‘ප්‍රශ්නයක් නෑ පස් ගන්න’ යැයි ප්‍රසන්න රණතුංග කීවා | දිනමිණ

‘ප්‍රශ්නයක් නෑ පස් ගන්න’ යැයි ප්‍රසන්න රණතුංග කීවා

කුමුදු හෙට්ටිආරච්චි

ප්‍රශ්නයක් නැහැ ඉඩමේ පස් පුරවගන්න' කියා නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා තමාට පැවසූ පසු නීත්‍යානුකූලව අවසර නොගෙන ඉඩමේ පස් පුරවගෙන ගිය බවත් ඉන්පසු ඩිපෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් ඉඩමේ පස් පිරවීම නතර කළ බවත් ව්‍යාපාරිකයකු වූ ජෙරාඩ් මෙන්ඩිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ විත්තියෙන් අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (14) පැවසීය.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේ දී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක් ලබාගෙන එම මුදල් පිළිබඳ විශ්වාසය කඩකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග හා ව්‍යාපාරිකයකු වූ හරේෂ් ෆාරික් යන අයට එරෙහි නඩුවේ විත්තිය වෙනුවෙන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

ව්‍යාජ තක්සේරු වාර්තා මත අජිත් පැස්කුවල් නමැත්තා තමාට විකුණූ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ වූ ඉඩම අඩි 20 ක පමණ වූ වගුරු බිමක් බවත් එය පස් පුරවා ගොඩකිරීම සඳහා එවකට ඉඩම් ගොඩකිරීම් කටයුතු භාරව සිටි බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හමුවී නිල වශයෙන් අවසර ලබාගැනීමට තමා ගිය බවත් එහිදී ඔහු ප්‍රශ්නක් නැහැ පස් පුරවගන්නා ලෙස තමාට පැවසූ බවත් පසුව ඩිපෙන්ඩර් රථ කිහිපයකින් පිරිසක් පැමිණ පස් පිරවීම නතර කළ බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කිකරු පැවසීය.

ඉන්පසු නිසි අවසර ලබා පිරවුම් සහතික ලබාගෙන ඉඩමේ පස් පිරවීම ඇරඹීමට කාලයක් ගතවූ බවත් සාක්කිකරු වැඩිදුරටත් පැවසීය.

මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ආයතන 20 කට පමණ එක් එක් නම් ලබා දී ඇති බවට විත්තිය නඟන චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බවත් සාක්කිකරු ඊයේ (14) පැවසීය.

ගිහාන් සොයිසා තම ඉල්ලීම මත නොව ඔහුගේ කැමැත්තෙන් තම ආයතනය වෙත මුදල් ආයෝජනය කළ බවත් විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පවසා සිටි සාක්කිකරු ඔහු හා වූ මුදල් ගනුදෙනුවකට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවත් තහවුරු කළේය.

විත්තිය වෙනුවෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම ලබන මස 04 වැනිදාට කල් තැබුණි.

නඩුවේ පළමු විත්තිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දෙවන විත්තිකාරිය වූ ඔහුගේ බිරිඳ ඊයේ (14) නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර තුන්වන විත්තිකරු අධිකරණය හමුවේ නොමැතිව නඩුව විභාගයට ගැනේ.

අධිචෝදනා 15 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා 1 හා 02 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

අධිකරණයේ නොමැති තුන්වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ වරුණ ද සිල්වා මහතා පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියි.


නව අදහස දක්වන්න