අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික පනත හා අද අභියෝග | දිනමිණ

අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික පනත හා අද අභියෝග

1818 දී ආරම්භ වූ පළමු නිදහස් අරගලයෙන් පසු මෑත යුගයේ දී මෙරට පහළ වූ පළමු අධිරාජ්‍ය විරෝධී අරගලය අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද ජාතික අරගලයයි. ලොව පුරා සෑම ශිෂ්ටාචාර ජාතියක්ම සිය ඓතිහාසික ගමන් මඟේ මේ ජාතික අරගලය තම මවුබිමට ආවේණිකව සිදුකොට තිබේ.

පොදු සමාජ - ආර්ථික පරිසරයක් තුළ කිසියම් ජන කොටසක් සිය පැවැත්ම සඳහා ගනු ලබන ප්‍රයත්නයන්ට එරෙහිව ස්වභාවික හා බාහිර බලවේග නැඟී සිටින විට සාමූහිකව කරනු ලබන අරගල වලින් ගොඩනැ‍ඟෙන ඒකීයත්වය ජාතික සංස්කෘතියක් බවට පත් වේ. මේ මහඟු උරුමය එනම් සිය බිමට ආවේණික සංස්කෘතිය උරුමය ජාතියක් අන් හැමදේකට වඩා ඉහළින් අගය කරයි. සිය මවුබිමට හා එම ජනකොටසකට පමණක් ආවේණික වූ භෞතික ක්‍රියාකාරීත්වය හා අධ්‍යාත්මික ආකල්ප එම ජනකොටසේ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයයි.

ස්වාධීනත්වයත්, ස්වශක්තියත්, ස්වයංපෝෂිතයත් වෙනත් සංස්කෘතීන් සමඟ සහජීවනයත් සිංහල සංස්කෘතියට ආගන්තුක නොවේ. සිංහල සංස්කෘතිය සියවස් 25 කට අධික කාලයක් තුළ ජීවමාන කරන ලද මේ සාරධර්ම බෞද්ධ ඉගැන්වීම් සමඟ මුසුකොට මනා සභ්‍යත්වයක් ලෝකයට දායාද කොට ඇත. ඒවා අපට අහිමි කරන ලද්දේ යටත් විජිතවාදයේ අනුහසිනි. ඒ පරගැති අධ්‍යාපනයේ මහිමයෙනි. මෙය හොඳින් වටහාගත් අනගාරික ධර්මපාලතුමා ජාතික සංස්කෘතික අනන්‍යතාව අවබෝධ කොටගෙන නිර්මාණය කළ ජාතික ව්‍යාපාරය සිංහල බෞද්ධ ව්‍යාපාරයකට කොටුකර තබන්නට විජිතවාදීහු සමත් වූහ.

දේශීය කළු සුද්දන් ද එක්ව ජාතික විමුක්ති අරගලයෙන් අනගාරික ධර්මපාලතුමා ඈත්කර ජාතික විමුක්ති අරගලයේ නූතන පු‍රෝගාමියා යන්න වෙනුවට බුදුදහම ලෝ පුරා පැතිරවීමට බිහිවූ බෝධිසත්ව ගුණෝපේත ධර්මපාල ලෙස හංවඩු ගැසීමත් ගාලු පාරේ බුද්ධාගම නිර්මාණය කිරීමත් පැහැදිලි ලෙසම කුමන්ත්‍රණයෝය. එතුමාට වපුරන ලද අවලාද, ගණනින් බොහෝ වෙයි. ඒ නිසාම තවමත් අපේ ර‍ටේ එතුමා ගැන නිවැරදි කියවීමක් නොමැත.

අධිරාජ්‍යගැති දේශීය පාලක පන්තිය විසින් ආරූඪ කරන ලද ,බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නිර්මාතෘවරයා, යන අභිධානයේ බොරුව හෙළිකොට එතුමන්ට හිමි ,නූතන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ, යන සත්‍ය අභිධානය පිදීම නූතන ධර්මපාලවරුන්ගේ වගකීමකි. එතුමන්ගේ ප්‍රකාශ පරිදි, ජාතිය පෙළගැස්වීම ඒ සඳහා ප්‍රායෝගික උපක්‍රමය වන්නේය. ධර්මපාලතුමා නැවතූ තැනින් ජාතික ව්‍යාපාරය ඇරැඹීම ප්‍රජාව සතු වගවීමක් මිස පක්ෂ දේශපාලන නායකත්වයකින් අපේක්ෂා කළ හැක්කක් හෝ අපේක්ෂා කළ යුත්තක් හෝ නොවන්නේය.

ධර්මපාලතුමා ජාතික විමුක්ති අරගලයේ පූර්විකාව ලෙස යොදාගත්තේ සිංහල සභ්‍යත්වයේ බෞද්ධ ඉගැන්වීම් බව පෙනේ. කෝල්බෘක්, කැමරන් ප්‍රතිසංස්කරණයන්ගෙන් ගොඩනඟන ලද අධිරාජ්‍ය ගැති ලාංකේය සමාජයට බුදුදහමේ ඉගැන්වීම් මතක් කොට දෙන ලද්දේ පළමු කොට සභ්‍යත්ව සමාජයක් නිර්මාණය කිරීම සඳහාය. එතුමා මේ ආකල්පයට එන්නට ඇත්තේ ලංකාවේ සිරකරුවෙකු ලෙස දිවි ගෙවූ ‍රොබට් නොක්ස්ගේ කියමන්වලින් විය හැක. "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මධ්‍යපානය නොබොන්නේය. හොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස් මුවෙහි නොතබන්නේය", ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල වූ ප්‍රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්‍රේෂ්ඨ වූ ආගමකි", සිංහල භාෂාව වූ කලී වාග් ශක්තියෙන් පොහොසත් වූ ලාලිත්‍යයෙන් යුක්ත වූ මටසිලුටු එය කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන්ම ශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ භාෂාවකි" ආදී නොක්ස් කියමන්වලින් විචිත්‍රණය වන්නේ අනුරාධපුර, පොළොන්නරුව වගා සභ්‍යත්වයේ මිනිසුන් නොවේ. යුරෝපීය ආක්‍රමණයන්ගෙන් හෙම්බත්ව මුහුදු මායිම් අහිමි වූ දුෂ්කර කඳු හෙල් අතර මංමාවත් තොර උසස් දිවි පෙවෙතක් අහිමි වූ සිංහල බෞද්ධ සභ්‍යත්වයේ ශේෂ වූ ජන ජීවිතය පිළිබඳවය.

ධර්මපාලතුමා සිය ජාතික විමුක්ති අරගලයේ පූර්විකාව ලෙස යොදාගත්තේ මේ ආගමික හා සංස්කෘතික පදාසය විය යුතුය. අධිරාජ්‍යවාදීන්ට හා උන්ගේ ගැත්තන්ට මෙය ඉවසා දරාගත නොහැකි එළඹුමක් වන්නට ඇත. පහර දී පලවා හරින්නට පෙර හා ඉන්පසුවත් මේ මහා ජාතික ව්‍යාපාරය ලඝුකොට අවලංගු කොට හෑල්ලු කිරීමට යෙදූ සියුම් උපක්‍රමයක් ලෙස ඔවුන් විසින් කරන ලද්දේ ධර්මපාලතුමාගේ කාර්යභාරය බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස බෞතීස්ම කිරීමය. අද මේ විෂයයෙහිලා අපගේ වගකීම විය යුත්තේ ධර්මපාලතුමා ජාතික ව්‍යාපාරයක හෙවත් ජාතික විමුක්ති අරගලයක පියාණන් ලෙස ඔටුනු පැළඳවීමය. එය පහසු කටයුත්තක් නොවේ. වෙස්ට්මිනිස්ටර් පන්නයට පක්ෂ මත වෙන්කරනු ලැබූ ජාතියක් ජාතිකත්වය, ආගමිකත්වය මත හා කුඩා කුඩා කුල ගෝත්‍ර මත වෙන් වෙන්ව සිතන්නට පුරුදු කරනු ලැබූ ජාතියක් එක ජාතික අරමුණකට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. ව්‍යාජ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් සරුවපිත්තල ප්‍රජාතන්ත්‍රවාදයත් විසින් මේ තත්ත්වය තවත් දුෂ්කර කරනු ලැබ තිබේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් රචිත ග්‍රන්ථ අතර කුඩා ම ග්‍රන්ථය වන වාක්‍ය 210 කින් පමණක් සමන්විත ජාතික පනත ඉහත ගැටලුව සඳහා විසඳුමක් ලෙස ගෙන සාකච්ඡා කරමු. ඉතා කුඩා පුස්තිකාවක් වුව ද මේ කෘතිය ජාතියේ මාර්ගදර්ශකය සේ අගය කළ යුත්තකි. සෑම දරුවෙකුම පමණක් නොව සෑම පුරවැසියෙකුම කියවා අනුගමනය කළ යුත්තකි. මෙහි ඇති විශේෂය නම් බුද්ධාගම බේරාගැනීම සඳහා එකඳු වාක්‍යයක්වත් එහි වෙන්කොට නොතිබීමත් ජාතිවාදී යැයි මතාන්තර උගතුන් විසින් කියනු ලබන අදහසක්වත් ඇතුළත් නොවී තිබීමත්ය. "විහාරස්ථානවලට හා දේවස්ථානවලට නිකරුණේ වියදම් කරන ධනය අසරණ රැටියන්ගේ දියුණුව පිණිස යොදනු (60), "අහස උසට විශාල ගොඩනැගිල්ලක් නැංවීමට වඩා අනාථවූවෙකුට උපකාර වීම උසස් බව සිතනු (61)", "ශ්‍රමණ ප්‍රතිරූප හැඳින ඔවුන්ගෙන් ඈත්වෙනු (63)" ආදී ප්‍රකාශ මගින් එතුමා ආගම හා ඊට අනුසංගික මානව චර්යා දෙස අධ්‍යයනයෙන් බලන අයුරු පෙනේ.

නිර්භීතභාවය හා ජාතිකත්වය පිළිබඳව එතුමන්ගේ දැක්ම සහිත ප්‍රකාශ කිහිපයක් බලමු. "මරණය බිය විය යුත්තක් නොවන බව උගන්වනු (29)", "බියගුල්ලා කීපවිටක් මැරෙතත් වීරයා මැරෙන්නේ එක් විටක් බව සිතනු (30)", "රාජද්‍රෝහියෙකු වෙතත් ජාතිද්‍රෝහියකු නොවනු (32)", "තමා කරා හොඳ හෝ නරක පැමිණෙතත් යුතුකම ඉටුකිරීමට ප්‍රමාද නොවෙනු (31)" යනුවෙන් එතුමන් ජාතියේ පුරෝගාමියා ලෙස සේනාධිනායකයකු සේ අණසක පැතිර වූ අයුරුය, සිංහලයන් නැගිටුවා බුද්ධගයාව බේරාගැනීමට වෑයම් කළ අයෙකු සේ පමණක් ධර්මපාලතුමන් ලඝු කරන්නේ කෙසේදැයි ඉහත කී ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් වටහාගත හැකි වනු ඇත.

"වර්තමාන අධ්‍යාපන ක්‍රමය වහලුන් හා අපරාධකාරයන් බෝ කරන ක්‍රමයක් බව සලකනු (103)", "පිටරට බඩුමූට්ටු මෙරට දී අලෙවි කරන ක්‍රමය කුඩා ළමයින්ට පාඨශාලාවල දී පුරුදු වන බව දැන පරිස්සන් වනු (104)", "අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ස්ත්‍රී පක්ෂයට දීමට කිසිසේත් මැලි නොවනු (115)", "බෞද්ධ පූජ්‍ය පක්ෂයට පෙර අපර භාෂාවන් මනාව ඉගැන්වීමට උද්‍යෝගිමත් වනු (158)" වැනි කුඩා වුවත් බරසාර ප්‍රකාශ අධ්‍යාපනයෙහිලා අද වන විට ඉතා වුවමනාවෙන් සලකා බැලිය යුතු ප්‍රතිපත්ති බවට පත්ව තිබේ.

සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෝ වෙමු. එහෙත් අපැහැදිලි ලෙස අපට පුරුදුව ඇති චාරිත්‍ර පිළිබඳව ධර්මපාලතුමන් විවේචනය කළ බව ද ජාතික පනත පොතෙන් සොයාගත හැකිය. පිරිත්, පාංශුකූල ආදියෙහි දී කරන පොල්මල්, පුවක් මල් හා ගොක් සැරසිලිවලින් ලංකාවේ පොල් හා පුවක් වගාවට වන හානිය සුළුපටු ‍නොවේ. එක් ගොක් ගොබයක් කැපූ විට අවුරුද්දක් යනතුරුම ගසට පොල් අතු හෝ පොල් ගෙඩි හෝ අහිමි වන්නේය. මෙබඳු ඥාන සම්පන්න නොවන චාරිත්‍ර ධර්මපාලතුමන්ගේ විවේචනයට හසු වූ බවට ප්‍රකාශ දෙකක් පමණක් උපුටා දැක්වීමට ඉඩ සීමිතව තිබේ. "විහාරස්ථානවල දී පොල් මල්, පුවක් මල් පූජා කිරීමේ සිරිත සම්පූර්ණයෙන් අතහරිනු (120)", "අසරණයන්ගේ සතය සම්මාදන් කරන පින්කම් ආරම්භ නොකරනු. (127)" මේ දීර්ඝ ස්වයං විවේචනයක් වන ප්‍රකාශ දෙකකි.

"ආදායම අනුව වියදම පිළියෙළ කර ගනු (39)", "තමාට ප්‍රයෝජන නැත්නම් එය අඩු මිලට දුන්නත් නොගනු (40)" යනු එතුමන්ගේ ආර්ථික දැක්ම අනාවරණය කරන ප්‍රකාශ කිහිපයකි. පෞද්ගලික ආර්ථික ශික්ෂණයක් සඳහා මෙලෙස මඟපෙන්වූ අතර ජාතික ආර්ථිකයක් උදෙසා ප්‍රතිපත්තිමය කාරණා රැසක් ද එතුමන් විසින් රචිත "ජාතික පනත" කෘතියෙහි එයි. පහත සඳහන් ප්‍රකාශයන්ට අවධානය යොමු කරන්න. "වර්තමානයට වඩා අනාගතය වෙනස් වන බව සිතනු (71)", "ආණ්ඩුවේ රක්ෂාවක් ලබාගැනීම මහ ලොකු වැඩකි යන පහත් හැඟීම අත්හරිනු (65)", "පිටරට රෙදිවලට, කෑමවලට, පලතුරුවලට අවුරුදු පතා කරන විශාල වියදම් ස්වදේශීය දේ සඳහා යොදත් නම් එය අසරණ ජනයාට වන සෙතක් බව සලකනු (91)", "සීනිවලට, අලවලට, උම්බලකඩවලට, සැමන්, බිස්කට් ආදියට මිදි, ඇපල්, රසකැවිලි ආදී විදේශීය ආහාරවලට පිටරට යවන මුදල් නතර කරනු (92/93)" යනාදී වශයෙන් එතුමන් ජාතිය පිළිබඳ දැක්වූ අදහස් අදට ගැළපෙන්නේ නම් සම්පත් විකුණාගෙන කන ජාතියකට එය අතුල් පහරක් වන්නේ ය. අද වන විට ලාංකේය ආර්ථිකය සම්පත් විකුණාගෙන කමින් සල්ලි හෙවූ අදූරදර්ශී ජාතියකගේ නිදර්ශනයක් බවට රට පත්ව ඇත. අප ළඟ තිබූ කැලණි ටයර් දැන් නැත. පුත්තලමේ සිමෙන්ති නැත. පරන්තන්හි රසායනික ද්‍රව්‍ය ද නැත. කන්තලේ සීනිද නැත. වාලච්චේනේ කඩදාසි නැත. ඔරුවල වානේ නැත. කොස්ගම තුනී ලෑලි නැත. වේයන්ගොඩ ද, පූගොඩ ද, තුල්හිරියේ ද රෙදි නැත. ඒවා විකුණා ලබාගත් සල්ලිත් නැත. තව ටික කලෙකින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිත් නැත. හම්බන්තොට වරායත් නැත. මත්තල ගුවන් තොටුපළත් නැත. වරාය නගරයත් නැත. ඉදිරියේදී අධිවේගී මාර්ගත් නැත. කුණ්ඩසාලේත් ගන්නෝරුවේ ගොවිපලුත් නැතිවනු ඇත. පෞද්ගලික ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනත් නැති වනු ඇත. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන් සතුවනු ඇත. බහුතර පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය හා ආනයනය බහුජාතික සමාගම් සතු වනු ඇත. වාරිමාර්ග කළමනාකරණ‍යත් නැතිවනු ඇත. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රට කෑලි නවයකට කැඩෙනු ඇත. එකී කෑලි නවයම ණය උගුලක හිරවනු ඇත. රට හයිටියක්, ලයිබීරියාවක් වනු ඇත. තවදුරටත් ඇතැම්විට දුම්රිය ජාලය, විදුලිය සැපයුම් ජාලය හා සමස්ත ආහාර නිෂ්පාදන ජාලය ද විදේශිකයන් සතුවනු ඇත. බෞද්ධ හා කිතුනු ආගමික ඒකීයතාවන් කුඩා කුඩා කණ්ඩායම් ලෙස බිඳී විසිරී ගොස් දුර්වල වනු ඇත. රට සතු ආර්ථික, වැවිලි, ඉඩම් මහා පරිමාණ විදේශීය අවශ්‍යතා සඳහා වෙන් කෙරෙනු ඇත. හුදෙක් කේඩෑරි, ඇටසැකිලි වැනි පාරිභෝගික ඇඟවල් මේ වර්ග කිලෝමීටර හැටපන්දහස් හයසිය තිස්දෙකේ ඉතුරුවනු ඇත. බොහෝවිට උන් ඉංග්‍රීසි කතා කරන්නවුන් වනු ඇත. ඔවුන්ගේ දෙවැනි භාෂාව අරාබි භාෂාව වනු ඇත. විදේශීය පුස්තකාලවල ලංකා ඉතිහාසය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හා ත්‍රිපිටකය සුරක්ෂිතව ඉතිරිවනු ඇත. එදිනට මේ ලිපිය කියවා සිංහල අකුරු දත් කිහිපදෙනා දිග සුසුම් හෙළා බිම බලාගනු ඇත. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ හැඩය මෙසේ යැයි සිතා ඉඳහිට අයෙක් වටපිට බලා හොරෙන් වැල්ලේ ඇඟිල්ලෙන් ඒ රුව අඳිනු ඇත. එතෙක් අපි මැතිවරණ ගැන කතා කරමු. පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන අන්තර්ජාලයෙන් නරඹමු. ටෙලිනාට්‍ය රසවිඳිමු. බුදුන්ට ගරහමු. මාධ්‍ය නිදහසත්, නිර්මාණ නිදහස ගැන බර විවේචන කරමු. කෙසේ හෝ අපේ එකෙක් හිරගෙදර යවන්නට කැස කවමු. අපේ එකා මන්ත්‍රී කරන්නටත් ඊට පසු ඌට ඕනෑ එකක් කරගන්න ඉඩ දී අන්තර් (ජං)ජාලයේ පිස්සු කෙ‍ළිමු.

මහාචාර්ය ඉඳුරාගාරේ
ධම්මරතන හිමි


නව අදහස දක්වන්න