ඝාතන, පැහැර ගැනීම්වල සැකකරුවන් රඳවා ගත්තත් ඔවුන්ට නඩු පැවරීමක් නෑ | දිනමිණ

ඝාතන, පැහැර ගැනීම්වල සැකකරුවන් රඳවා ගත්තත් ඔවුන්ට නඩු පැවරීමක් නෑ

* අර්බුද මතුවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් සිදුව නැහැ
* ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කරනවා
* මිල සූත්‍රය පිළිබඳ ඉදිරි අය වැයෙන් පසු තීරණයක්

මාධ්‍යවේදීන්, සිවිල් වැසියන් පැහැරගැනීම්, ඝාතනය කිරීම් ඇතුළු සිදුවීම්වලට අදාළව 2015 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළද සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ගත්තද ඔවුන්ට නඩු පවරා නොතිබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් පවත්වා ඇති බරපතළ අපරාධ පරීක්ෂණයන් සහ පොලිස්පතිවරයාගෙන් ලබාගත් වාර්තාවන් පිළිබඳ ඇමැති මණ්ඩලය දැනුවත් කිරීම පෙරේදා පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී සිදු කළ බව ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මැදුරේදී ඊයේ (14 වැනිදා) පෙරවරුවේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්, කතුවරුන් මාධ්‍යවේදීන් සමඟ පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා එසේ පැවැසීය. එම මාධ්‍ය හමුවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, එක්නැලිගොඩ අතුරුදන්වීම වැනි බරපතළ ඝාතන අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවද මේ සියලුම පරීක්ෂණයන් පිළිබඳ වාර්තා තමන් පෙරේදා පොලිස්පතිවරයාගෙන් ලබාගත් බවද, එම තොරතුරු අනුව ජනතාව අපේක්ෂා කරන මේ අපරාධවල ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ රිමාන්ඩ් භාරයට පත් කළ කිසිම චූදිතයකුට නඩු පැවැරීමක් සිදු නොවන බවත් අත්අඩංගුවට ගෙන අනතුරුව ඇප ලබාදීම, නිදහස් කි‍රීම මිස චෝදනා පත්‍ර භාරදී නඩු පවරා නඩු අසා දඬුවම් නියම කිරීමක් සිදු නොවන බව අවධාරණය කෙළේය.

යුද හමුදාවේ දෙවැනි ප්‍රධානියකු මාස පහක් වැනි කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා ගෙන සිට නඩු පැවරීමක් හෝ සිදු නොවූ බවද නාවික හමුදාවේ ප්‍රධානියකු ද නඩු නැතිවම නිදහස් කළ බවද මේ දිනවල මාධ්‍යවල ප්‍රමුඛත්වය දී ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව බවද මේ සිද්ධීන් සම්බන්ධව ප්‍රමාණවත් හේතුසාධක තිබේනම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස අනවශ්‍ය ප්‍රචාරයන් සහ අනවශ්‍ය ලෙස රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් රජය අපකීර්තියට පත්වන බවද එම හේතුව නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ පොලිස්පතිවරයා වෙත තදින් උපදෙස් ලබාදුන් බව ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

නඩු පවරන්නේ නැතිව චෝදනා පත්‍ර දෙන්නේ නැතිව ඔවුන්ගෙන් ප්‍රකාශ ගන්නේ නැතිව අසම්පූර්ණ තොරතුරු මත මාධ්‍ය වෙතින් වැරැදි තොරතුරු පළ කිරීමෙන් ජනතාවද වැරැදි මතයකට එළැඹෙන බවද පෙන්වා දුන්නේය. ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම, කප්පම් සඳහා තරුණයන් පැහැරගෙන ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් වීම වැනි බරපතළ අපරාධ ගැන පරීක්ෂණ පවත්වා නඩු පවරා චෝදනා ඔප්පු කර වැරැදිකරුවන්ට දඬුවම් ලබාදියයුතු බවද වැඩිදුරටත් සඳහන් කෙළේය. මානව හිමිකම් ‍යෝජනාවලින් පවා මේ ගැන සඳහන් කර ඇති බවද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව යටතේ කිසිසේත්ම රටේ ජාතික ආරක්ෂාව දුර්වලවී නොමැති බවත් කිසිම කඩාවැටීමක් සිදුවී නොමැති බවත් යුද්ධයක් නැති කාලවලදී සිදුවන්නේ හමුදාව ප්‍රතිසංවිධාන කිරීම බවත් අද ත්‍රිවිධ හමුදාවට පසුගිය කාලයට වඩා ලොව ප්‍රබල එනම් අමෙරිකාව, චීනය, ඉන්දියාව, එංගලන්තය, ජපානය වැනි රටවල පුහුණු අවස්ථා මෙන්ම සහයෝගය හිමිව තිබෙන බවත් අදත් ජාතික අයවැයෙන් වැඩිම මුදල වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බවත් පෙන්වා දුන්නේය.

පුහුණුව පමණක් නොව උපකරණ නැව් පවා පරිත්‍යාගයන් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන බව ද රටේ ජාතික ආරක්ෂාව හා ආරක්ෂක හමුදාව පිළිබඳ ඇතැම් අයගේ ප්‍රකාශ පෞද්ගලික හේතු මත පදනම්ව සිදුකළ ඒවා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

හමුදාවෙන් පිරිස් ඉවත් කර ඇති බව කියනවා. අපේ හමුදා සටන් කළේ ප්‍රබලම ගරිල්ලා සංවිධානයක් සමඟයි. අපේ හමුදාව තමා ඒ අය පරාජය කෙළේ. යුද්ධය පවතින විට සටන් වදිනවා. තැන් තැන්වල කඳවුරු පිහිටුවනවා. රජයේ ඉඩම්වල, පාසල්වල, වැසියන්ගේ පදිංචි ස්ථානවල කඳවුරු පිහිටුවනවා. යුද්ධය අවසන් වූ විට වරින්වර ඒ කඳවුරු ඉවත් කර ගන්නවා. හමුදාව ප්‍රතිසංවිධාන කරනවා. අදත් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 200 තරම් වෙන් කෙරෙනවා. ආරක්ෂක අංශ දුර්වල වෙන්නේ නෑ. ඔවුනට තාක්ෂණ, කාර්මික වැනි විශේෂ පුහුණුව ලබා දෙනවා එතෙරත් මෙතෙරත්. ඒ පුහුණුවෙන් මේ රටේ පමණක් නොවේ විදේශයන්හි ගුවන් නියමුවන්, නැව් කපිතාන්වරුන් වැනි රැකියාවන්හි යෙදෙන්න තරම් අවස්ථාව දැන් ලබා දී තිබෙනවා. අන්තර්ජාතික මෙන්ම වාණිජ වටිනාකම් ඇති ප්‍රදානයන් ඔවුන්ට ලබා දෙනවා.

ඇතැම් විශ්‍රාම ගිය අය පෞද්ගලික අත්දැකීම් කියා පොත් ලියුවාට දොරේඅප්පා ඝාතනයේ පටන් ඇරඹුණ යුද්ධය පිළිබඳ එහි පරාජයන් මෙන්ම ජයග්‍රහණයන් එයට කැපවූවන් ගැන සම්පූර්ණ සටහනක් නිල වාර්තාවක් නෑ. මම ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල සහාය ලබාගනිමින් එවැනි නිල වාර්තාවක් සකසන්න මුලපිරුවා. එය වසර දෙක තුනක් හෝ ගතවේවි. මේ සම්පූර්ණ ග්‍රන්ථය ගැන මම ආරක්ෂක අමාත්‍යාංශය සමඟත් කතා කළා. එය ඉතා වැදගත් කෘතියක් වේවි.

තෙල් මිලට අදාළ මිල සූත්‍රය පිළිබඳවත් දැන් ඇතැම් විවේචන ඇති බවත් ලොව බොහෝ රටවල එවැනි මිල සූත්‍ර හරහා තෙල් මිල පාලනය වන බවත් එහෙත් අපි පටන් ගත් දින පටන් මිල ඉහළ යෑම ප්‍රශ්නයක්ව ඇති බවත්, ඒ නිසා මිල සූත්‍රයට සංශෝධන ගෙන එනවාද, එය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතහොත් ජනතාවට වඩාත් හිතකර තත්ත්වයන් ඇතිකිරීම වෙනුවෙන් ඉදිරි අයවැය යෝජනා අනුව පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කළ ජනපතිවරයා දැනටම මොරගහකන්ද, කළු ගඟ, වයඹ, මිනිපේ ඇළ ව්‍යාපෘති අරඹා සාර්ථකව ක්‍රියාත්මක වන බවද උතුරුමැද වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කරන දැවැන්ත වැඩසටහනක් අරඹා ඇති බව පෙන්වා දුන්නේය. අද වී සඳහා ඉහළ මිලක් ලැබුණද මාධ්‍ය හරහා ඒ පිළිබඳ නිසි ප්‍රචාරයක් නොලැබෙන බවද පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ තරම් කාලගුණය නිසා පාඩුවක් නොලැබී‍ෙමන් පිටරටින් සහල් ගෙන්වීම දැන් සිදු නොකරන බව ද වී වලට ලබාදෙන විශාල මිල නිසා පෞද්ගලික අංශයෙන් තරගයක් ඇතිවී ඇති බව ද, එසේ වුවත් පාරිභෝගිකයාට අවහිර වන ලෙස සහල් මිල වැඩිවීමට ආණ්ඩුව ඉඩ නොතබන බව ද පවසා සිටියේය.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට පසුගිය දිනවල මුලතිව් ප්‍රදේශයේ ගෙන ගිය උද්ඝෝෂණය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කෙළේ ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම ජනකොටසකට රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතියක් තිබෙන බවයි. පළාත් භේදයෙන් තොරව සියලු ජනතාව සංහිඳියාවෙන් සහ සමඟියෙන් ජීවත්වන රටක් අපේක්ෂාව වන නමුත්, අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් ආණ්ඩුව මැදිහත්වීමෙන් සිදු වී නොමැති අතර, ඉදිරියට ද එලෙස සිදු නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර එම පරීක්ෂණ කටයුතු අද ඉතා සාර්ථකව සිදුවන බවත් ඒ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවත් කියා සිටියේය.

එම කමිටු වාර්තාව මඟින් මෙම ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා යම් බරපතළ තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කෙළේය.

එමෙන්ම තිරසර සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා රටේ වන ඝනත්වය ඉහළ නංවාගැනීම ඇතුළු පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා ජනතාව එක්කර ගැනීමේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙළකට සහය ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 28% යි. එය වාර්ෂිකව 1.5% කින් අඩු වෙනවා. තව වසර 25 ක් පමණ ගිය විට ලංකාව කාන්තාරයක් වන තත්ත්වයට පත්වෙනවා. ඉදිකිරීම් ගැන සිතනවා. ගස් කපා දමනවා. එහි අවසාන ප්‍රතිඵලය මේ වනගහනය නැති වී යාම. මේ පිළිබඳව රටේ සැවොම අවධානය යොමු කළ යුතු වෙනවා. සිය ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකම පැළයක් සිටුවීම, එය පෝෂණය කිරීම හරහා ගහකොළින් අප රට සරුසාර විය හැකියි. එයින් අපේ රට කාන්තාර තත්ත්වයට ගෙන යාම වැළැක්විය හැකියි. ඒ සම්බන්ධව ද මාධ්‍ය හරහා දැනුවත් කිරීම ඉතාම කාලෝචිත යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

මේ හමුවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහත්වරු එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න