එක් වකුගඩුවක් අහිමි තම පුතුගේ දිවි රැකුමට වෙර දරන දිරිය මවක් | දිනමිණ

එක් වකුගඩුවක් අහිමි තම පුතුගේ දිවි රැකුමට වෙර දරන දිරිය මවක්

උපතින්ම එක වකුගඩුවක් අහිමි තම එකම පුතාගේ ජීවිතය රැකගැනීමට වෙර දරන දිරිය මවක් අපිට හමුවිය. ඇය අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුවසිරිගම පදිංචිව සිටිති.

ආර්. එම්. දයාවතී මහත්මියගේ එකම පුතා පවුලේ බාලයා විමුක්ති සංජයයි. විමුක්තිට අක්කලා තුන්දෙනෙක් සිටිති. සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලද විමුක්තිට උපතින්ම හිමිව ඇත්තේ එක් වකුගඩුවකි. දයාවතී මහත්මිය තම එකම පුතා ගැන අප හා මෙසේ පැවැසීය.

මේ පවුලේ බඩපිස්සා මට ළමයි හතරදෙනයි අනිත් තුන්දෙනා දියණියෝ. විමුක්ති පුතාට දැන් අවුරුදු 12 යි. ටැම්පාන විදුහලේ ඉගෙන ගන්නවා. අධ්‍යාපන කටයුතුවලට දක්ෂයි කියලා ගුරුවරු කියනවා. අපිට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. එදිනෙදා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ.

හැම මාසයකම පේරාදෙණිය රෝහලට යන්න ඕනෑ දරුවාට බෙහෙත් ගන්න. බෙහෙත් වගේම පුතාට අවශ්‍ය කෑම බීම ගැන වෛද්‍යවරු අපට කියලා දුන්නා දරුවාට තියෙන එක වකුගඩුව පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා. අපි හරි බයෙන් ඉන්නේ. අපි බොන වතුර වකුගඩු රෝගවලට එක හේතුවක් කියලා අපි දැන් දන්නවා. අපේ ගමට පානීය ජලය නෑ. අ‍ෙප් අහල පහළ ගෙවල්වල දැන් වකුගඩු රෝගීන් ඉන්නවා. ඒ වකුගඩු දෙකම තියෙන අය. කුලී වැඩ කරලා ගන්න තුට්ටුව තමයි වියදම් කරලා බොන්න වතුර ගන්නේ යැයි දයාවතී මහත්මිය අප හා පැවැසීය. දයාවතී මහත්මිය ඔවුන් පීඩා විඳින පානීය ජල ගැටලුව ගැන මෙ‍ෙස්ද පැවැසීය. ජනාධිපති ප්‍රේමදාස මහත්තයා අපිට නළ ළිඳක් දුන්නා. ඒක කැඩිලා දැන් අවුරුදු 15 ක් විතර වෙනවා. බුල්ලැවඔය අයිනේ හාරාගත්තු පොඩි පොඩි වළවල්වලින් තමයි අපි වතුර ගන්නේ. කටු මැටි ගැසූ පැල්පතක ජීවත්වන දයාවතිලාගේ පවුලේ අයට නිවසක් ගැන සිහිනයක් තිබේ. මුවසිරිගම පානීය ජල ගැටලුවත් දයාවතීලාගේ පවුලේ අයටත් යම් උපකාරයක් කිරීමට ඔබට හැකිනම් එය මහඟු පුණ්‍යකර්මයක් වේවි.

 

නව අදහස දක්වන්න