කසළ තේ වර්ණ ගන්වා අලෙවි කරන ජාවාරමක් අසුවෙයි | දිනමිණ

කසළ තේ වර්ණ ගන්වා අලෙවි කරන ජාවාරමක් අසුවෙයි

උඩුනුවර, වෙළම්බොඩ සිට කොළඹ ප්‍රදේශයට කසළ තේ ප්‍රවාහනය කර එහිදී තේ කොළවලට වර්ණ ගන්වා සකස්කොට ඒවා අනර්ඝ තේ ලෙස ඇසුරුම් කරමින් මඩකලපුව, ත්‍රිකුණාමලය වැනි දුෂ්කර ප්‍රදේශවල ජනතාවට බෙදාහරින ජාවාරමක් වෙළම්බොඩ පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇත. සුඛෝපභෝගී වෑන් රථ මේ සඳහා යොදා ගනිමින් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කසළ තේ තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ කරුණු අනාවරණය වී තිබේ.

කිලෝ 1020ක් අඩංගු මේ තේ තොගය ප්‍රවාහනය කිරීමේ දී වෑන් රථයේ යට කොටසට කසළ තේ අසුරා ඊට උඩින් තරමක් හොඳ තේ කොළ තබමින් පොලිසිය නොමග යැවීමට ද කටයුතු යොදා තිබූ බව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සඳහන් කරයි.

තොරතුරකට අනුව වෙළම්බොඩ වට්ටප්පල ප්‍රදේශයේදී මේ වෑන් රථය සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පරිභෝජනයට නුසුදුසු මේ කසළ තේවලට පාට යෙදීම තවත් ඒවා විෂවීමට ද හේතුවක් බව පොලිසිය පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙම ජාවාරම සිදු කරමින් ලංකාවේ විශාල ප්‍රදේශයකට මෙවැනි තේ කොළ බෙදාහැර ඇති බව ද අනාවරණය වී තිබේ.

වෙළම්බොඩ පොලිස් ස්ථානාධිපති පො. ප. ශාන්ත බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ. පො. ප. මංජුල සේනාරත්න, පො. කො. නුවන් නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

ගම්පොළ සමූහ

 


නව අදහස දක්වන්න