වයිමටත් බැරිලු! | දිනමිණ

වයිමටත් බැරිලු!

ව්‍යාපාරිකයෝ බොරදියේ මාළු බාන්නට දක්ෂයෝ ය. ජාතක පොතෙහි “කූට වාණිජ” නම් කතාවක් තිබේ. එහි එන කපටි වෙළෙන්දා “මීයන් යකඩ කන්නේ යැයි” කියමින් අනෙකා මුළා කරයි. සේරිවාණිජ ජාතකයට අනුව කපටි වෙළෙන්දා තම ලාභය අහිමි වූ කල ළය පැළී මියයයි. ව්‍යාපාරිකයා හෙවත් වෙළෙන්දාගේ ඔළු ගෙඩිය පිරී ඇත්තේ තමන්ගේ ලාභයට අදාළ සංකල්ප හා න්‍යායවලින් ය. මෙබඳු ව්‍යාපාරික ප්‍රජාවක් ක්‍රියාත්මක වන රටක ආර්ථිකය අවුල් ය. එහි කළු ගනුදෙනු වැඩිවන්නටත් පුළුවන. ධනපති ආර්ථික ක්‍රමය විවේචනයට ලක්වන ප්‍රධාන හේතු - සාධකයක් වන්නේ ද එහි ව්‍යාපාරික පන්තියේ ක්‍රියාකාරකම් ය.

අපේ රටේ ආර්ථික ධාරාවෙහි මුල්තැනක් ව්‍යාපාරිකයාට හිමි වී ඇත. ඇතැම් අංශවල සම්පූර්ණ ආධිපත්‍යය ව්‍යාපාරිකයා හිමිකරගෙන සිටී. පොදු ප්‍රවාහනය, සහල් නිෂ්පාදනය ඊට ලබාදිය හැකි කදිම නිදසුන් දෙකකි. රටේ සහල් මිල තීරණය වන්නේ ද, සහල් වෙළෙඳ පොළ තත්ත්වයන් නිර්මාණය කරනු ලබන්නේ ද මෝල් හිමියන්ගේ සිතැඟි අනුව ය. පෞද්ගලික බස් වර්ජනයක් සිදුවුවහොත්; රට පුරා ප්‍රවාහනය අවුල් වෙයි. ආර්ථිකය අඩාල වෙයි. මෝල් හිමියන් මෙන්ම බස් හිමියන්ගේ සමිති ද සමාන කළ හැක්කේ කූට වාණිජ ජාතකයේ කපටි වෙළෙන්දාට ය. මීයන් යකඩ කන කතාව මේ අයත් කියන්නට පුළුවන.

ඉන්ධන මිල සූත්‍රය නිසා බස් සංගම් ගණනාවක් බොරදියේ මාළු බාන්නට සූදානම් වන බවක් පෙනී යයි. බස්රථ හිමියන්ගේ ඒකාබද්ධ සමිති සම්මේලනය කියන්නේ 10%කින් බස් ගාස්තු වැඩි කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදුන්නොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ය. බස් රථ හිමියන්ගේ තවත් සංගමයක් කියා සිටින්නේ මිල සූත්‍රයට එරෙහිව දැවැන්ත විරෝධයක් ආරම්භ කරන බව ය. ත්‍රී - රෝද රථකරුවන්ගේ තවත් සංගමයක් තර්ජනය කර ඇත්තේ ඉන්ධන මිල සූත්‍රයට එරෙහිව කොළඹදී මහා උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ය. වර්ජන හා තර්ජන පිළිබඳ අලුත් අදහස් දෙස බලනවිට ‍පෙනීයන්නේ දේශීය ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පෞද්ගලික අංශය ද ඉල්ලා සිටින බවකි.

ඉන්ධන මිල සූත්‍රයෙහි සරල අර්ථය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මේ දැන් පවතින මිල ගණන්වලට සාපේක්ෂ අයුරින් දේශීය වෙළෙඳ පොළෙහි තෙල් මිල තබා ගැනීම ය. එය දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන ආර්ථික උපාය මාර්ගයකි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඉහළ නම්; මිල වැඩිවීමක් ද; මිල පහළ නම් මිල අඩුවීමක්ද නිසර්ගයෙන්ම සිදුවෙයි. දීර්ඝ කාලයක සිට සහන මිලට තෙල් ලබාදීම නිසාත්; සෑම තෙල් බිංදුවක් ම ආනයනය කළ යුතු නිසාත් ඉන්ධන මිල සූත්‍රය අපට නොගැළපෙන්නේ යැයි කෙනකු තර්ක කරන්නට පුළුවන. එහෙත් ඉන්ධන සම්බන්ධයෙන් පවතින ආර්ථික පාඩුව පියවාගත හැකි වෙනත් මාර්ගයක්ද පෙනෙන තෙක් මානයක නැත.

ලෝක තෙල් නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ පවතින අවුල් සහගත තත්ත්ව මත බොරතෙල් මිලෙහි විශාල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි ය. තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගනු ලබන සංවිධාන කිහිපය තමන්ගේ දිගුකාලීන සැලැසුම් වෙනස් කරන්නේ යැයි උපකල්පනය කළ හැකි සාධක ද පෙනෙන්නට නැත. මේ අනුව බොර තෙල් බැරලයක මිල පිළිබඳ කතාන්දරයේ හවුල්කාරයකු වීමේ හැකියාවක් ශ්‍රී ලංකාව වැනි රටකට නැත. අප කළ යුත්තේ පාඩුව අවම වන ලෙස ද, මහජනයාට ලැබෙන සහනය උපරිම වන ලෙස ද තෙල් මිල ගැටලුව විසඳා ගැනීම ය. ජනාධිපතිවරයා එක්තරා සාකච්ඡාවකදී පෙන්වා දී ඇත්තේ ඉදිරි අයවැයේදී ඉන්ධන මිල සූත්‍රය අ‍හෝසි විය හැකි බව ය.

අයවැය ලබන නොවැම්බරයේදී ඉදිරිපත් කිරීමට නියමිත ය. එහි අදහස වන්නේ ඉන්ධන මිල පිළිබඳ ස්ථාවර අදහසක් තව මාසයකුත් දින කිහිපයකින් ලබාගත හැකි බව ය. බස් රථ හිමියන් ඒ මාසයකුත් දින ගණන ඉවසා සිටින්නට කැමැති නැත. ත්‍රි රෝද රථ සංගම්වල තත්ත්වය ද ඊට වෙනස් නැත. ඔවුන් වර්ජනයකින් නොනැවතී; අරගලයකට යෑමට උත්සාහ කරන බවක් ද පෙනී යයි. මේවා මහජනයා වෙනුවෙන් සිදුකරන දේවල්ද; නැතහොත් තමන්ගේ බඩ - වඩා ගැනීම සඳහා කරන දේවල් ද යන්න බස් රථ හිමියන් හා කුලී රථ හිමියන් තම හෘද සාක්ෂියට තට්ටු කොට විමසා සිටින්නේ නම්; වැදගත් යැයි අපට සිතේ.

සමස්තයක් ලෙස ගත් කල රටේ ව්‍යාපාරික සමාජය, මහජනතාව, රජය හා රටේ අනාගතය ගැන කල්පනා කරන යුක්තිසහගත ප්‍රජාවක් යැයි සිතන්නට සාධක නැත. අවදානම් සහගත අවස්ථාවලදී පවා සේවයට වඩා ලාභය ගැන කල්පනා කරන වෙළෙඳ පන්තියක් අපට සිටිති. ඉන්ධන මිල සූත්‍රය එම වෙළෙඳ පන්තිය අතට ගිය රසැ’ති බොජුනක් වී ඇති බවක් පෙනේනනට තිබේ. තෙල් මිල පෙන්වා බස් ගාස්තු නැංවිය හැකි ය. කුලී රථ ගාස්තු නැංවිය හැකි ය. ලොරි ගාස්තු නැංවිය හැකිය. ඈත පිටිසර සිල්ලර කඩයක ඕනෑම භාණ්ඩයක මිල තෙල් මිලට අනුව වැඩිකිරීමේ හැකියාවක් තිබේ. මුදලාලිගෙන් ඒ ගැන විමැසුවහොත් ප්‍රවාහන ගාස්තුව වැඩි යැයි පිළිතුරක් දෙනු ඇත.

විවෘත වෙළෙඳ පොළක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ය. එම වෙළෙඳ පොළෙහි ස්වරූය අනුව ද මිල තීරණය වීමේ ගතික වෙනස් වීමට ඉඩ තිබේ. ඒ හැරත් රටක අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මිල තීරණය කිරීමේදී ඊට රජයට මැදිහත් වීමේ හැකියාවක් තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක භාණ්ඩ හා සේවා ගණනාවක් සම්බන්ධයෙන් එම තත්ත්වය පවතී. ඉන්ධන මිල ඊට ලබාදිය හැකි හොඳම නිදර්ශනය වේ. දේශීය වෙළෙඳ පොළෙහි ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් යම් තරගකාරී තත්ත්වයක් පැවැතිය ද මිල පිළිබඳ තීරණ ගැනීමේ වැඩි අයිතිය හැ වැඩි ශක්තිය රජයට පවතී. ඒ අනුව ගැටලුව විසැඳිය හැකි ආයතනය ද රජයම වෙයි.

ජීවන වියදම පහළ යන රටක් දකින්නට නැත.

මේ වන විට රටේ ආර්ථිකය පතුරුගසන ආචාර්ය බන්දුල ගුණවර්ධන පවා මීට පෙර කියා සිටියේ ශක්‍රයාගේ පුත්‍රයා වයිමා ආවත් බඩු මිල පහත දැමිය නොහැකි බවය.

 


නව අදහස දක්වන්න