එජා මහ සැසියට ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් | දිනමිණ

එජා මහ සැසියට ශ්‍රී ලංකාව ගැන යෝජනාවක්

රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්ෂාව, ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සෑම විටම තහවුරු කරනවා

හැත්තෑතුන්වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී මේ මස 25වැනි දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන ලෙසට සියලු පාර්ශ්වයන්ටම සාධාරණයක් ඉටුවන අන්දමින් කටයුතු කිරීමට ඉදිරිපත් වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොටුව ජනාධිපති මැදුරේ පැවැති විද්යුත්, මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් සමඟ පැවැති හමුවේදීය.

කෙටි දැනුම්දීමකින් මේ හමුවට එක්වූ මාධ්‍ය නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කරමින් මාස තුන, හතරකට වරක් පැවැත්වෙන මෙවැනි හමුවීම්වල අරමුණ රටේ දේශපාලනික මෙන්ම සියලුම ක්ෂේත්‍රයන් පිළිබඳ නිදහස් සුහද සංවාදශීලී කතාබහකට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මෙවර මාධ්‍ය හමුව කරුණු කීපයක් මත සිදුකරන බවත්, ඉන් ප්‍රධාන වශයෙන්ම ලබන සතියේ තමන් එක්සත් ජාතීන්ගේ සැසිවාරයට එක්වීම පිළිබඳ දැනුවත් කිරීම බව පැවසූ ජනාධිපතිවරයා මෙවර සැසිවාරයේදී අලුතින් පත්වූ මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවී ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාවකට එක්වීම තම අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.

‍නව මානව හිමිකම් කොමසාරිස්වරිය දේශපාලනික වශයෙන් ජාත්‍යන්තර දැනුමකින් යුත් අත්දැකීම් බහුල අයෙක්. ලබන මාර්තු මස පැවැත්වෙන කොමිසම් රැස්වීම සඳහා ඉදිරිපත් කර ඇති පැමිණිලි මෙතෙක් අප රටට ඉදිරිපත් කර තිබූ යෝජනා හා ඒවාවල ප්‍රගතිය මෙන්ම ඉදිරියේදී ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ එතුමිය සමඟ සාකච්ඡා කරනවා. පැමිණිලි වශයෙන් ඉදිරිපත් කිරීමට යන්නේ පසුගිය යුද සමයේ හා පශ්චාත් යුද සමයේ සිදුවූවාය කියන මානව හිමිකම් කඩකිරීම්, එවැනි පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයට හිතැතියන්. ඒ වගේම ඒ අයට පක්ෂග්‍රාහී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් සංවිධානයි.

ඔබලා දන්නවා ඇති යුද්ධය අවසන් වීමෙන් පසු පැවැති රජය සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම මානව හිමිකම් කොමිසම පැවැති සබඳතාවල දුරස්ථ බව. ඒ ඈත්වීමේ ප්‍රබලකම නිසා අපේ රටටත්, ජනතාවටත් ඇතිවූ අවාසි සහගත තත්ත්වය ගැන කිව යුතු නෑ.

2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණයෙන් මා ජය ලබා රට භාරගන්නා අවස්ථාවේ අපේ රටට ආර්ථික සම්බාධක පනවන තත්ත්වය උදාවෙලා තිබුණේ. යුරෝපා සංගමයෙන් පැනවූ මත්ස්‍ය තහනම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන තැනක තිබූ ඇඟලුම් කර්මාන්තයට තිබූ ජී. එස්. පී. සහනය ඉවත් කිරීම එම ආර්ථික සම්බාධක පැනවීමේ මුල් පියවරයන්.

හිටපු ජනපතිවරයා ඡන්දය පැවැත්වීමට නියමිත දිනයට වසර දෙකකට පෙර ඡන්දයකට ගියේ ඒ වන විට ජාත්‍යන්තර බලවේග හරහා බලවත් රාජ්‍යයන් හරහා එල්ල වෙමින් පැවැති පුළුල් අභියෝගයන්ට මුහුණදීමට ශක්තියක් නොතිබූ නිසාය යන්න මගේ විශ්වාසයයි.

එහෙත් 2015 ජයග්‍රහණයත් සමඟ මාත් ඒ සමඟ පත්වූ රජයත් එම තත්ත්වය සමනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ මිත්‍රශීලී වන්නට මානව හිමිකම් කොමිසම සමඟ සබඳතා ගොඩනඟා ගන්නට සමත් වුණා.

මානව හිමිකම් කොමිසමට අභියෝග කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන විට ඔවුනට තැඹිලි පෙවීම, නිත්‍ය නියෝජිතවරිය නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණි විට ඇයට අපහාස කිරීම වැනි සිදුවීම් නිසාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත්වෙලා සිටියේ.

මා මුල්වරට එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ගිය විට බැන් කී මූන් මහතා මා පිළිගත්තේ ඉතා සුහදශීලීවයි. හොඳ බැඳීමක් ගොඩනඟා ගන්න හැකි වුණා. මානව හිමිකම් කොමිසම සමඟත් එසේමයි. එවක මහ කොමසාරිස් හුසේන් කුමාරයා සමඟත් හොඳ සබඳතාවක් ගොඩනඟා ගන්නට ශ්‍රී ලංකාව පිළිබඳ හොඳ පසුබිමක් ගොඩනඟා ගන්නට හැකියාව ලැබුණා. මීට වසර තුනකට පෙර ඔවුන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ගොඩනැඟී තිබුණ වැරැදි චිත්‍රය ඉවත් කරන්නට හැකි වුණා. ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවන් අප රජය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යහපත් ප්‍රතිචාර දැක්වූවා.

අප රට මුහුණ දුන් දරුණුම යුද්ධය, අපට සටන් වැදීමට සිදුවූ ප්‍රචණ්ඩම ත්‍රස්තවාදී සංවිධානය සමඟ කළ සටන් අවසන්ව දැන් වසර ගණනාවක් ගතවී ඇති මේ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපට විසැඳීමට ඇති කරුණු මොනවාද? ඒ සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා සමාලෝචනය ගැන අපි අවධානය යොමු කළ යුතු වෙනවා.

අපේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට ජාත්‍යන්තරයේ හොඳ පිළිගැනීමක්, අගය කිරීමක් තිබෙනවා. ඒ පිළිබඳ අපට ඇති හොඳම නිදසුන තමයි සාම සාධක හමුදාව සඳහා අප රට සම්බන්ධ කරගෙන අපේ හමුදාවත් එයට ඇතුළත් කර ගැනීම. වාර්ෂිකවම අපේ හමුදා කණ්ඩායම සාම සාධක හමුදා ලෙස විදේශයන්ට පිටත් කෙරෙනවා. අපේ ආරක්ෂක හමුදා පිළිබඳ ඇති අදහස් යෝජනාවල අහිතකර තත්ත්වයන් තිබේ නම් ඒවායේ හිතකර වාතාවරණයක් ගොඩනඟා ගත යුතු වන්නේ කෙසේද, කිසිම පාර්ශ්වයකට ප්‍රශ්නයක්, ගැටලුවක්, වාසි, අවාසි නොවන ලෙස විසැඳීම අප සිදුකළ යුතු වෙනවා.

එල්. ටී. ටී. ඊ. යට හිතැති පිරිස් පැමිණිලි කරන්නේ තවමත් නඩු පැවරීමක් නොමැතිව කණ්ඩායම් අත්අඩංගුවේ තබාගෙන සිටිනවා යන්නත් එම පිරිස් නිදහස් නොකරන්නේ මන්ද යන්න පිළිබඳවත්. මානව හිමිකම් කොමිසම යෝජනා කර තිබෙන්නේ සිරගතව සිටින අයට නඩු පවරා වැරද නිවැරදි සොයන්නත් නඩුව නොඅසා එසේ රඳවාගෙන සිටින පිරිස් නිදහස් කරන්නත් කියායි. අප මේ ප්‍රශ්න ඉතා සුහදව ඒකපාර්ශ්වීය නොවී විසැඳි යුතු වෙනවා.

මේ යෝජනා පැමිණිලි හොඳින් අධ්‍යයනය කර විශේෂ යෝජනාවක් තමන් මෙවර සැසියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, අනතුරුව එය ලිඛිතව නව මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කරන බවත් එතුමියගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විවේචන එල්ල නොවූ බවත්, දැනටමත් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සංහිඳියාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ එතුමිය ප්‍රශංසාත්මක පණිවිඩයක් දැනටම ලබා දී ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.


නව අදහස දක්වන්න