මෘදුකාංග නිදහස් දිනය නිදහසේ සමරමු | දිනමිණ

මෘදුකාංග නිදහස් දිනය නිදහසේ සමරමු

ලෝක මෘදුකාංග නිදහස් දිනය අදට (15) යෙදී තිබේ. නිදහස් මෘදුකාංග සහ එහි ගුණාංග පිළිබඳව ජනතාව තුළ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ නිදහස් මෘදුකාංග (Free Software) භාවිතය දිරිමත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රයත්නයක් වන ලෝක මෘදුකාංග නිදහස් දිනය (Software Freedom Day - SFD) සෑම වසරම සැප්තැම්බර් මස තුන්වන සෙනසුරාදා දිනයේ ලෝක මට්ටමින් සැමරීම සිදුකරයි.

2004 වසරේ අගෝස්තු මස 28 දා නිදහස් මෘදුකාංග පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළ කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ ලෝක මෘදුකාංග නිදහස් දිනය එතැන් සිට සෑම වසරකම සැප්තැම්බර් මස තුන්වන සෙනසුරාදා දිනයන්හි ලොව පුරා නගර 100කට අධික සංඛ්‍යාවක උත්සව 300කට අධික ප්‍රමාණයකින් යුක්තව සැමරීම සිදුකරයි. මේ දිනය සැමරීම සංවිධාන කිරීම Digital Freedom Foundation (DFF) නම් ලාබ නොලබන ආයතනය මගින් සිදුකරන අතර එම සංවිධානය නිදහස් ලේඛන දිනය (Document Freedom Day ), නිදහස් දෘඩාංග දිනය (Hardware Freedom Day) වැනි නිදහස් සැමරුම් දිනයන්ද සංවිධාන කරයි. මේ ආයතනය ලෝක නිදහස් මෘදුකාංග දිනය සඳහා අනුග්‍රාහකයන්, පරිත්‍යාග, ශිෂ්‍යත්ව ගිවිසුම් හා ගිණුම් හැසිරවීම පිළිබඳ නීත්‍යානුකූල ආයතනය ලෙස ක්‍රියා කරයි.

නිදහස් හා විවෘත මෘදුකාංග (FOSS) පිළිබඳව ලෝක ව්‍යාප්ත සැමරුමක් වන මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ අධ්‍යාපනය, රාජ්‍ය, නිවාස හා ව්‍යාපාරික කටයුතුවලදී උසස් තත්ත්වයේ නිදහස් මෘදුකාංග (FOSS) භාවිතා කිරීමේ වාසි පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමයි. නිදහස් මෘදුකාංග සමාගම ගෝලීය මට්ටමේ නිදහස් මෘදුකාංග දිනය (SFD) සම්බන්ධීකරණය, බෙදාහැරීම් සහ සහයෝගිතාව සපයන අතර ඒ හා එක්ව ලොව පුරා ස්වේච්ඡා කණ්ඩායම් තම තමන්ගේ ජන කොටස්වලට බලපෑමක් කිරීමට දේශීය නිදහස් මෘදුකාංග දින (SFD) සිදුවීම් සංවිධාන කරයි.

මෘදුකාංග නිදහස් දිනය සැමරීම හරහා නිදහස් මෘදුකාංග පිළිබඳ පොදු අවබෝධයක් ඇති කිරීම සඳහා නිදහස් මෘදුකාංග සහ විවෘත ප්‍රමිතීන් අනුගමනය කිරීම දිරිමත් කිරීම.

සහභාගිත්ව තාක්ෂණය භාවිතා කිරීමෙන් අවස්ථා සඳහා වඩා සමාන ප්‍රවේශයක් නිර්මාණය කිරීම තොරතුරු සමාජයේ වගකීම් සහ අයිතිවාසිකම් පිළිබඳ ඵලදායී සංවාදයක් ප්‍රවර්ධනය කිරීම සහභාගිත්ව, විනිවිද පෙනෙන හා තිරසාර ඩිජිටල් ලෝකය නිදහසේ සම්බන්ධ කිරීම, නිර්මාණය කිරීම සහ බෙදාහරින්නට සියලු දෙනාටම බලය ලබාදීම යන නිදහස් මෘදුකාංග දිනයේ දැක්ම බෙදා හදා ගන්නා සංවිධාන හා පුද්ගලයන් එක්කොට ගැනීම සංවිධානයක් වශයෙන් ප්‍රායෝගික සහ වගකිව යුතු ලෙස කටයුතු කිරීම අරමුණු ඉටු කරගැනීම බලාපොරොත්තු වෙයි.

මේ මෘදුකාංග නිදහස් දිනය සඳහා ලෝක ප්‍රකට නිදහස් මෘදුකාංග නිෂ්පාදකයන් සහ භාවිතා කරන්නන් රැසක් සිය දායකත්වය දක්වයි. ඒ අතර සුප්‍රකට Google සමාගම, උබුන්ටු මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර බෙදා හරින කැනොනිල් සමාගම (Canonical Ltd), Linode සමාගම මෙන්ම Red Hat, joomla, freebsd නිෂ්පාදකයන්ද සිය අනුග්‍රහය මේ සඳහා ලබාදීම සිදුකරයි.

මිනිසා එදිනෙදා කාර්යයන් සියල්ලටම පාහේ පරිගණක යොදා ගනී. සැබැවින්ම පරිගණක නොමැති ලෝකයක් පිළිබඳව සීතීම පවා අපහසුවන අන්දමට පරිගණක විසින් ලෝකය ආක්‍රමණය කර හමාරය. පරිගණකයකින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් එම පරිගණකයේ මෘදුකාංග (Software) ස්ථාපිත කර තිබීම අත්‍යාවශ්‍යය. මේ නිසා මෘදුකාංග මත මුළු ලෝකයම රඳාපවතින තත්ත්වයට පත්වී තිබේ.

පරිගණකවල භාවිතා කරන හිමිකම් සහිත මෘදුකාංග නිෂ්පාදනය සිදු කරන්නේ මහා පරිමාණ වාණිජ මෘදුකාංග නිෂ්පාදකයන් විසිනි. ඒ නිසා ඒවා භාවිතා කරන්නන්ට එම සමාගම් විසින් පනවනු ලබන කොන්දේසි යටතේ මේ මෘදුකාංග භාවිතා කිරීමට සිදුව තිබේ. එනම් මිලදී ගත් වාණිජ මෘදුකාංග අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීම, බෙදා හැරීම, වැඩි දියුණු කිරීම කළ නොහැකිය. සිදුකළ හැක්කේ නිෂ්පාදකයාගේ කොන්දේසි අනුව භාවිතා කිරීම පමණි.

නමුත් නිදහස් මෘදුකාංග භාවිතා කරන්නාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට, වැඩි දියුණු කිරීමට, නොමිලේ බෙදා හැරීම විකිණීම හෝ හුවමාරු කර ගැනීමට කිසිවකුගෙන් බාධාවක් නැත. එබැවින් මේවා සැබැවින්ම නිදහසේ භාවිතා කළ හැකිය. මේ නිසා ලෝකය ශීඝ්‍රයෙන් නිදහස් මෘදුකාංග වෙත නැඹුරු වෙමින් පවතී. අප රටද එහි කොටස්කරුවෙකි. අප රටේද බොහෝ දෙනා හිමිකම් සහිත මෘදුකාංගයන්හි ව්‍යාජ පිටපත් භාවිතා කරයි. මෙය නීතිමය හා සදාචාරමය අතින් බරපතළ වරදකි. නමුත් මෙරට තුළද නිදහස් මෘදුකාංග ව්‍යාප්ත වීමත් සමඟ එම තත්ත්වය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. මේ වනවිට අප රටේ භාවිතය සඳහා මෙරටින්ම පරිගණක මෙහෙයුම් පද්ධති කිහිපයක්ද සාර්ථකව හඳුන්වා දී ඇත. “හන්තාන ලිනක්ස්” සහ පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් “ඉසුරු ලිනක්ස්” ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම ජනප්‍රිය වාණිජ මෘදුකාංග වෙනුවට භාවිතා කළ හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඕනෑ තරම් මෙරටදී ලබා ගත හැකිය. ඒවා භාවිතය සඳහා අවශ්‍ය සහායද සිංහල භාෂාවෙන්ම නොමිලේම ලබා ගත හැකිය.

මෙලෙස නිදහස් මෘදුකාංග මෙරට ප්‍රචලිත වීමත් සමඟ පසුගිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේද තොරතුරු තාක්ෂණය සහ නිදහස් මෘදුකාංග පිළිබඳව උනන්දු පිරිස් එකතු වී ලෝක නිදහස් මෘදුකාංග ප්‍රජාව හා එක්ව ලෝක මෘදුකාංග නිදහස් දිනය සැමරීම සිදුකරයි. මේ නිසා අපි රටේ නිදහස් මෘදුකාංග පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා නිදහස් මෘදුකාංග දිනය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී තිබේ. ඒ මගින් තවදුරටත් නිදහස් මෘදුකාංගයන්හි සැබෑ නිදහස අත්විඳීමට මෙරට පුරවැසියන්ටද අවස්ථාව ලැබී තිබේ.

අසිරු වේදිත කරුණාරත්න


නව අදහස දක්වන්න