශ්‍රී ලාංකික භික්ෂූන් වහ­න්සේලා අතර ආචාර්ය කොළො­න්නාවේ ශ්‍රී සුමං­ගල මහා­නා­යක ස්ථවි­ර­යන් ද ලක් සසු­නට අමිල සේවා­වක් ඉටු කළ ඉටු කරන ආද­ර්ශ­වත් මහ තෙර­න­මක් බව නොකි­යාම බැරිය. උන් වහන්සේ ආග­මික සහ සමාජ සේව­මය කට­යු­තු­වල නිරත වුණි. මහ­ර­ගම ධර්මා­ය­ත­නය සහ හුණු­පි­ටියේ ගංගා­රා­ම­යෙන් ද අධ්‍යා­ප­නය දියුණු කර ගත් සුමං­ගල පොඩි හාමු­දු­රුවෝ, 1989 ජූලි මාසයේ දී උප­ස­ම්ප­දා­වට පත්ව දඹ­දිව බර­ණැස දී ආචාර්ය උපා­ධිය ද ලබා ලංකා­වට පැමිණ, පුළුල් ශාස­නික සේවා­වක් ආරම්භ කළහ. ධර්ම දේශනා සහ භාවනා පන්ති­ව­ලට ජන­තාව හුරු කර­ව­මින් කළ සේවය බෙහෙ­වින්ම අගය කළ යුතුව තිබේ.

ගිලා­නෝ­ප­ස්ථා­න­යට ද සහජ ආශා­වක් ඇති ශ්‍රී සුමං­ගල මහා නාහිමි දැනුදු ඒ ගිලන් සේවාව අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යති. උන් වහ­න්සේ­ගෙන් සිදු වු සිදු වන අමිල සේවාව අගය කිරීම් වස් අම­ර­පුර සිරි­සු­මන දඩළු පාර්ශ්ව­යෙහි මහා නායක පද­වි­යෙන් ද පුදනු ලැබූහ. එම පාර්ශ්වයේ මහා නායක පද­විය දැරූ මාතර විම­ල­ර­තන මහා නායක හිමිගේ අප­ව­ත්වී­මෙන් පසු, ඉකුත් ජූලි මාසයේ හත් වැනි දින සිරි­සු­මන දඩළු පාර්ශ්වීය ගරු­තර කාරක සංඝ සභා­වෙන් නිකායේ මහා නායක පද­විය පිරි නැමී­මෙන් ද උන් වහ­න්සේට ඉහ­ළම ගෞර­වය දක්වා ඇත. දේශීය විදේ­ශීය රට රාජ්‍ය­වල ද ධර්ම දේශනා සිදු කර ඇති ආචාර්ය කොළො­න්නාවේ ශ්‍රී සුමං­ගල මහා­නා­හි­මිට තව බොහෝ කාල­යක් ජාතික, ආග­මික සහ සමාජ සේවා­මය කට­යුතු කිරී­මට ශක්ති­යත්, බල­යත්, නිරෝ­ගී­භා­ව­යත් වඩ වඩාත් ලැබේවා යි ප්‍රාර්ථනා කරම්හ.

සුච­රි­ත­වත් සමා­ජ­යක් උදෙසා කළ ‍මෙහෙවර ප්‍රශං­ස­නී­යයි
- ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන

ස්වකීය පැවිදි දිවි­යෙන් අපේ­ක්ෂිත අනල්ප වූ ආග­මික සාමා­ජීය හා ජාතික කාර්ය­යන් රැසක් එදා මෙදා තුර ඉෂ්ට සිද්ධ කළා වූ පන්නි­පි­ටියේ ශ්‍රී දෙව්රම් මහා විහාර නිර්මාතෘ ආචාර්ය කොළො­න්නාවේ සුමං­ගල හිමිගේ මහා නායක පදවි ප්‍රාප්තිය පිළි­බඳ මාගේ ගෞර­වය ප්‍රසා­දය පළ කරමි.

භාව­නාව විෂ­යෙන් මහත් උන­න්දු­ව­කින් කට­යුතු කළ උන් වහන්සේ මෙරට ආරණ්‍ය සේනා­සන, භාවනා මධ්‍ය­ස්ථාන හා යෝගා­ශ්‍රම ඇසු­රෙන් ද, භාර­තීය අධ්‍යා­ත්මික ආය­ත­න­ය­න්ගෙන් ද මහත් ප්‍රාගු­ණ්‍ය­යක් ලදහ. එම­ඟින් උන් වහ­න්සේට සැදැ­හැ­ව­තුන් වෙනු­වෙන් මහත් ශාන්ති­යක් අත් කළ දිය හැකි විය.

ජාතික සමා­ජීය වශ­යෙන් ද උන් වහන්සේ බොහෝ පරෝ­ප­කාර වැඩ­ස­ට­හන් සහන සේවා ආරම්භ කොට දැනුදු එබඳු විවිධ ජන ආධාර සේවා අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කර­මින් සිටිති.

ධර්ම චාරිකා සේවා, තරුණ ප්‍රති­සං­ව­ර්ධන, ශීල සමා­දාන හා ආශි­ර්වාද පූජා වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම ආදී සුච­රි­ත­වත් සමා­ජ­යක් උදෙසා වන අංග­ස­ම්පූර්ණ ආග­මික ජාතික හා ශාස­නික සේවා­වක් කොළො­න්නාවේ ශ්‍රී සුමං­ගල හිමි විසින් මේ වන විට සපු­රනු ලැබ ඇත.

රට­වල් 35ක පමණ ධර්ම ප්‍රචා­රක කට­යු­තු­වල නිරත වෙමින් ද, ත්‍රිපි­ටක ධර්මය ශිලා ලේඛ­න­ගත කොට අනා­ග­තය උදෙසා සුර­කි­මින් ද, මහත් භාර­දුර කාර්ය­යන් රැසක දැනට ද නියැ­ළෙ­මින් සිටින කොළො­න්නාවේ සුමං­ගල හිමිට දඬළු පරා­යත්ත සිරි­සු­මන මහා නිකායේ කාරක සංඝ සභා­වෙන් පිරි­න­මන ලද මහා නායක ධුරය වෙනු­වෙන් හා ඒ පිළි­බඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදා­නය කිරීමේ මහෝ­ත්ස­වය වෙනු­වෙන් මාගේ ගෞරව පූර්වක ශුභා­ශිං­ස­නය ප්‍රකාශ කරනු කැමැ­ත්තෙමි.

ශාස­නික මෙහෙ­ව­ර සුවිශේෂයි
- අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ

ශ්‍රී ලාංකේය සමා­ජය සහ බුදු දහම අතර පව­තින්නේ අතී­තයේ සිට පැවත එන යාව­ජීව සමීප සම්බ­න්ධ‍තා­වකි. අප සමා­ජයේ අභි­වෘ­ද්ධි­යට බුදු දහ­මෙන් ලද ආලෝ­කය මෙන්ම මහා සංඝ­ර­ත්නය වෙතින් ලද නාය­ක­ත්වය සහ අනු­ශා­ස­ක­ත්වය ද මහා පන්න­ර­යක්ම විය. අදත් බුදු සසු­න­ටත්, මහා සංඝ­ර­ත්න­ය­ටත්, ජන­තා­ව­ටත් මඟ පෙන්වනු ‍පිණිස සංඝ මූල­ස්ථා­න­යෙන් සුවි­ශේෂ සංඝ පීතෘෘන් වහ­න්සේලා වෙත නාය­කත්ව වග­කීම් පව­රනු ලැබේ.

එකී පෙර සඟ සිරිත අනුව යමින් පන්නි­පි­ටිය ශ්‍රී දෙව්රම් මහා විහාර නිර්මාතෘ ආචාර්ය කොළො­න්නාවේ සිරි සුමං­ගල නාහිමි වෙත, දඬළු පර­ම්ප­රා­යත්ත අම­ර­පුර සිරි සුමන පාර්ශ්වයේ නව වැනි මහා නායක පද­විය පිරි­නැ­මීම සම්බ­න්ධව මාගේ හෘද­යාං­ගම ශුභා­ශිං­සන පිරි­න­මමි.

උන් වහන්සේ තිස්පස් වස­රක් ඉක්ම වූ ස්වකීය පැවිදි දිවියේ සුවි­ශේෂ ශාස­නික, සමාජ මෙහෙ­ව­රක් ඉටු කළ මහා තෙර­න­මකි. පන්නි­පි­ටිය ශ්‍රී දෙව්රම් මහා විහා­රය කේන්ද්‍ර කර ගනි­මින් දෙස් විදෙස් පතල ආග­මික, සමාජ සේවා රැසක් ඉටු කිරී­මට උන් වහන්සේ සමත් වූහ.

බුදු සසු­නත්, සමස්ත දේශ­යත් වෙනු­වෙන් ස්වකීය මෙහෙ­වර අඛ­ණ්ඩව ඉටු කිරී­මට කොළො­න්නාවේ සිරි සුමං­ගල මහා නාහිමි වෙත ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කර­මින්, ඒ සඳහා නිදුක් නිරෝගී සුව­යත්, චිර ජීව­න­යත් මෙත් සිතින් ප්‍රාර්ථ­නය කරමි.


නව අදහස දක්වන්න