නව තාක්ෂණය භාවිතයෙන් කෑගල්ලේ වී අස්වැන්න ඉහළට | දිනමිණ

නව තාක්ෂණය භාවිතයෙන් කෑගල්ලේ වී අස්වැන්න ඉහළට

නව තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී වගාවෙන් අපේක්ෂා නොකළ තරම් සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවූ බව දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ වී වගා විෂය භාර නිලධාරී කපිල නිරංජන් මහතා පවසයි.

පසුගිය වසරවල වී වගා කළ ප්‍රමාණය හා සසදා බලන විට මහ කන්නයට වඩා යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය අඩු වූවද මෙවර යල කන්නයේ වගා කළ කුඹුරු ප්‍රමාණය අක්කර 15000 ක් පමණ වන තරමට ඉහළ ගොස් තිබූ බව කපිල නිරංජන් මහතා පවසයි.

මෙවර පැරිෂුට් වගා තැටි ක්‍රමය භාවිතය හා යාන්ත්‍රික පැළ සිටුවීම වැනි තාක්ෂණ ක්‍රම කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෘෂිකර්ම උපදේශක කොට්ඨාස 15ම අඩු වැඩි වශයෙන් භාවිතා කර තිබුණි.එසේ භාවිතා කළ කුඹුරුවල වී අස්වැන්න අක්කරයට බුසල් 100ක් ඉක්මවා ගොස් තිබූ බව කපිල මහතා පවසයි. සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කයේ වී අස්වැන්න අක්කරයට වී බුසල් 76 ක් බව පවසන ඒ මහතා මේ අනුව බලන විට මෙය 30% ක පමණ වැඩිවීමක් බව කියයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජගත් සුදසිංහ හා අතිරේක පළාත් කෘෂි අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර මහත්ම මහත්මීන් මෙන්ම කෘෂි උපදේශකවරුන්ද සහභාගි කර ගෙන පසුගිය දිනවල අස්වනු සමීක්ෂණයක් කළ බවද නව තාක්ෂණය භාවිතා කළ කුඹුරුවල අස්වැන්න අක්කරයට බුසල් සියය ඉක්මවා ගොස් තිබූ බව සොයාගන්නට හැකිවූ බවද ඒ මහතා සඳහන් කළේය.

වී අස්වැන්න ඉහළ යාමත් සමඟ ගොවීන් නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වගා කිරීමට වැඩි උනන්දුවක් දක්වන අතර නව තාක්ෂණය භාවිතයෙන් දිස්ත්‍රික්කයේ ඉදිරි මහ කන්නයේ වී වගාව කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

යටියන්තොට විශේෂ
සමන් එස්. රත්නායක


නව අදහස දක්වන්න