සිවුවැනි කාර්මික විප්ලවයේ අප කොටස්කරුවෙක් | දිනමිණ

සිවුවැනි කාර්මික විප්ලවයේ අප කොටස්කරුවෙක්

පෞද්ගලික අංශයට අත දෙන්න ආණ්ඩුව සූදානම්

* පසුගිය කාලේ ගත් විදේශ ණය නිසා රට ආගාධයට ගියා
* ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අභියෝගයන්ට මුහුණදීමට සිදුවෙනවා
* වෙළෙඳ නොවන අංශවල වර්ධනයෙන් ගෙවුම් ශේෂ පරතරය තවත් පුළුල් වුණා
* ඉදිරියේ දි බදු ක්‍රමයට අවශ්‍යය සංශෝධන ගෙනෙනවා 
* අපනයනය වැඩි කර ණය උගුලෙන් ගැලවෙමු

ඉහළ ඵලදායීතාව සහිත අංශ සංවර්ධනය කිරීමට නිරන්තරවම වාණිජ අංශ එනම් ඵලදායීතාව අතින් ඉහළ අංශ සංවර්ධනයට පියවර ගැනීමත් ඒවාට ලැබෙන ආයෝජන ප්‍රමාණය වැඩි කිරීමත් යන අත්දැකිම් හරහා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳත් සැලසුම් සකස් කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් නැවතත් වාණිජ අංශ ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹිමට අපි අපේක්ෂා කරන බවත් ඒ මහතා කීවේ ය.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවුයේ වෙළෙඳ නොවන අංශවල සිදුකළ සංවර්ධනයන් හරහා බවත් ඒ වර්ධනය ඇතිවුයේ අපනයන අංශ ප්‍රවර්ධනය කිරීමෙන් නොවන බවත් පැවසූ අගමැතිවරයා එය වෙළෙඳ හා ගෙවුම් ශේෂ පරතරය තවත් පුළුල් වීමට හේතුවක් වු බවත් රට තව තවත් විදේශ ණය මත යැපීම ඉහළ යාම හරහා සමස්ත රට ආගාධයට ඇද වැටුණ බවත් සඳහන් කළේ ය.

දැනට ක්‍රියාත්මක වන බදු පැනවීම් අත්තෝනෝමතික තීරණ නොවන බවත් ඒවා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව බවත් ඒ මහතා පැහැදිලි කළේ ය.

තමා ඉදිරියේ දී සහභාගිවීමට නියමිත ලෝක ආර්ථික සංසදයේ දී ආසියාන් රටවල ඇතිවන සිව්වැනි කාර්මික විප්ලවය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් එම විප්ලවයේ අප කොටස්කරුවකු වීමට නම් ණය උගුලෙන් ගැලවෙන්නට උවමනා බවත් එ සඳහා අපනයනය වැඩි කර ගැනීමට අවශ්‍යය බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පසුගිය 09 වැනිදා පැවැති ICCSL සහ CIMA ආයතනයන් මගින් තෝරාගත් සමාගම් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගි වෙමිනි.

එහි දී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේ ය. වාණිජ මණ්ඩලයේ සාමාජික සමාගම් ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ප්‍රථම කොටම මාගේ සුබාශිංසන පිරිනැමීමට කැමතියි. ඒ වගේම රටේ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සිය දායකත්වය සපයන අනෙකුත් සියලුම ආයතනත් මේ අවස්ථාවේ සිහිපත් කිරීමට මම කැමතියි.

ගෝලීය ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මේ කාලය එතරම් සුබදායි නැහැ. මේ තත්ත්වය ඉදිරියේ දී තවත් වෙනස් අතට හැරෙන්නට පුළුවන්. කොහොම වුණත් අපි අපගේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණෙන් නැවතත් වාණිජමය වටිනාකම අතින් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි යොමුවීමේ දී අපිට අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වෙළඳ අපනයන දක්වන දායකත්වය 2000 වසරේ දී 23.13% පැවතුණත් එය 2017 වසර වනවිට 13% ක් දක්වා පහත වැටී තිබෙනවා. අමිහිරි වුවත් සත්‍යය තත්ත්වය එයයි. අපේ රටේ වෙළෙඳාම සඳහා පවතින විවෘතභාවය 77.4% සිට 37.14 දක්වා පහත ගොස් තිබෙනවා. මේ තත්ත්වය ඇතිවුනේ කොහොමද, ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද?

2010 වර්ෂයේ සිට 2012 දක්වා අපි අපගේ වර්ධන වේගය 8% ක් වශයෙන් පවත්වාගෙන ආවා. නමුත් ඒ වර්ධන වේගය අපි ලබා ගත්තේ වාණිජ නොවන අංශවල සංවර්ධනය තුළින්. ඒ ආර්ථික වර්ධන වේගයට ළඟාවීමට බහුල වශයෙන් ඉදිකිරීම් සහ පොදු යටිතළ පහසුකම් සංවර්ධන කටයුතු දායකත්වය සැපයුවා. එතැන් පටන් අපේ රටේ ආර්ථික වර්ධනය අඩාල වීමට පටන් ගත්තා. අපේ ආර්ථික වර්ධන වේගය එතැන් පටන් 4% ක් 4.5% ක් වැනි අංශවලින් දැක්වුණා. කන්න හතරක් හෝ පහක් පැවැති නියඟයත් දැඩි ගංවතුර තත්ත්වයත් මෙසේ වර්ධන වේගය අඩුවීමට හේතු වුණා.

එනම් එවකට සිදුවුණු ආයෝජන සියල්ල සිදු කෙරුණේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීමට හැකියාව පවතින අංශවලට පරිබාහිරව බව මේ කරුණු සියල්ල අධ්‍යයනය කිරීමේ දී වැටහෙනවා. වාණිජ අංශවල සංවර්ධනයට නිසි ආයෝජන ලැබුණේ නම් ඒවායේ ධාරිතාව පුළුල් කිරීමට සහ ඵලදායිතාව ඉහළ දැමීමට හැකියාව ලැබීම හරහා රටේ ආර්ථික වර්ධනය ඉහළ අගයක් බවට පත්කිරීමට තිබුණා. අපේ රටේ අපනයනවල දළ වර්ධන අනුපාතය ගතහොත් එය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් තුනෙන් එකක් පමණයි.

එහෙත් බංගලාදේශය වැනි ඉහළ ඵලදායිතාවක් සහිත අංශ සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් රටක් ගෙන බැලූවොත් ඔවුන්ගේ අපනයන ඉපයීම් ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 35ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ අපනයන ඉපයීම් තුන් ගුණයකින් ඉහළ යෑමට හේතුව වූයේ ඔවුන් නිරන්තරවම වාණිජ අංශ එනම් ඵලදායිතාව අතින් ඉහළ අංශ සංවර්ධනයට පියවර ගැනීමත්, ඒවාට ලැබෙන ආයෝජන ප්‍රමාණය වැඩි කිරීමත් නිසයි. එසේ නම් අපේ රටේ අනාගතය පිළිබඳත් අපි සැලසුම් සකස් කළ යුත්තේ එම අත්දැකීම් ආදර්ශයට ගැනීම හරහායි.

පසුගිය කාලයේ සිදුවූ තවත් අවාසි සහගත ක්‍රියාකාරකමක් නම් පසුගිය රජයෙන් ලබාගත් විදේශ ණය මුදල් ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමයි. 2012 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ පුත්තලම බලාගාර ව්‍යාපෘතිය ආදිය සඳහා රුපියල් ට්‍රිලියන 1.7ක් වැය වුණා. වාසනාවකට මෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව වැඩපිළිවෙළට එළඹිම හරහා හම්බන්තොට වරාය වෙනුවෙන් වූ ණය ආපසු ගෙවීමෙන් නිදහස් වීමට අපට හැකියාව ලැබුණා. මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද එවන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමකට එළඹිමට අපි අපේක්ෂා කරනවා. නමුත් අපට ඒ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියෙන් නිදහස්වීමට ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. ලබන 2019 වර්ෂය සඳහා අපට ගෙවීමට සිදුවන ඩොලර් බිලියන 12ක මුදලින් හතරෙන් පංගුවක් එනම් ඩොලර් බිලියන 2ක් හෝ 3ක් විදේශීය ණය වශයෙන් ආපසු ගෙවීමට සිදුවෙනවා.

මෙය අප රට හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයක්. මෙය සැකෙවින් දක්වනවා නම් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවුණේ වෙළෙඳ නොවන අංශවල සිදුකළ සංවර්ධනයන් හරහායි. ඒ වර්ධනය ඇතිවුණේ අපනයන අංශ ප්‍රවර්ධනය කිරීමෙන් නොවේ. මෙය වෙළෙඳ හා ගිණුම් ශේෂ පරතරය තවත් පුළුල් වීමට හේතුවක් වුණා. ඒ විතරක් නොවෙයි. රට තව තවත් විදේශ ණය මත යැපීම ඉහළ යාම හරහා සමස්ත රට ආගාධයට ඇද වැටුණා. ලෙහෙසියෙන් ගොඩ ඒමක් නැති ආකාරයේ ආර්ථික වර්ධන ගැටලු මතුකිරීමට මෙය හේතුවක් වුණා.

වඩාත් දරුණු සත්‍යය නම් පසුගිය වසර 10 පුරාවටම විදෙස් ණය ආධාර කොතෙකුත් ලබා ගත්තත් ඒවා රටේ වාණිජ අංශ ප්‍රවර්ධනය කිරීමට හෝ ඒවාට අනුග්‍රහය ලැබෙන ආකාරයෙන් ආයෝජනය වුණේ නැහැ. රටේ ආර්ථික වර්ධනයට පුළුල්ව දායකවීමට හැකිවන ආකාරයෙන් වාණිජ අංශ සංවර්ධනය නොවීම හේතුවෙන් ණය ආපසු ගෙවීම හරහා අපේ ආර්ථිකයට එල්ල වන පීඩනය යම් තරමකට හෝ අවම කිරීමට වාණිජ අංශවල දායකත්වය ලබා ගැනීමට නොහැකි වුණා. ඒ වගේම වාණිජමය නොවන අංශවල ව්‍යාපෘතිය තුළින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වුණා. අපිට අද මුහුණපෑමට සිදුව තිබෙන ප්‍රබලතම අභියෝගය මෙයයි.

මෙවැනි තත්ත්වයන් හමුවේ තමයි වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙළ දෙස අවධානය යොමු කිරීමට සිදුව තිබෙන්නේ. පළමු කාරණය වන ණය ආපසු ගෙවීම සඳහා ඉහළ ආදායමක් ඉපයිය යුතු වෙනවා. අපි ඉහළ ආදායමක් උපයා ගන්නේ කෙසේද? දැනට ක්‍රියාත්මක වන බදු පැනවීම් අත්තෝනෝමතික තීරණ නොවෙයි. ඒවා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවයි. මොකද ඔවුන් තමයි ඒ බදු ක්‍රමය හඳුන්වා දුන්නේ. මේ ගැන ප්‍රශ්න තිබෙනවා. ඒත් පළමු වසර මේ ආකාරයට ක්‍රියාත්මක වීමට ඉඩ හැර ඉන් පසු අපි සංශෝධනවලට යොමු වෙනවා. ඒ පිළිබඳ අපි දැනටමත් කොළඹ හා පළාත්බද පෞද්ගලික අංශ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා බෙහෙවින් සාර්ථක බව අපට වැටහෙනවා.

ඒ විතරක් නොවෙයි, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තුළින් නැවතත් වාණිජ අංශ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන වාණිජ නොවන අංශ ඉලක්ක කරගත් සංවර්ධනයේ සිට වාණිජමය අංශ මූලික සංවර්ධනයකට යොමුවීමේ දී වාසි මෙන්ම අවාසි අත්වන අයත් ඉන්න පුළුවන්. වාසි ලබන අය නිශ්ශබ්දව ඉන්නත්, පාඩු ලබන අය චෝදනා කරන්නත් පටන් ගනීවි. නමුත් ඒක අපේ රටේ ස්වභාවය. කොහොම වුණත් මේක හැකියාවන් අතර ගැටුමක් මිසක් නොහැකියාවන් අතර ගැටුමක් නොවෙයි. රටේ වර්තමාන පාලනය නිසැකවම අභියෝගයක් වන බව අපි දැනගෙන හිටියා. මීට පෙර පැවැති ආණ්ඩුවෙන් බලය අපි අතට ගනිද්දි මෙවන් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවන බව අපි දැනගෙන හිටියා.

නමුත් අපි අතහැරියේ නැහැ. අපි ඇදගෙන වැටුණෙත් නැහැ. මනා ආර්ථික කළමනාකරණයක් සහිතව ඉදිරියට යන්න අපිට 2019 වසර තුළ හැකියාව තිබෙනවා. එහෙනම් මේ අභියෝගය භාරගෙන නොබියව ඉදිරියට යන්න හැකියාව ඇති පෞද්ගලික අංශයක දායකත්වය අපිට මේ සඳහා අවශ්‍යයයි. එසේ ඉදිරි පිම්මක් ගන්න හැකියාව තිබෙන සියලූ දෙනාට අතදීමට ආණ්ඩුව සූදානම්. ඒ ගමන ඉක්මන් එකක් වුණත් හෙමින් එකක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. නිවැරදි මාර්ගය තෝරාගෙන ඉදිරියට යෑම පමණයි අවශ්‍යය වන්නේ. අපේ රටේ අනාගතය සකස් කිරීම අපගේ වගකීමයි. ඒ පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය යි.

මා ඉදිරියේ දී සහභාගිවීමට නියමිත ලෝක ආර්ථික සංසදයේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන මාතෘකාව වන්නේ ආසියාන් රටවල ඇතිවන සිව්වැනි කාර්මික විප්ලවය පිළිබඳයි. අපේ රට ගැන හිතන විට මට ඇත්තටම ඇතිවුණේ කනගාටුවක්. ආසියානු රටවල් එතෙක් දුර ගොස් තිබෙන අවධියක අපේ රට කොතැනකද? අපිටත් ඒ විප්ලවයේ කොටස්කරුවකු වීමට අවශ්‍යය නම් අපි අපේ ණය උගුලෙන් ගැලවෙන්න වුවමනායි.

ඒ සඳහා අපි අපේ අපනයන වැඩිකරන්න වුවමනායි. අපනයන වැඩිකිරීමට නම් සිව්වැනි කාර්මික විප්ලවයකට යා යුතුයි. අපිට ආපසු ගමනක් ගැන හිතන්න බැහැ. අපිට අපේ ගමන ආරම්භ කරන්න තේවලින් සහ ඇඟලුම්වලින් පුළුවන් වුණා. නමුත් අපිට ඒ මතම එල්බගෙන ඉන්න බැහැ.

නව ගෝලීය ආර්ථිකයට සරිලන ආකාරයට අපගේ ආයතන සහ සමාගම් හැඩගැන්වීමේ අරමුණෙන් අපි වෙළඳ ගැලපුම් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සූදානම්. එම ප්‍රතිපත්තිමය යෝජනාවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත්කොට තිබෙනවා. අපි තව තවත් තරගකාරි විය යුතු වෙනවා. අපි අපේ අභියෝගවලට මුහුණදීමට දේශපාලනමය ක්‍රමවේදයක් යොදා ගැනීම වැඩදායි වෙනවා.

මේ ගමනේ දී ඉදිරියට යන ඕනෑම කෙනෙකුට අතදීමට අපි සූදානම්. හෙමින් වුවත් නිවැරදි මාවතේ ඉදිරියට යාමයි අවශ්‍ය වන්නේ. මා සිතන්නේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ අනෙකුත් සංවිධාන, විශේෂයෙන්ම වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය මේ අභියෝගය සඳහා එක්වී සිටිනවා. සුරැකී ඉදිරියට යා හැක්කේ මේ අභියෝගයට මුහුණ දීමෙන් පමණයි. ඉදිරි වසර 10 තුළ එළැඹෙන මේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් කවුරුන්ද? අප ඉදිරියේ ඇති අභියෝගය එයයි.

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න