මහපොළ ශිෂ්‍යත්ව කොන්දේසි දැඩි වෙයි | දිනමිණ

මහපොළ ශිෂ්‍යත්ව කොන්දේසි දැඩි වෙයි

විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ලබා දීමේ දී පවතින කොන්දේසි මාලාව ඉදිරියේ දී දැඩිව අනුගමනය කිරීමට මහපොළ භාරකාර අරමුදල තීරණය කර තිබේ.

මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේ සිසුවකුට මහපොළ ලබාදීමේ දී එවැනි කොන්දේසී 9ක් ක්‍රියාත්මක වෙන බවයි.

පාඨමාලාවලට සහභාගී නොවීම, වාර්ෂික විභාග අසමත්වීම, විනය විරෝධී ක්‍රියාවල නියැලීම, නවකවද සිද්ධීන් හේතුවෙන් දඬුවම් ලැබීම, විෂමාචාර හෝ අපචාර සිද්ධීන් මත විශ්වවිද්‍යාලය විනය පරීක්ෂණ සිදු කර දඬුවම් ලබාදීම, රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල දේපළට හානි කිරීම, අපයෝජන සිද්ධීන්වලට දායකවීම හා රැකියාවක නියැලෙමින් ආදායම් උපයන්නෙකු වීම එම කොන්දේසි වන අතර මෙම මෙම ක්‍රියාවන්ට දායක වූ සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව අහිමි කිරීමේ බලය මහපොළ භාරකාර අරමුදලට තිබේ.

මෙම චෝදනා මත මහපොළ අහිමි වන සිසුන්ගෙන් ලැබෙන අභියාචනා ද මහපොළ භාර කාර අරමුදලේ කොන්දේසි අනුව සලකා නොබලන බව ද අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා කීවේය.

මේ වන විට අවුරුද්දකට විශ්වවිද්‍යාල සිසුන් 15,000ක් බැගින් සමස්ත විශ්වවිද්‍යාල සිසුන් 60,000කට මහපොළ ශිෂ්‍යාධාර හිමි වන අතර කාර්මික විද්‍යාලවල සිසුන් 6000කට වාර්ෂිකව මහපොළ හිමි වේ. එමෙන්ම වෙනත් උස්ස් අධ්‍යාපන ආයතනවල සිසුන් 2000කට ද මහපොළ ශිෂ්‍යත්ව හිමි වේ.

එම සිසුන් ඉහත කොන්දේසි යටතේ වරදකරුවන් වුවහොත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මහපොළ භාර කාර අරමුදල දැනුවත් කරන අතර, ඒ අනුව අදාළ සිසුන්ගේ මහපොළ වාරික අත්හිටුවීමට අරමුදලට බලය පැවරී තිබේ.

නව අදහස දක්වන්න