ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වවන්න අවසර ලබා ගන්න ඇමැති මණ්ඩලයට පත්‍රිකාවක් | දිනමිණ

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට කංසා වවන්න අවසර ලබා ගන්න ඇමැති මණ්ඩලයට පත්‍රිකාවක්

සන්ධ්‍යා කරුණාරත්න
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ගැටලු සාකච්ඡා කළ අයුරු.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කර ඇත.

එය ඉදිරියේදී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ කංසා තහනම් කර ඇති අතර එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත් ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලු ඇති නොවන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඊශ්‍රාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර කංසා සමුළුවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍යවරුන් යොමු කිරීමට ද ඇමැතිවරයා පියවර ගෙන තිබේ.

එම සමුළුවට සහභාගි වන වෛද්‍යවරුන් කංසා වගා කිරීම සහ අලෙවිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී ඊයේ (13) පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සඳහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉවත් කර ඇත.

කැනඩාව ඇතුළු රටවල් රැසක් පර්යේෂණ සිදු කරමින් කංසා මඟින් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද ඇමැතිවරයා කීය.

ආයුර්වේද ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා, අබිං හිඟවීම ගැටලුවක් බව ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා පවසයි

රස බෙහෙත් නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් යුත් අලුත් කංසා අවශ්‍ය බව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

රට පුරා පළාත්වල සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය කංසා දැනට ලබාදෙන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාවෙනි. මෙම කංසා ප්‍රවාහනය කිරීමේදී සහ බෙදාහැරීමේ දී ගැටලු මතු වන අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

පෞද්ගලික අංශය මඟින් තීරු බදු රහිතව ආනයනය කරන ඖෂධ අධික ප්‍රමාණයක් ගෙන්වන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිය පරික්ෂා කිරීමක් ද සිදු නොවන බව මෙහිදී හෙළි විය.

ඇතැම් පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාරිකයන් තීරු බදු සහනයට මුවා වී ගෙන්වනු ලබන ඖෂධ වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා බවට පැමිණිලි වාර්තා වී ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එවැනි විෂමාචාර ක්‍රියා පිළිබඳව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතාට උපදෙස් ලබා දීම සිදුකෙරිණ.

මේ අවස්ථාවට පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් වී.ජී.එස් ගුණතිලක, අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

නව අදහස දක්වන්න