බන්ධනාගාරයක් කියන්නේ සමාජ පර්යේෂණ කරන්න හොඳම තැනක් | දිනමිණ

බන්ධනාගාරයක් කියන්නේ සමාජ පර්යේෂණ කරන්න හොඳම තැනක්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

බන්ධනාගාරයක් කියන්නේ සමාජ පර්යේෂකයෙකුට පර්යේෂණයක් කරන්න හොඳම තැනක්. ඒ වගේ දෙයක් ගැන පර්යේෂණ මට්ටමින් ජනතාව දැනුවත් කිරීම තමයි මාධ්‍යවේදීන් ඉටු කරන්නේ. එය ඇත්තටම සමාජ මෙහෙවරක් බව ⁣ බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 30 වැනි දින ගාල්ල බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන් ප්‍රවර්ධනයට දායකත්වය දක්වන ලද මාධ්‍යවේදීන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් සඳහා ගාල්ලේ දී සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

මෙතන විවිධ පර්යේෂණවලට භාවිතා කර හැකි පුද්ගලයන් ඉන්නවා. සමාජ අත්දැකීම් ඇති තරම් තියෙනවා. මාධ්‍යවේදීන් ලෙස මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම කියන්නෙත් එක්තරා ආකාරයක පුනරුත්ථාපන වැඩසටහනක්. ඒ තුළින් තමයි සැබවින්ම නොයා යුතු තැන ගැන ජනතාව දැනුවත් වෙන්නේ. ඒ තුළින් තමයි හොඳ සමාජ කතිකාවතක් ඇතිවෙනවා. ඒ සමාජ කතිකාවත ඇති කිරීමට ගාල්ල බන්ධනාගාරය මේ මාධ්‍යවේදීන් සමඟ එක්ව කටයුතු කර තියෙනවා. ඒක හොඳ දෙයක්. මෙවර ගාල්ල බන්ධනාගාරය ලංකාවේ හොඳම බන්ධනාගාරය වෙනවා. ඔවුන් ලංකාවේම රාජ්‍ය ආයතන පරාජය කරමින් ඵලදායීතා තරගාවලියේ පළමු ස්ථානයට පැමිණි බදුල්ල බන්ධනාගාරය දෙවන තැනට තබමින් මේ වෝල්ටර් ලද්දුව හෙට්ටි සම්මානය මෙවර ලබා ගන්නේ. එය විශේෂ ජයග්‍රහණයක්. ඒ වගේම මම දකින තවත් වෙනසක් තියනවා. ගාල්ලේ. සෑම රාජ්‍ය ආයතනයක්ම සුහදව වැඩ කරනවා. අද මෙතැන සියලු දෙනාගේ නියෝජනයක් තියෙනවා. සමහර ප්‍රදේශවල තියනවා. ඒ ඒ ආයතනවල ඉහළ නිලධාරී මත ගැටුම්. එවිට ජනතා සේවය සැපයීම අපහසුයි. නමුත් ගාල්ල ඒ අතරින් ආදර්ශයක් සපයා තියෙනවා.

දකුණු පළාත භාර නි⁣යෝජ්‍ය ⁣පොලිස්පති චන්දන අලහකොන් මහතා-

අද ගාල්ල බන්ධනාගාරය බන්ධනාගාරයකට වඩා නිවසක තත්ත්වයට පත්කර තියනවා. මම දන්නා තරමින් මේ ගාල්ල බන්ධනාගාරයේ නේවාසික පහසුකම් ඇත්තේ 200කට පමණයි. නමුත් දාහකට වඩා ඉන්නවා. හැබැයි කිසිදු කෙනෙක් අසතුටෙන් නොතියන්න කටයුතු කර තියනවා. ගාල්ල බන්ධනාගාරය නිර්මාණශීලී වෙලා තියනවා . අද මේ උත්සවයත් ඉතාම නිර්මාණශීලී වැඩක්. අපි කරන මොනම වැඩක් වුණත් වැඩක් නෑ. ඒ සඳහා නිසි ප්‍රචාරයක් නොලැබෙන්නේ නම්. ඒ සඳහා මාධ්‍ය කරන මෙහෙය අපට වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ අය පිදුම් ලැබිය යුතු පිරිස අද අගයන්න කටයුතු කර තිබීම අගය කර යුතු කාර්යයක්.

මෙහි දී ගාල්ල බන්ධනාගාර පුනරුත්ථාපන වැඩසටහන් ප්‍රවර්ධනයට දායකත්වය දක්වන ලද මාධ්‍ය වේදීන් 18 දෙනෙකු සඳහා උපහාර තිළිණ හා ත්‍යාග ලබාදීම මෙහිදී සිදු කෙරිණි. ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව , ගාල්ල ප්‍රාදේශීය ලේකම් හිමාලි රතනවීර ,ගාල්ල බන්ධනාගාර නිලධාරින් සහ සිරකරු සුබසාධක සංගමයේ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න