ආසියාන් සමුළුවේ හෙට දිනට සූදානම | දිනමිණ

ආසියාන් සමුළුවේ හෙට දිනට සූදානම

ධම්මික සෙනෙවිරත්න

ලෝක ආර්ථික සංසදයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික මෙන්ම සමුළු සම සභාපතිත්වය ද දැරූ බොර්ජ් බ්‍රෙන්ඩ් සමුළුව නිමාවේ ප්‍රකාශ කළේ, ASEAN රටවල අනාගතය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිවූ බවය. එම රටවල වෙනසක් ඇති කිරීමට මෙම සමුළුව ඉවහල් වේය යන්න ඊට සහභාගිවූ ඇතැම් ප්‍රධානීන්ගේ ද අදහස වී තිබේ.

“හතරවැනි කාර්මික විප්ලවය සහ ව්‍යවසායකත්වය” තේමාකොටගනිමින් ලෝක ආර්ථික සංසද - ඒසියාන් (WEF on ASEAN) සමුළුව ඉකුත් 11 – 13 දිනවල වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්විණි. ලෝක ආර්ථික සංසදය නියෝජනය කරන ලෝක ආර්ථික හා කාර්මික බලවතුන්, ඒසියාන් සාමාජික රටවල නායකයන් ඇතුළුව දේශපාලන, ව්‍යාපාර, ඇකඩමික හා සිවිල් සමාජ ක්ෂේත්‍රවල 1000කට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ. ලෝක ආර්ථික සංසද වාර්ෂික සමුළුවේ සහභාගිත්වයද එබඳුය. මෙය හුදෙක් රාජ්‍ය නායකයන්, ආණ්ඩු ප්‍රධානීන් පමණක් සහභාගි වන සමුළුවක් නොවේ. සමාගම් හිමිකරුවන් රාශියක් ඊට සහභාගිවන අතර ඊට අමතරව පෙර සඳහන් කළ ක්ෂේත්‍ර ද ඇතුළුව නොයෙක් ‍ක්ෂේත්‍ර නියෝජනය කරන දහසකට වැඩි පිරිසක් ද සහභාගි වෙති.

‘ලෝක ආර්ථික සංසදය’ යනු ස්විට්සර්ලන්තය පාදක කොටගත් ලාබ නොලබන පදනමකි. වර්ෂ 2015දී ස්විස් රාජ්‍ය මඟින් එය “වෙනත් අන්තර්ජාතික කණ්ඩායම්” යටතේ එය පිළිගන්නා ලදී. මෙම සංසදයේ මෙහෙවර වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ, ව්‍යාපාර, දේශපාලන, ඇකඩමික ක්ෂේත්‍ර සහ සමාජයේ වෙනත් ක්ෂේත්‍රවල නායකයන්ගේ ද සහභාගිත්වය කලාපීය, ගෝලීය හා කාර්මික ක්ෂේත්‍රවල වැඩසටහන් සඳහා ලබාගැනීමය. එහි ආදර්ශ පාඨය, ලෝකය අද පවතින තත්ත්වයට වඩා ඉහළට ගැනීමය. ලෝක ආර්ථික සංසදයේ ආරම්භය 1971 ජනවාරි දක්වා දිවයයි. එහි නිර්මාතෘවරයා මහාචාර්ය ක්ලවුස් ෂ්වැබ්ය. ‘යුරෝපා කළමනාකරණ සංසදය’ යනුවෙන් මුලින් ඇරැඹි එය 1987 පටන් ‘ලෝක ආර්ථික සංසදය’ යනුවෙන් හැඳින්වේ. මේ සංසදය වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනවාරි මාසයේදී ස්විස්ටර්ලන්තයේ, දවෝස් හිදී පවත්වන වාර්ෂික සමුළුව නිසාය. ලෝක වෙළෙඳ සංවිධානය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතනවලට මෙන්ම ලෝක ආර්ථික සංසදයට එරෙහිව ද ගෝලීයකරණ විරෝධීන්ගේ හඬනැඟීම් උත්සන්නවී ඇත. ඔවුන්ගේ එක් චෝදනාවක් නම් ලෝකය සමාගම් විසින් හසුරුවන තැනකට රැගෙනයමින් ඇති බවය. ජනවාරියේ පැවැත්වෙන එම ප්‍රධාන සමුළුවට අමතරව වසරක් තුළදී කලාපීය සමුළු 6 – 8 ක් පමණ පැවැත්වෙන අතර දින කිහිපයකට පෙර පැවැති සමුළුවද එවැන්නකි.

චීන බලපෑම

හැනෝයි සමුළුවේදී කලාපය සම්බන්ධයෙන් චීනයේ බලපෑමද අවධානයට ලක්විය. එහිදී චීන උප අගමැතිවරයා ප්‍රකාශ කළේ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපවත්වන ආරක්ෂණවාදී පිළිවෙත් ප්‍රතික්ෂේප කළ යුතු බවය. ASEAN රටවල පැහැදැලි ‍මතය වී ඇත්තේ වොෂින්ටනය මඟින් හසුරුවන ද්වීපාර්ශ්වීය ගනුදෙනු වෙනුවට චීනයේ බහුපාර්ශවීය වෙළෙඳාම අනුමත කළ හැකිය යන්නය.

ජාතික හා කලාපීය වැදගත්කම දෙසට අවධානය යොමුකරමින්; ව්‍යවසායකත්වයේ පටන් ආර්ථිකයේ හා වෙළෙඳාමේ ගතිකත්වය පවත්වාගැනීම දක්වා බලපාන උපායමාර්ගික ගැටලු දෙසට මෙම සමුළුවේදී ප්‍රමුඛ අවධානය යොමුවිය. විශේෂයෙන් 4 වෙනි කාර්මික විප්ලවය මඟින් ASEAN රටවලට ඇතිකර ඇති බලපෑම් දෙසට ‍එහි අවධානය යොමුව තිබිණි. නිදසුනක් ලෙස එම බලපෑම් ශ්‍රම වෙළෙඳපොළට බලපාන ආකාරය දැක්විය හැකිය. ඉදිරි වසර 15 ඇතුළත ASEAN රටවල ශ්‍රම බලකාය සෑම දිනකම 11000 කින් වැඩිවනු ඇතැයි අපේක්ෂිතය. එතරම් විශාල ශ්‍රම බලකායකට කෘත්‍රිම බුද්ධිය එනම් රොබෝ තාක්ෂණය මඟින් විය හැකි බලපෑම, දැනටමත් මෙම කලාපයේද දැකිය හැකිය. රියැදුරන් රහිත රථවාහන සුලබ වුවහොත් විය හැකි තත්ත්වය වැනි කාරණා මේ යටතේ සාකච්ඡාවට ලක්ව ඇත.

සමුළුවේ ප්‍රමුඛතාව

ගිනිකොණදිග ආසියානු රටවල් (ASEAN) සිය සංවිධානයේ 50 වෙනි සංවත්සරය සැමරුවේ 2017 වර්ෂයේදීය. එහි ඉතිහාසය ලෝක ආර්ථික සංසදයේ ආරම්භයට වඩා වසර කිහිපයකින් එපිටට ගමන්කරයි. ඉදිරි වසර 50ට අදාළ වන පරිදි සිය රටවල වෙළෙඳ - ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම මේ සමුළුවේ ප්‍රමුඛතාවක් බව පෙනෙන්නට ඇත.

ගෝලීය ආර්ථිකයේ වර්ධනය මෑත වසර ගණනාවක් තිස්සේම මන්දගාමී විය. එය ASEAN රටවල ද බලපෑවේය. සිංගප්පූරුවේ ආර්ථික වර්ධනය 2016 වසරේදී ගෝලීය සාමාන්‍ය අගය වන 2% ටත් වඩා පහළට වැටිණි. ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය හා වියට්නාමය වැනි නැඟීඑන ආර්ථීක බලවතුන්ගේ පවා එය 4.9%ක් විය. 2010 වසරේදී එම වර්ධනය සටහන් වූයේ 6.9%ක් වශයෙනි. මෙබඳු පසුබිමක කලාපයේ ඇතැම් රටවල් දැනටමත් 4 වෙනි කාර්මික විප්ලවයේ බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම අරඹා තිබේ. එකී බලපෑම්වලට අමතරව, නිෂ්පාදන වර්ධනයට සිදුව ඇති බලපෑම්, වයෝවෘද්ධ ජනගහනය වැඩිවීම, අඩු යටිතල පහසුකම් වැනි කාරණාද ASEAN රටවල හමුවේ ඇති අභියෝග වෙති.

කලාපීය සහයෝගීතාව

කලාපයේ සෑම රටකටම ඔවුන්ගේම ‍වන අභියෝග ජයගැනීමට සිදුව ඇති අතර සාමූහික වර්ධනයක් අත්කර ගැනීමේදී කලාපීය සහයෝගිතාව අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස මතුවේ. ASEAN රටවල් අතරින් ඉහළ ආදායම් ලබන වෙළෙඳපොළට අදාළව සිංගප්පූරුව හා බෲනයි රාජ්‍ය ඉහළින් ඇත. දෙවනුව මැලේසියාව හා තායිලන්තය එම වර්ගීකරණය යටතේ ඇත. වියට්නාමය අනතුරුවය. ඉන්දුනීසියාව හා පිලිපීනය මැදි ආදායම් වෙළෙඳපොළ රටවල් ලෙස ඊළඟට වර්ගීකරණය වී තිබේ. අවසන් මට්ටමේ සිටින්නේ කාම්බෝජය, ලාඕසය හා මියන්මාරයයි.

වෙළෙඳ, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී නොයෙක් ප්‍රමුඛ ක්ෂේත්‍රවල අභියෝග ජය ගැනීමට අදාළව පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදන සමාගම්, වෛද්‍ය උපකරණ හා ඖෂධ සමාගම් ආදියේ භූමිකාව ලෝක ආර්ථික සංසදයේ සාකච්ඡාවට ලක්වෙමින් පවතී.

හනෝයි සමුළුවේදී භූ දේශපාලනික දෘෂ්ටිය පිළිබඳ පැවැති සාකච්ඡාවන්ට අදාළව ශ්‍රී ලංකා අගමැතිවරයාගේ අදහස් දැක්වීමක් ද සිදුවිය. ඊට අමතරව දකුණු කොරියන් හා වියට්නාම විදේශ ඇමැතිවරුන්ගේ ද සහභාගිත්වය ඊට ලැබිණි. සමුළුවේ ප්‍රධාන හා දීර්ඝම සැසිය 4 වෙනි කාර්මික විප්ලවයේ බලපෑම් ගැන අවධානය යොමුවූ සැසියය.

ලෝක ආර්ථික සංසදයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික මෙන්ම සමුළු සම සභාපතිත්වය ද දැරූ බොර්ජ් බ්‍රෙන්ඩ් සමුළුව නිමාවේ ප්‍රකාශ කළේ ASEAN රටවල අනාගතය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිවූ බවය. එම රටවල වෙනසක් ඇති කිරීමට මෙම සමුළුව ඉවහල්වේය යන්න ඊට සහභාගිවූ ඇතැම් ප්‍රධානීන්ගේ ද අදහස වී තිබේ. මෙම එකතුවට අයත් රටවල් අතර වෙළෙඳාම තාක්ෂණ භාවිතය වේගවත් කිරීම, වැනි මාතෘකා වැඩි අවධානයට ලක්විය. තාක්ෂණයට ශීඝ්‍රයෙන් වෙනස්විය හැකි වුවද මිනිසුන්ට සහ ආණ්ඩුවලට එපමණ වේගයෙන් වෙනස්විය නොහැකි බව එහිදී මතුවූ අදහසකි. ඒ සඳහා මිනිසුන් පුහුණුකළ යුතු බව වියට්නාමයේ තොරතුරු හා සන්නිවේදන වැඩබලන ඇමැති න්හුයෙන් හන්ග් ප්‍රකාශ කර තිබිණි. එහිදී තාක්ෂණික පුහුණුව ලබාදීම පමණක් ‍ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ ඔහු මෘදු කුසලතා (Soft Skills) ද ප්‍රගුණ කළ යුතු බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ 4 වෙනි කාර්මික විප්ලවය යනු මනස හැඩගැස්වීමේ විප්ලවයක්ද වන බවය.

4 වෙනි කාර්මික විප්ලවයත් සමඟ තම රටවලට ලබාගත හැකි අවස්ථා මොනවාද යන්න මෙන්ම ඒ වෙනුවෙන් ගතයුතු සූදානම සමුළුවට සහභාගි වූ රටවල නායකයන්ගේ අවධානයට ලක්විය. එම අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිපත්තිමය හා උපායමාර්ගික වෙනස්කම් සිදුවීමට ඉඩ තිබේ.

ලිබරල් ධනවාදය

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මාතෘකාවලට මේ සංවාදයේදී වැඩි අවධානයක් යොමුවිය යුතු බව මුල පටන්ම අවධාරණය වූ කාරණයකි. කාන්තාවන් අධ්‍යාපන ක්‍රියාවලියේ පෙරට එමින් සිටීම වැනි කාරණා දෙසටද එහිදී අවධානය යොමුවී තිබේ.

ඉකුත් දශක කිහිපය තුළ සිය ඉලක්ක සපුරාගැනීමේ ASEAN රටවල් සතුටුවිය හැකි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. එම ඇතැම් රටවල් ආර්ථීක වශයෙන්ද ඉදිරියට ගමන­්කර තිබේ. වියට්නාමය ද ඊට හොඳම නිදසුනකි.

ලෝක ආර්ථික සංසදය, ලෝක වෙළෙඳ සංවිධානය වැනි හවුල්වල ප්‍රතිපත්ති දැඩිව විවේචනය කරන අය නව ලිබරල් ධනවාදයට රටවල් යටත්කර ගැනීමට ඉඩදීමට එරෙහිව හඬ නඟමින් සිටිති. පසුගිය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ ලෝක ආර්ථික අර්බුදය මඟින් පෙන්වා දුන්නේ නිදහස් වෙළෙඳ ආර්ථිකය එකම මොඩලය නොවන බවය. ධනවාදයට අනුගත රටවලට ද විකල්ප දහරාවන් පිළිබඳ අවම වශයෙන් සිතන්නට හෝ සිදුවී ඇත්තේ අර්බුදයේ කරවටක් ගිලීමට සිදුවූවිටය.

කෙසේවුවද ඵලදායී සංවාදයක් තිබීම යහපත්ය. විවිධ මාදිලි හා අදහස් සළකාබැලීම වැදගත්ය. බාහිර පාර්ශවයක් මඟින් පැටවීමට වඩා තමන්ට ගැලපෙන මාදිලිය තෝරාගැනීමට ඒ ඒ රටවලට ඉඩහැරීම ඊටත් වඩා වැදගත්ය.

නව අදහස දක්වන්න