අත්කම්වලට අනාගතයේ හොඳ වෙළෙඳ පොළක් ලබා දෙනවා | දිනමිණ

අත්කම්වලට අනාගතයේ හොඳ වෙළෙඳ පොළක් ලබා දෙනවා

අත්කම් නිර්මාණය සඳහා හොඳ වෙළඳපලක් අනාගතයේ දී ඇති වන බව තම විශ්වාසය බවත් ඒ හරහා අත්කම් නිර්මාණකරුවන්ට හොඳ වෙළඳපල අවස්ථාවන් අනාගතයේ දී ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

උතුරු පළාත හා නැගෙනහිර පළාත් වල සම්ප්‍රදායීක අඟලුම් හා අත්කම් නිර්මාණ නඟා සිටුවීමේ ව්‍යාඵෘතියක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් එය 2019 දී නිමාවීමට නියමිත බවත් ඒ මහතා කීවේ ය.එයට සහය දීම සම්බන්ධව යුනෙස්කෝ හා IRCI සංවිධාන වලට ස්තූතිවන්ත වන බවත් කීවේ ය.

මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතයෙන් අත්කම් සිදු කිරීම පිළීබඳව වැඩමුළු මාලාවක් සංවිධානය කර තිබෙන බවත් එමඟින් අත්කම් ශිල්පීන්ට පැහැබර අනාගතයක් ගොඩනැගෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

මෙම අත්කම් නිර්මාණකරුවන් සඳහා විවිධ පුහුණුකිරීම් පාඨමාලා ලබා දීමට කටයුතු කරන බවත් මේ වන විටත් විවිධ පාඨමාලා මොවුන් සඳහා ක්‍රියාත්මක කර තිබෙන බවත් පැවසූ ඒ මහතා ලංකාව පුරාම විසීරීගයක්ම නොව ප්‍රදර්ශනයක් ද වන බවත් පැහැදිලි කළේ ය.

මෙම කටයුත්ත සම්පාදනය කිරීම පිළිබඳව ජාතික ශිල්ප සභාවට හා මේ සඳහා සහභාගී වීම පිළීබඳව එම අත්කම් නිර්මාණකරුවන්ට ද ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා කීවේ ය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ බණ්ඩාරනායක ජාතයන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ දී පෙරේදා (12) පැවති “ ශිල්ප - අභිමානී 2018 “ , ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයට සහභාගී වෙමිනි.

මෙම ප්‍රදර්ශනය පෙරේදා 12 විවෘත විම සිදු වු අතර ලබන 16 වන දා දක්වා පැවැත්වේ . එම සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා , කෘෂිකරුම අමාත්‍ය මහින්ද අමරවීර මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා , මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා , ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සාන්දු මහතා , අමාත්‍යංශ ලේකම් කේ . පියරත්න මහත්මිය, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානී බෝගොල්ලාගම මහත්මිය , ඇතුළු නිර්මාණකරුවෝ රැසක් සහභාගී වූහ.

“ ශිල්ප අභිමානී 2018 “ ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ වන්නේ රට පුරා විසිරි සිටින ශිල්පීන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමටත් ,එම හැකියාවන් කලඑළි ගන්වමින් තරඟයක් ලෙස පවත්වා ශිල්පීන්ට ජාතික මට්ටමින් වටිනාකමක් එකතු කිරීම හා අභිමානයක් ඇති කරලීමයි.එහි දේශීය හා විදේශීය නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රදර්ශන කුටි රැසක් සංවිධානය කර තිබිණි.

එහිදී ස්වර්ණ සම්මාන 02 ක් සම්ප්‍රදායීක හා නූතන නිර්මාණ සඳහා ලබා දීම සිදු කෙරුණූ අතර ඒ සමඟ මුදලින් ලක්ෂ 5 ක් හා සහතිකපත්‍රයක් ප්‍රදානය කරනු ලැබිණී. එම ස්වර්ණ සම්මාන 02 සම්ප්‍රදායීක අංශය නිරූපනය කරමින් මධ්‍යම පළාතේ බුද්ධික බාලසූරිය මහතා සහ නූතන අංශය නිරූපනය කරමින් දකුණූ පළාතේ සමන් කුමාර මහතා විසින් හිමි කරගන්නා ලදී.

එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීවේ ය.

ශ්‍රී ලංකාව පුරා විසීරි තිබෙන ඓතිහාසික , සම්ප්‍රදායික උරුමයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන අපේ කලාව , සංස්කෘතිය , සභ්‍යත්වය , හා බැඳණූ අපේ කලාකරුවන් විසින් අතීත උරුමකම් වර්තමානය හරහා අනාගතය වෙත රැගෙන යනවා.ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්ප්‍රදායීක දේවල් පිළීබඳව විශාල කාලයක සිට බැඳිමක් තිබෙනවා. ඒ සමඟම නේපාලය හා අනිකුත් සහෝදර රටවල් ද සම්ප්‍රදායීක කලාවන් සමඟ නූතනත්වයට රැගෙන යන්නේ කොහොමද යන්න ගැන අමාත්‍යංශය සිතනවා. අද වැඩවසම් සමාජ ක්‍රමයක් නැහැ. තාත්තාගෙන් පුතාට ඒ කලා නිර්මාණ ගලා යන සම්ප්‍රදායක් නැහැ. එහිදී මෙම උරුමයන් ඊළඟ පරම්පරා දක්වා ද රැගෙන යාමේ අභීයෝගය ජය ගනිමින් සිටිනවා.

මෙම අත්කම් කලා නිර්මාණයන්ගේ සඳහන්ව තිබෙන මුදල එහි සංකේතීය වටිනාකමක් පමණ යි. අපේ කලා නිර්මාණයන් , අතීත සම්ප්‍රදායන් රුපියල් ශත වලින් මනින්නට බැහැ. නමුත් කලා කරුවන්ගේ ජීවන අරගලය වෙනුවෙන් අපේ කලා නිර්මාණ දේශීය , විදේශීය වෙළඳපල ඉලක්ක කරගෙන කටයුතු කීරිමට බලාපොරොත්තු වෙනවා. ඒවාගේම මේ කලා නිර්මාණයන් අලෙවි කිරීමේ දී අතරමැදියන් විසින් මුදල් සූරාකෑම සිදු වන බව අමතක නැහැ.එය වැළැක්වීම සඳහා ජාතික ශිල්ප සභාව විසඳුම් සොයමින් සිටිනවා.

නව තාක්ෂණික ක්‍රම , ෆේස්බුක් වැනි මාධ්‍යන් භාවිතා කරමින් සෘජුවම සැපයුම්කරුවන් හා පාරිභෝගිකයන් මුණගැස්වීම කළ හැකි වනවා. ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන යාම තුළින් විදේශිකයා ලංකාවට පැමිණ , අදාළ භාණ්ඩ වල මිල ගණන් දැනගෙනම එම අදාළ ස්ථාන වෙතම ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන්න පුළුවන්. ඒ නිසා අතරමැදියන් අතරට යාම වැළැක්වීම සඳහා තාක්ෂණය භාවිතා කළ යුතු යි. අතීතයේ දී ශ්‍රී ලංකිකයන් ලංකාවට පැමිණී විට දළදා මාලිගාව කියා කොළඹ පන්සල් පෙන්වූ අවස්ථා තිබුණා. නමුත් අද එසේ කරන්නට බැහැ. තාක්ෂණය සමඟ ඒ සියල්ල වැළැක්විලා.

එහිදී අදහස් දක්වමින් ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සාන්දු මහතා මෙසේ කීවේ ය.

මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට ලැබීම පිළීබඳව මම ඉතාමත් සතුටු වෙනවා.අත්කම් නිර්මාණයන් හා නිර්මාණකතරුවන්ගේ හැකියා මේ හරහා ඉදිරිපත් වෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතීතයේ සිටම අත්කම් නිර්මාණ කලාව පිළීබඳව සම්බන්ධකම් තිබුණා.

ඇම්බැක්කේ දේවාලය වැනි ස්ථාන ගත්විට ශ්‍රී ලංකාවේ ලී කැටයම් අත්කම් නිර්මාණයන් ඉතාම හොඳින් පෙන්නුම් කරනවා.සෑම අත්කම් නිර්මාණයක්ම අනන්‍ය වූ බවක් පෙන්නුම් කරනවා.

ලංකාවේ අත්කම් නිර්මාණයන් ඉන්දියාවේ ද ප්‍රසිද්ධයි. ඉන්දියාවේ ද පවත්වන වාර්ෂීක අත්කම් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ගේ සහභාගී වීමද සිදු වෙනවා.

අද කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණ දක්ෂතා හරහා විශ්මය දනවනවා. නමුත් මෙම නිර්මාණ වල වටිනාකම අති විශාලයි. මේවා ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතාම වටිනවා.මම මේ කලාකරුවන්ට මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම පිළීබඳව සුභ පතනවා.

චන්දිමා කරුණාරත්න
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල


නව අදහස දක්වන්න